Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

සෝෂල් මීඩියාවලින් ලෝකෙම ප්‍රසිද්ධ වුණ සුරතල්ලු 6ක්

මේත් ඉන්ෆ්ලුවන්සර්ස්ලා ජාතියක්!

Posted by

සෝෂල් මීඩියා නිසා ලෝකෙට ඉන්ෆ්ලුවන්සර්ස්ලා කියලා ජාතියක් බිහි වුණා නේ. මේගොල්ලො සමාජ මාධ්‍යවල ලොකු ඕඩියන්ස් එකක් ඉන්න, යම් යම් ක්ෂේත්‍රවල සාර්ථකත්වයට පත් වුණ අය. ඉතින් ඕගොල්ලො හිතන්නෙ ඉන්ෆ්ලුවන්සර්ස්ලා වෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි කියල ද? මේ ලිපිය කියවල බලන්නකො. මේ ඉන්නෙ සෝෂල් මීඩියාවලින් ලෝකෙම ප්‍රසිද්ධ වුණ සුරතල්ලු හය දෙනෙක්. Pet influencersලා කියල හැඳින්වුවත් වැරැද්දක් නෑ.

1 ජිෆ්

ජිෆ් කියන්නෙ පොමනේරියන් බව්වෙක්. මෙයාට ඉන්ස්ටග්‍රෑම් එකේ ෆලෝවර්ස්ලා මිලියන 10ක් සහ ටික්ටොක්වල ෆලෝවර්ස්ලා මිලියන 20ක් ඉන්නවා! දැනට ලෝකේ සෝෂල් මීඩියාවල වැඩි ම ෆලෝවර්ස්ලා ගණනක් සහිත සුරතලා වෙන්නේ ජිෆ්. 2010 පෙබරවාරි 26 වෙනිදා චිකාගෝවලදි ඉපදුණු මෙයා දැන් ඉන්නේ ලොස් ඇන්ජලීස්වල. ජිෆ්ට අවුරුදු එකොළහයි. එයා 2014 දි කේටි පෙරිගේ මියුසික් වීඩියෝ එකකත් රඟපාලා තියනවා!

2 ඩග්

පග් කියන බව්වො වර්ගෙට අයිති ඩග්ට අවුරුදු නවයයි. ඉන්ස්ටග්‍රෑම් එකේ ෆලෝවර්ස්ලා මිලියන 3ක් සහ ටික්ටොක්වල ෆලෝවර්ස්ලා මිලියන 6ක් මෙයාට ඉන්නවා. 2012 මැයි 20 වෙනිදා උපන් මෙයා ජීවත් වෙන්නේ ඇමරිකාවේ නාෂ්විල්වල. ඒ නිසා ම මැයි 20 නාෂ්විල්වල ‘Doug The Pug Day’ එක වශයෙන් නම් කරලා තියනවා. 2019 ‘ඇනිමල් ස්ටාර්’ කියන පීපල්ස් චොයිස් සම්මානෙ දිනාගන්නත් මෙයාට පුළුවන් වුණා. මෙයත් කේටි පෙරිගේ සහ තවත් ආටිස්ට්ලා කීප දෙනෙකුගේ ම මියුසික් වීඩියෝවල පෙනී ඉඳලා තියනවා. 

3 නාලා

මේ හරි ම හුරතල් නිල් පාට ඇස් දෙකක් තියන සියාමීස් - පර්සියන් මිශ්‍ර පූසෙක්. මෙයාට ඉන්ස්ටග්‍රෑම් එකේ ෆලෝවර්ස්ලා මිලියන 4ක් ඉන්නවා. ඉන්ස්ටග්‍රෑම් එකේ වැඩි ම ෆලෝවර්ස්ලා ගණනක් ඉන්න පූසා විදිහට ගිනස් වාර්තාවකුත් නාලට තියනවා. පූකි කියන නාලගේ හිමිකාරිය කැලිෆෝනියාවේ පෙට් ෂෙල්ටර් එකකින් තමයි මෙයාව හදාගන්න අරං තියෙන්නේ. ඒ 2011දි. ගිනස් වාර්තාවක් දක්වා යන්න තරම් නාලා ප්‍රසිද්ධ වෙයි කියල එයා එදා හීනෙන්වත් හිතුවෙ නෑ ලු!

4 ටකර්

2018 මැයි දෙවෙනිදා ඉපදුණු ටකර් බඩ්සන් ඇමරිකාවේ මිචිගන්වල ඉන්න ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්. ටකර්ට ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා මිලියන 3ක්, ෆේස්බුක් ෆලෝවර්ස්ලා මිලියන 4ක් සහ යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 3ක් ඉන්නවා. මෙයාගෙ හිමිකාරිය කර්ට්නි බඩ්සන් කාලයක් යූටියුබ් එකේ කුකිං චැනල් එකකුත් කළා. දැන් ටකර් එක්ක කර්ට්නිගේ ගෙදර ටකර්ගේ පුතෙක් වෙන බව්වා පැටියෙකුත් ඉන්නවා. එයාගෙ නම ටොඩ්. මේ දෙන්නාගෙ කෝලම් බලන්න පුළුවන් ටකර්ගේ සෝෂල් මීඩියා පේජස් පැත්තෙ ගියොත්.

5 ජුනිපර්

අපේ ගෙවල්වල බව්වො පූසො ඕන තරං හිටියට නරියෙක් හුරතලේට ඇති කරනව කියල අහල තියනවද? මේ ජුනිපර් ඇමරිකාවේ ෆ්ලොරිඩාවල ඉන්න ෂෝක් නරියෙක්. නරියෙක් කිව්වට නරිච්චියෙක්! උතුරු ඇමරිකානු රෙඩ් ෆොක්ස් ගණයට තමයි අයිති වෙන්නේ. මෙයාට ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්න ෆලෝවර්ස්ලා ගණන මිලියන 3ක්. ජුනිපර් විතරක් නෙමෙයි, මෙයාගෙ අයිතිකාරයා ළඟ ජුනිපර් අයිති නරි පවුල ම ඉන්නවා. ඒ වගේ ම තව බව්වො එහෙමත් එයාල එක්ක එක ගෙදර ඉන්නවා. ජුනිපර් ඉපදිලා සති පහකින් තමයි එයාව මේ ගෙදරට එක්කන් ඇවිත් තියෙන්නේ. නරියෙක් වුණත් මෙයා හරි ම හීලෑයි.

6 ග්‍රම්පි කැට්

2012 අප්‍රේල් 4 වෙනිදා උපන් රියල් ග්‍රම්පි කැට්ගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ගණන මිලියන 2ක්. මෙයා ඇමරිකාවේ ඇරිසෝනාවල තමයි හිටියේ. අවාසනාවකට 2019 මැයි 14 වෙනිදා හත් හැවිරිදි වියේදී මේ පූසි මිය ගියා. මෙයාගෙ මූණෙ තිබුණ හුරතල් ග්‍රම්පි පෙනුම හින්දා තමයි මේ නම වැටිලා තියෙන්නෙත්. ලෝකෙ පුරා ම මේ මූණ සෝෂල් මීඩියා මීම්ස්වලට සහ ඇඳුම් පැළඳුම්, පිඟන් කෝප්පවලට ප්‍රින්ට් කරන්න එහෙමත් යොදාගෙන තියනවා.

See 1 Comment