Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

කොරෝනා වෛරසයට එරෙහි ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක වන ලකුණු!

සුබ ආරංචියක්!

Posted by

චීනයෙන් පටන්ගත්ත කොවිඩ්-19 වසංගතය මාස කිහිපයක් ඇතුළත මුළු ලෝකයේ ම පැතිරිලා ගියේ ලොව පුරා ලක්ෂ හයකට අධික පිරිසක් මරුමුවට පත් කරමින්. තවත් මිලියන ගණනකට වෛරසය ආසාදනය වුණා. ජනතාවගේ සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන් ම අඩාල වුණා. මුළු ලෝකය ම හිටිගමන් එක තැන නැවතුණා.

මාස ගණනාවක් ගිහිල්ලත් මේ තත්ත්වය පාලනය කරගන්න සෞඛ්‍ය අංශවලට නොහැකි වුණේ රෝගයට අදාළ ඖෂධයක් හොයාගන්න කිසිවෙක් සමත් වුණේ නැති හින්දා. හැබැයි දැන් ඔන්න සුබ ආරංචියක් ඇවිත්.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් නිපදවපු කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සාර්ථක වීමේ ලකුණු පහළ වෙලා තියන බව ඊයේ දිනයේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ChAdOx1 nCov-19 යනුවෙනුයි මේ එන්නත නම් කරලා තියෙන්නේ. අපි ඒ ගැන වැඩි විස්තර ටිකක් හොයල බලමු..

මාස හයක් පුරා

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහි ඖෂධයක් සම්බන්ධව පර්යේෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ පහුගිය ජනවාරි මාසේ මුල හරියෙදි. ඒ කාලේ මේක ලෝකේ පුරා පැතිරිලා තිබුණේ නෑනේ. ඒ වෙද්දි මේ අලුතින් පැතිරෙන්න පටන්ගත්ත වෛරසයට හරිහමන් නමක්වත් දාල තිබුණේ නෑ ලු. කොහොම වුණත් ඉන් යන්තම් මාස හයකට පස්සේ ඒ පුංචි වෛරසය ලෝකේ පුරා හය ලක්ෂයක් දෙනාගේ ජීවිත උදුරගත්ත භයානක වසංගතයක් බවට පත් වෙලා.

ඉතින් මාස හයක් පුරා පර්යේෂණවල යෙදුණු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම් දැන් බලාපොරොත්තු තැබිය හැකි ඖෂධයක් හොයාගන්න සමත් වෙලා. ඔවුන් කියන විදිහට මේ එන්නතට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ හැකියි. මේ ගැන පර්යේෂණ කරන්න ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් 1077 දෙනෙකු යොදාගෙන තියනවා. ඔවුන්ගේ සිරුරු තුළ වෛරසයට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ සහ ටී සෛල නිපදවන්න මෙම එන්නතට පුළුවන් වුණා.

ප්‍රතිදේහ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් නිපදවන, වෛරසවල මතුපිට ඇලෙන කුඩා ප්‍රෝටීන. ටී සෛල කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එකලස් කරන, සිරුරේ වෛරසය ආසාදනය වූ සෛල හඳුනාගෙන ඒවා විනාශ කළ හැකි සුදු රුධිරාණු වර්ගයක්. පර්යේෂණ සඳහා යොදාගත් පුද්ගලයින්ගෙන් 90%කගේ ම සිරුරු තුළ එක් ඖෂධ වාරයකින් පසුව ප්‍රතිදේහ නිපදවීම දක්නට ලැබිල තියනවා.

ආරක්‍ෂිත ද?

ඊළඟ ප්‍රශ්නය වෙන්නේ අලුතින් හොයාගත්ත මේ බෙහෙත ආරක්‍ෂිත ද කියන එක. පර්යේෂකයන් කියන්නේ දැනට පේන්න තියන විදිහට සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් වුණත් මේ එන්නත ආරක්‍ෂිතයි ලු. පර්යේෂණයට භාජනය කළ පුද්ගලයින්ගෙන් 70%කට පමණ එන්නතෙන් පසුව උණ සහ හිසරදය ඇති වෙලා තියනවා. ඒත් පර්යේෂකයන් කියන්නේ එය සුළු අතුරු ආබාධයක් නිසා පැරසිටමෝල් භාවිතයෙන් එය කළමනාකරණය කළ හැකි බවයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාරා ගිල්බර්ට් ප්‍රකාශ කරපු විදිහට, මේ එන්නතට කොරෝනා වෛරසය සහමුලින් ම විනාශ කළ හැකි දැයි තවමත් විශ්වාසයෙන් පවසන්නට බෑ. ඒත් අත්හදා බැලීම් සාර්ථක වූ නිසා ප්‍රතිඵල ගැන බලාපොරොත්තු තැබිය හැකියි.

කොහොම වුණත් මහා පරිමාණයෙන් මෙය භාවිත කළ හැකි ද යන කාරණය තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා මීළඟ අදියරේදී පුද්ගලයින් 10000ක් පමණ යොදාගෙන අත්හදා බැලීම් සිදු කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඉන්පසුව ඇමරිකාවේ පුද්ගලයින් 30,000ක්, බ්‍රසීලයේ පුද්ගලයින් 5000ක් සහ දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 2000ක් යොදාගෙන මෙහි සාර්ථක අසාර්ථක භාවය අත්හදා බැලීමට නියමිතයි. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ රුසියාව දැනට කොවිඩ්-19 නිසා ඉතා ම දරුණු ලෙස බැට කෑ රටවල්. 

කොහොම වුණත් AstraZeneca කියන බ්‍රිතාන්‍ය - ස්වීඩන ඖෂධ සමාගම මේ වෙද්දිත් මේ එන්නතේ නිෂ්පාදන කටයුතු භාරගෙන තියනවා. දැනටමත් එක්සත් රාජධානියෙන් ම ඒ සඳහා ඇණවුම් මිලියන සියයක් ලැබිලා ලු. ඒ අනුව එන්නත බිලියන ගණනින් නිෂ්පාදනය වීමට නියමිතයි. හැබැයි මේ එන්නත සම්පූර්ණයෙන් සාර්ථක වුණොත් ලොව පුරා පොදු භාවිතයට ගන්න ලබන වසර විතර වෙන බවයි වාර්තා වෙන්නේ.

වෙනත් උත්සාහයන්

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අමතරව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් සොයාගැනීමට ලොව පුරා තවත් පර්යේෂණ කණ්ඩායම් රැසක් උත්සාහයන් දැරුවා. ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ඇතැම් කණ්ඩායමුත් යම් තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල වෙත ළඟා වුණා.

මිනිස් සංහතියට එරෙහි දරුණු සතුරෙක් පරදවන්න ලෝකය ම එකතු වෙලා සටන් කරන මේ වෙලාවේ, ඉන් කිසියම් උත්සාහයක් සාර්ථක වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.

Leave a comment