Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

වසංගත කාලේ දියවැඩියා රෝගීන් අනුගමනය කළ යුතු ආහාර පිළිවෙත් 5ක්

සෞඛ්‍ය සම්පන්නව ඉන්න නං..

Posted by

කොවිඩ් - 19 වසංගතය වැළඳුණොත් වැඩි ම අවදානමකට ලක් වෙන්නේ වයස්ගත පුද්ගලයින් සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන උදවිය බව වෛද්‍යවරු නිතර කියනවා. ඒ අනුව දියවැඩියා, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘද රෝග තත්ත්වයන් සහිත වියපත් පුද්ගලයින් වැඩිපුර ප්‍රවේසම් විය යුතුයි. මේ රෝග සහ කොරෝනා රෝගය අතර සෘජු සම්බන්ධයක් හොයාගන්න දැනට පර්යේෂකයන් සමත් වෙලා නෑ. හැබැයි මෙවැනි රෝගියෙකුට කොරෝනා වැළඳීම, සාමාන්‍යයෙන් යහපත් ප්‍රතිශක්තිකරණ මට්ටමක් සහිත පුද්ගලයෙකුට වැළඳෙනවාට වඩා අවදානම්සහගත කරුණක් බවයි ඔවුන් කියන්නෙ.

මේ කාලේ වැඩි දෙනෙක් ගෙදර නිසා එදිනෙදා ආහාර පුරුදු එහෙමත් වෙනදට වඩා වෙනස් වෙලා ඇති. විශේෂයෙන් එළියට පහළියට යන්නෙ නැති නිසා ඇඟට හරිහමන් ව්‍යායාම එහෙමත් ලැබෙනවා අඩුයි නේ. ඒ නිසා සෞඛ්‍ය සම්පන්නව ඉන්න නං තමන්ගේ ආහාර පුරුදු පාලනය කරගැනීම වැදගත්.

ඉතින් වසංගත කාලේ ආහාරපාන ගැනීමේදී දියවැඩියා රෝගීන් අනුගමනය කළ යුතු කෑමබීම සම්බන්ධ පිළිවෙත් කීපයක් ගැන පෙන්නලා දෙන්න අපි හිතුවා.

1 වෙලාවට කන්න

පුරුදු කාලසටහන් වෙනස් වෙලා නිසා මේ ගෙදර ඉන්න කාලේ කවුරුත් නැගිටින්නෙ ටිකක් පරක්කු වෙලා. ඒ හින්ද වගේ ම, ගෙදරදොරේ වෙනත් කටයුතු නිසාත් ආහාර වේල් අතපහු වෙන්න සහ නියමිත වෙලාවට කන්න බැරි වෙන්න පුළුවන්. ඒත් රුධිරයේ සීනි සහ කාබෝහයිඩ්රේට් මට්ටම් නිසි පරිදි සමබර කරගන්න නම් නියමිත වෙලාවට ආහාර ගැනීම වැදගත්. ඉතින් ප්‍රධාන ආහාර වේල් තුන මඟ හැරෙන්න දෙන්න එපා. ඒ වගේ ම හැන්දෑවේ තේ වෙලාවට ගන්න සීනි ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙන්න.

2 ධාන්‍ය වර්ග

සිරුරේ ශක්තිය වඩවන්න ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම අත්‍යවශ්‍යයි. හාල්, ඉරිඟු, තිරිඟු, ඕට්ස්, බාර්ලි, මෙනේරි ආදී ධාන්‍ය වර්ග පාවිච්චි කරලා සකස් කරපු ආහාර පරිභෝජනය කරන්න. රුධිරයට ග්ලූකෝස් අවශෝෂණය වීමේ වේගය මන්දගාමී කරන්න ධාන්‍යමය ආහාරවල තියන තන්තුවලට පුළුවන්.

3 ප්‍රෝටීන්

දියවැඩියා රෝගීන්ට ශරීරයට කාබෝහයිඩ්රේට් ඇතුළු කරගන්නවාට වඩා ප්‍රෝටීන් ආහාරයට ගැනීම බොහෝ දුරට සුදුසුයි. කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න තියන අවකාශය වැඩියි. ඒ වෙනුවට ප්‍රෝටීන් ශක්ති සම්පන්න ශරීරයක් ලබාගන්න උපකාරී වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තියනවා. ඔබ අධි රුධිර පීඩනය, හෘද රෝග හෝ කොලෙස්ටරෝල් වලින් පෙළෙන අයෙක් නං, ඔබ ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණය ගැන වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින්න. එවැනි අයට මේදය අධිකව සිරුරට ඇතුළු වීම හදවතට ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි.

4 තෙල් සහ ඇට වර්ග

පිටි ජාති කනවට වඩා ඔලිව් වැනි සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග, මුං ඇට, කව්පි, කඩල වගේ ඇට ජාති එහෙම ආහාර වේලට එකතු කරගන්න එක දියවැඩියාව පාලනයට උදව්වක් බව ඔබ දන්නවා ඇති. රුධිරයේ සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම පාලනය කරන්න මේවා දායක වෙනවා. ඉතින් සතියට දින දෙක තුනක්වත් ඇට ජාති සහිත කෑම වේලක් සකස් කරගන්න.

5 එළවළු පලතුරු

දියවැඩියාවෙන් පෙළෙන්නන්ට ගන්න පුළුවන් හොඳ ම කෑම වේල තමයි එළවළු, කොළ වර්ග සහ සලාද වැනි කෑම. සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ, ප්‍රතිඔක්සිකාරක එහෙමත් මේවයේ බහුලයි නේ. ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩීමට සහ ඒ ඔස්සේ වෙනත් රෝගාබාධවලින් ආරක්ෂා වීමට එය වැදගත්. ඒ වගේ ම දවසකට සැරයක්වත් පලතුරක් ආහාරයට ගන්නත් පුරුදු වෙන්න.

Leave a comment