මේ නත්තල් නිවාඩුවට පිටරට සවාරියක් යනවද? එහෙනම් මෙන්න මේ කාරණා 6ත් හිතට ගත්ත නම්

බෝනස්, ඇනුවල් ලීව් එහෙම ලැබෙන කාලෙනේ. යමුද…

Posted by

දන්නේ ම නැතුව 2017 අවුරුද්ද ගෙවිලා ගිහින්, නත්තලත් අත ළඟට ම ඇවිල්ලා. නත්තල් සමරුවත් නැතත්, දෙසැම්බර් කියන්නේ හුඟක් අයට බොහොම සන්තෝස කාලයක්. මොකද කට්ටියට ම බෝනස් හම්බවෙලා, අවුරුද්ද අන්තිම ඇනුවල් ලීව් එහෙමත් එනවනේ. ඒ නිසා ම, අතේ මිටේ සල්ලි ගැවසෙන මේ කාලේ පවුලේ අයත් එක්ක පිටරටක සංචාරයක් යන්න අපේ අය වැඩි නැඹුරුවක් දක්වනවා. මොකද ඔය ගොඩක් ට්‍රැවල් ඒජන්සිවලින් මේ දවස්වල ගාණ අඩුවට සීසනල් පැකේජ් එහෙමත් දෙනවනේ.

ඉතින් අද හෙට ම ඒ වගේ සවාරි යන්න දත කට මැදගෙන ඉන්න අපේ උදවියට, ඒ යන ගමන හොඳින් ම එන්ජෝයි කරලා එන්න පුළුවන් වෙන්න උදව් වෙන කරුණු කාරණා 6ක් ගැන කතා කරන්න අපි කල්පනා කළා.

1. කාලය හොඳින් බෙදා හදාගන්න Tripit ඇප් එක

සුමාන දෙකේ තුනේ ටුවර් ගියත්, සති අන්ත දවස් දෙකේ ට්‍රිප් ගියත් කාලය කියන්නේ සෑහෙන්න පරිස්සමෙන් කළමනාකරණය කරගන්න ඕනේ දෙයක්. මොකද හැමදාම යනවා කියලයැ, ඉඳලා හිටලනේ මෙහෙම ගමනක් යන්නේ. ඒක නිසා යන දිහාව කොහේ වුණත්, වටපිටාව නරඹන්න, ෂොපින් කරන්න, අලුත් කෑම බීම ටිකක් ට්‍රයි කරන්න; මේ හැමදේට ම වෙලාව බෙදා හදාගෙන තියාගැනීම හරි ම වැදගත්. ඒකට උදව් කරන ඇප් එකක් තමයි මේ Tripit කියන්නේ.

හොටෙල් චෙක්-ඉන්, ෆ්ලයිට් විස්තර ඇතුළු සංචාරය පුරාවට තමන් ප්ලෑන් කරලා තියෙන හැම වැඩක් ම එකින් එක මතක් කරවන්න මේ ඇප් එකට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් ඊළඟට යා යුතු ෆ්ලයිට් එක, කෝච්චිය ගැන විස්තර මේ ඇප් එකෙන් අපට මතක් කරන්නේ ඒ නියමිත වෙලාවට පැය ගණනකට කලිනුයි. ඔය කොළ ගණන් අරගෙන ටුවර් ප්ලෑන් ලියනවට වඩා සාක්කුව ඇතුළේ දාගෙන යන්න පුළුවන් ෆෝන් එකේ ඔය කාරණා ටික දාගත්ත ම කොච්චර නම් ලේසිද? එතකොට හිතාගත්ත විදියට ම මේ සවාරිය යන්න පුළුවන්නේ.

2. පාස්පෝර්ට් සහ හැඳුනුම්පත් කොපි

ලංකාව ඇතුළේ ට්‍රිප් එකක් යනවා වගේ නෙවෙයි තමන් නොදන්නා රටක සංචාරයකට යද්දී. පාස්පෝර්ට් එකයි, හැඳුනුම්පතයි තමන් ළඟ ම තියාගන්න ඕනේ. හොඳ ම වැඩේ තමයි මේවයේ කොපි කීපයක් අරගෙන තමන්ගේ බෑග්වල දාගෙන තියාගන්න එක. ඒ වගේ ම ෆෝන් එකේ ඒවයේ පින්තූර තියාගන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද එතකොට පාස්පෝර්ට් එක හෝ හැඳුනුම්පත යම් හේතුවක් නිසා නැති වුණොත්, හෝ අමතක වුණොත්, අර කිව්ව කොපි හෝ පින්තූර ඉදිරිපත් කරන්න පුළුවන්නේ. නැති වුණු පාස්පෝට් වගේ දේවල් හොයාගන්නත් මේවා වැදගත් වෙනවා.

3. සල්ලි කළමනාකරණය

ට්‍රිප් එකක් යනවා කියන්නේ සල්ලි යන වැඩක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් පිටරට සංචාරයකට යද්දී ඔය වියහියදම් පැත්ත කොහොමත් වැඩි වෙනවා. මොකද අපේ ගොඩක් අය ෂොපින්වලට සෑහෙන්න කැමතියි. ඒක නිසා අතේ මිටේ සල්ලි තියාගන්න එක වගේ ම, ඒවා කළමනාකරණය කිරීමත් හරි ම වැදගත්.

