Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

රෑට අනිවා උඩ බලන්න! කොළඹ අහස සිපගන්න, ලංකාවෙ උසම ගොඩනැගිලි 6

ඇඟේ හැප්පිලා පියවි සිහියට ආවත්, ගෝල් ෆේස් වලට…

Posted by

කියන්න ලැජ්ජයි යාළු, පියවි සිහියට ආවෙ මගේ ඩෑල් එකම තියෙන කොල්ලෙක්ගෙ ඇඟේ හැප්පිලා කියන්නකො. වෙලාවට මෑන්ස් අවුලක් නෑ. නිකන් කිණ්ඩියට වගේ

“ගංජා ගහලද යකූ පාරෙ යන්නෙ, කටත් ඇරගෙන, උඩ බලාගෙන”

කියාගෙන එහෙම්මම යන්න ගියා.

ඇත්තටම ඔය කොළඹ පැත්තෙ හදන මළ ඉළව් බිල්ඩිං, අදහ ගන්න පුලුවන් සයිස් එකට හැදුව නම් අපි ඔහොම පාර තොටේ චාටර් කන්නෙ නෑනෙ.

වුනේ මේකයි. වෙනදට වැඩ ඇරිලා යද්දි බිම බලාගෙන යන මට, කාක්කෙක් කරපු බලු වැඩක් නිසා හරියටම කොල්ලුපිටිය හරියෙදි උඩ බලන්න සිද්ධ වුනා.

“හත් ඉලව්වයි, මෙන්න බොලේ මුදුනක් පේන්නෙ නැති තඩි බිල්ඩිමක්”

ඒකෙන් මේකෙන්, උරහිසට වැටුණු කාක් බෙට්ට ගැන හාන්කවිසියක් වත් නැති වුනු මම පිස්සෙක්, පිස්සෙක් වගේ බිල්ඩිම දිහා බලාගෙන ඉස්සරහට ගියා. ඔය වෙලාවෙ තමයි අර කොල්ලගෙ ඇඟේ හැප්පුනෙත්.

ඇඟේ හැප්පිලා පියවි සිහියට ආවත්, ගෝල් ෆේස් වලට යනකම්ම මම ගියේ සැරින් සැරේට උඩ බල බල. හැන්දෑවෙ අඳුරත් එක්ක, ලයිට් එළියෙන් දිස්න දෙන කොළඹ රූස්ස බිල්ඩිං වල තිබුනෙ මාරම ලස්සනක්. ඒ ලස්සන ඉතින් හිතට වදින එක අහන්ත් දෙයක්යැ. කොහොම හරි හිතට වැදුනු ඒවයින් 5,6ක් මීටරේ තියාගෙන ඇවිල්ල මම පස්සෙ දවසෙ ගූගල් කරල විස්තර හෙව්වා. කියන්න සන්තෝසයි යාළු උසම, ඒවයින් 6ක්ම තියෙන්නෙ කොළඹ.

ඔන්න ඉතින් ඒ 6ම විස්තර පහළින් තියෙනව. මතක ඇතුව, රෑ ජාමෙට කොළඹ පැත්තෙන් යන වෙලාවක ඔළුව උස්සල බලන්න. අමුතුම ගතියක් තමයි තියෙන්නෙ.

1. Lotus Tower

මහින්ද මහත්තයගෙ කාලෙ, ඒ කියන්නෙ 2012 ජනවාරි තමයි නෙළුම් කුළුණෙ වැඩ පටන් ගත්තෙ. හරියටම ඩොක්ටර් විජේවර්ධන මාවතේ බේරේ වැව අයිනට වෙන්න. වැඩේට අත ගැහුවෙ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්. රු. මිලියන 15,820ක ආධාර චීන එක්සිම් බැංකුවෙන් ලැබුනා. අරුම පුදුම සුපර් මාර්කට් එකක්, හෝටලයක් එහෙමත් මේ කුළුණෙ දාන්න හිටියට ඒ වැඩේ නම් හරි ගියේ නෑ මම හිතන්නෙ. කොහොම වුනත් දකුණු ආසියාවෙ උසම සම්ප්‍රේෂණ කුළුණ විදියට, නෙළුම් කුළුණෙ වැඩ කටයුතු 2017 ඉවර වෙන්න නියමිතයි. කොටුව, පිට කොටුව පැත්තට ගිහින් බැලුවාම දැනටමත් පේන්න තියෙනවනෙ උස කොහොමද කියල. සෙල්ලම් නෑ හොඳද, මීටර 350ක්.