හැබැයි සල්ලි සේරම ටික එක පර්ස් එකක දාගෙන තියාගන්න එක නම් ටිකක් අනුවණ වැඩක්. නිකමට හිතන්නකෝ ඔය පර්ස් එක ඔය කට්ටිය යන එන බස් එකක වැටුණා කියලා. එහෙමත් නැත්තන් කවුරුහරි පිට්පොකට් ගැහුවා කියලා. තමන් ලොකු අමාරුවකනේ වැටෙන්නේ. නොදන්නා රටක කාගෙන් කියලා උදව් ඉල්ලන්නද?

ඒ නිසා හොඳ ම වැඩේ තමයි පර්ස් එකක සල්ලි අඩුක් කරන එක වෙනුවට, සල්ලි ටික ගොඩවල් කීපයකට බෙදලා තමන්ගේ බෑග්වල තියෙන පොකට් කීපයකට දාන එක. එහෙමත් නැත්තන් තමන් එක්ක මේ ටුවර් එක යන අනිත් අය අතරේ සල්ලි ටික බෙදාගෙන තියාගන්න එක. මොකද එතකොට පර්ස් එක නැති වුණත් බයක් ගන්න කාරියක් නැහැ. සල්ලි ටික පරිස්සම්නේ.

4. ෆ්‍රෙෂ් එකේ ඉන්න මවුත්වොෂ්

යනයන තැන දත් බුරුසුයි, දත් බෙහෙතුයි අරගෙන ගියත්, මවුත්වොෂ් එකක් ළඟ තියාගන්න එක ගොඩක් වටිනවා. මොකද පිටරට දේශගුණයේ වෙනස්කම්, අපට කන්න වෙන වෙනස් ම විදියේ කෑම, සහ ජලය පානය අඩුකම නිසා මූඛ දුර්ගන්ධය වගේ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. එහෙමයි කියලා කොහේ හරි නැවතිලා දත් මැද මැද ඉඳලා බැහැනේ. එතකොට ආව ගමනත් අපරාදේ. ඒ නිසා මෙන්න මේ වගේ මවුත්වොෂ් එකක් අරගෙන ගියාම, ඔය මූඛ දුර්ගන්ධය ගැන බය වෙන්න දෙයක් නැහැ. අනික පුංචි බෝතලයක් නිසා මේකට බෑග් එකේ වැඩි ඉඩකඩක් වෙන් කරන්න ඕනෙත් නැහැ.

5. සමේ පරිස්සම ගැනත් හිතමු

පිටරකට ගියාම අපේ ඇඟට දැනෙන දේශගුණික විපර්යාසයේ තවත් අතුරු ඵලයක් තමයි අපේ සමට ඇති වෙන ගැටලු. දෙසැම්බර් කාලේ නිසා මේ තත්ත්වය තවත් බැරෑරුම්. මොකද බටහිර පැත්තේ ගොඩක් රටවල්වල හිම වැටෙන්නේ මේ කාලේ. ඒ වගේ ම නැගෙනහිර දිසාවේ රටවල්වල තද රස්නේ. ඉතින් යන දිහාවට ගැලපෙන විදියට සන්ස්ක්රීන් හෝ මොයිෂ්චර්රයිසින් ක්‍රීම් එකක් අරගෙන යන එක ඇඟට ගුණයි. නුපුරුදු දේශගුණය නිසා ඇති වෙන සම වියළීම, සම අව පැහැ ගැන්වීම දේවල් මේ වගේ ආලේපනවලින් මඟ හැරගන්න පුළුවන්.

6. බැහැලා නොයන ෆෝන් බැටරිය  

“මගේ ෆෝන් එක හදලා තියෙන්නේ චාජ් කරන්න. ඕනේ නම් කෝල් ගන්න පුළුවන්”

අපේ කට්ටිය ස්මාට් ෆෝන් ගැන කියන්නේ ඔහොමනෙ. සමහර ෆෝන්වල බැටරි බහින විදියට නම් මේ කතාව ඇත්තද කියලත් හිතෙනවා. ඒ නිසා පවර් බෑන්ක් එක කියන්නේ අපි ගෙනියන බෑග් එකේ අනිවාර්යෙන් ම තියෙන්න ඕනේ දෙයක්. මොකද පිටරට සවාරියක් යද්දී, ගූගල් මැප්ස්, GPSවල උදව්ව අපට හැමවෙලේ ම ගන්න වෙනවා. ඒ වගේ ම, tripadvisor වගේ ට්‍රැවල් ඇප් එහෙමත් නිතර පාවිච්චි වෙනවනේ. හැරත් කට්ටිය එක්ක ෆොටෝ ගන්නත් එපැයි. ඒ නිසා ෆෝන් එක හොඳින් චාර්ජ් කරගෙන තියාගන්න එක ගොඩක් වැදගත්. ක්වික් චාර්ජ් පවර් බෑන්ක් එකක් නම් තවත් ලේසියි. එතකොට ෆෝන් එක චාජ් වෙන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැනේ.

පිටරට සංචාරයක් යන්න බලාගෙන ඉන්න අපේ අයට වැදගත් වේවි කියලා හිතන තවත් කාරණා තියෙනවද? එහෙනම් ඔය හුස්මට ම ඒ ගැන කියලා කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ.

Leave a comment
Last 7 Days

Trending Today