2. Altair

2017 වැඩ නිමා වුනාම මේක තමයි ලංකාවෙ උසම නිවාස සංකීර්ණය වෙන්නෙ. උස මීටර 240ක්. තට්ටු 68ක්ලු. පිහිටල තියෙන්නෙ ගංගාරාම වැව අයිනට වෙන්න. ඉන්දියානු සමාගමක් තමයි වැඩේට අත ගහල තියෙන්නෙ. මේ නිවාස සංකීර්ණය හෝටල වගේම සාප්පු සංකීර්ණයකිනුත් සමන්විත වෙන විදියට හැදෙනවලු. ඒ කොහොම වුනත් ලංකාව ඇතුලෙ ඉංග්‍රීසි අකුරක හැඩේට හැදෙන පළවෙනි බිල්ඩිම වෙන්නෙත් මේක. ඔන්න බලන්නකො ෆොටෝ එක.

3. Grand Hyatt

කොල්ලුපිටිය, ගෝල්ෆේස් මැද්දෙ පිහිටල තියෙන ග්‍රෑන්ඩ් හයිට් ඉදිකරන්නෙ, ගොඩ දෙනෙක් දන්න කියන මාගා ආයතනය. තට්ටු 47කින් සමන්විත මේ නිවාස සංකීර්ණයෙ උස මීටර 230ක්. කොළඹ තියෙන තරු 5 හෝටල් අතරින් එකක් වෙන මේ හෝටලයෙ තියෙන වටිනාම දේ තමයි මුහුද අයිනට වෙන්න ලස්සන දර්ශන තලයක පිහිටල තියෙන එක.

4. Shangri La

ගෝල් ෆේස් මුහුදු තීරයට මුහුණලා ඉදිවෙන මේ සුපිරි නිවාස සංකීර්ණයෙ උස මීටර 194ක්. තට්ටු 51 තියෙනව කියල තමයි කියන්නෙ. මේ ඉදිකිරීමට අත ගහපු චීන, ෂැන්ග්‍රි ලා කම්පැණියම තමයි රු. මිලියන 67,810ක වියදම දරන්නෙත්. කොහොම වුනත් ඉදිවුනාට පස්සෙ නම් මේ හෝටලය හරිම ලස්සනට තියේවි කියල සැක නැතුව කියන්න පුලුවන්.

5. Clear Point  

හරි ලස්සන නිවාස සංකීර්ණයක්. ඉදිවෙන්නෙ රාජගිරිය, කොටුවෙගොඩ සුන්දර පරිසරයක. ඒ පරිසරයට හරියන්නම නිවාස සංකීර්ණයක් ගස් වැල් වලින් අපූරුවට හැඩ කරල තියෙනව. මේ අවුරුද්ද අන්තිමේ වැඩ කටයුතු ඉවර වෙන්න තියෙන ක්ලියර් පොයින්ට් බිල්ඩින්ග් එකේ උස මීටර 186ක්. තට්ටු 46කින් සමන්විතයි. කියන්න සන්තෝසයි මේ ඉදිකිරීමට අත ගහල තියෙන්නෙත් මාගා ආයතනයම තමයි.

6. World Trade Center

1996 අවුරුද්දෙ ඉදිවුනු ලෝක වෙළඳ මධ්‍යස්ථානය ගැන ගොඩ දෙනෙක් හොඳ හැටි දන්නවනෙ. උස මීටර 152ක්, තට්ටු 40කින් සමන්විත වුනු මේ බිල්ඩිම හදන්න ඒ කාලෙ ලංකාවෙ ජනාධිපති වෙලා ඉඳපු චන්ද්‍රිකා මැතිණියත් ලොකු අනුග්‍රහයක් දක්වල තියෙනව. කොහොම වුනත් මේ ඉදිකිරීම සිද්ධ වෙන්නෙ ORC පෞද්ගලික සමාගමෙන්. වැඩේ කියන්නෙ WTC කියල හැමෝම දැන ගත්තට, අදටත් දකුණු ආසියාවෙ තියෙන උසම නිවුන් ගොඩනැගිලි වෙන්නෙ මේ දෙක කියල ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ.

අපි ඔහොම කිව්වට 2020 අවුරුද්ද වගේ වෙද්දි මේ බිල්ඩිං 6ටත් වඩා උස බිල්ඩිනුත් ඉදි වෙන්න තියෙනව. ඒත් ඉතින් මේ දවස් වල ඉඳන්ම කොළඹ රෑ සුන්දරත්වය දැක බලා ගෙන තියෙන එක හොඳ නිසයි අපි කල් තියාම කිව්වෙ. ඉතින් අපි මේ කියපුවට වැඩි යමක් ඔයාලා දන්නව නම් අනිවා කමෙන්ට් කරන්න හොඳද.

Leave a comment