Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

ඉස්සර 100යෙ දැන් 200යෙ! රයිස් කන්න කියාපුම කඩ 6ක්

මතකද? ඇඟට හොඳ නරක කෙසේ වෙතත්, කටට රහට…

Posted by

මතකද?

ඇඟට හොඳ නරක කෙසේ වෙතත්, කටට රහට උණු උණුවට... කට්ටිය පෝලිමේ 100 රයිස් කාපු විදිය. ඉතින්... ඒ වගේ මතකයක් තියාගෙන දැන් පුළුවන්ද කියන්නකො ඉඳල හිටලවත් එහෙම රයිසක් නොකා ඉන්න.

අන්න ඒ නිසාමයි යාළු අපි කල්පනා කළේ, කාලෙකට පස්සෙ වුණත් අපි දන්න කියන හොඳ රයිස් කඩ අතරින් හොඳම රයිස් කඩ පහක් හයක් තෝරල ඔයාලට කියන්න. 

විශේෂයෙන්ම... රෝස්ට් චිකන්, පෝක්, සීෆුඩ්, මික්ස් වගේ...

එහෙනම් බලන්නකො ඔන්න ඔය පල්ලෙහායින් තියෙන ලිස්ට් එක. බලලා, ඒ අතරට ඔයාලා දන්න තැනුත් එකතුකරලා හදමුද කට්ටියත් එක්ක ලොකු ලැයිස්තුවක්?

එතකොට අපිටත් බැරියැ ඔය අතේ සතේ නැති වෙලාවට, ඒ ඉන්න පැත්තෙ තියෙන හොඳම රයිස් කඩේටවත්, සැක නැතුව ගොඩවෙන්න.

නේ...

1. Wije Food Center

මට්න්, බීෆ් හැරුණාම ආයෙ නැති දෙයක් නැති තැනක් තමයි. තියෙන්නෙ කොස්වත්ත ඩිපෝව ඉස්සරහ. මෙයාලගෙ ගණනුත් රු. 200න් 300න් ෂේප් වෙන නිසා බය නැතුව ඕන දෙයක් ඕඩර් කරන්න පුළුවන්. අනික මෙනුවෙ නැති ඒවා වුණත් එවෙලෙට බලල කරල දාලා ගන්න පුළුවන්නෙ. ඔය... ඩෙවිල් චිකන් ෆ්‍රයිඩ් රයිස්, චිකන් ලිවර් ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් ෆිෂ් ෆ්‍රයිඩ් රයිස් වගේ ඒවා. අනික මෙයාලගෙ සේවාවත් හරිම සුහදශීලියි. ඒ විතරක් නෙවෙයි, පෝෂන් එකත් ලෝබ නැතුව දාලා දෙන්නෙ බාග වෙලාවට දෙන්නෙක්ට වුණත් ඇති වෙන්න ගානයි වගේනෙ. එච්චර කරල ඉතින් රස අතින්...?

පංකාදු පහයි යාළු.

2. Duroi

බොරැල්ලෙ තියෙන පුංචි පහේ බාර් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකක්. රු. 200, 300ට පැහැදිලිවම සුපිරි රයිස් එකක් කන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම පෝක් රයිස්, ෆ්‍රයිඩ් චිකන් රයිස්, මික්ස් රයිස් වගේ. ආයෙ දාලා දෙනව යාළු... කැරට්, ලීක්ස්, ලූණු, ලුණු, මිරිස්, ගම්මිරිස් අඩුම කුඩම සියල්ලත් සමඟ හොඳ හැටියට... ගැඹුරු තෙලේ බැදපු, පෝක් නම් එහෙමයි, චිකන් නම් එහෙමයි... එතතොට ඉස්සො, දැල්ලො, සොසේජස්...

බොරු නම් ගිහිල්ල ම බලන්නකෝ...

3. Araliya Food Centre

මේක තියෙන්නෙ දෙල්කඳ, හයිලෙවල් පාරෙ. ගොඩක් පරණ තැනක්. ඒ වගේ ම තමයි මල් හතට පෝක් රයිස් දාන තැනක්. ටිකක් හැන්දැ වෙලා ගියා නම් යාළු මෙයාලගෙ රයිස් එකක් ගන්න... ආයෙ හැමදාමත් යන්න හිතේවි ඒ රස බලන්න... ඇත්තටම අරලිය එකෙත් රයිස් එක මරේ මරු හොඳේ. වැඩි හරියක් ම එයාලා අඩුමකුඩුම ටික ලෝබ නැතුව දානවනෙ. අනික පෝෂන් එකත් තරමක් ලොකුයි. ඒකෙන් ගාණ ගැනත් ලොකුවට හිතන්න ඕන නෑ. හැබැයි එකක්... මෙයාලගෙන් රයිස් එකක් ගන්න, ඉන්න වෙනව පෝලිමේ ටිකක්, හ්ම්.!

4. Eat Travel Repeat

මරීන් ඩ්‍රයිව් ලිලි ඇවිනියු එකට හැන්දෑවට හැන්දෑවට එන පුංචි පහේ ලොරියක්. දානව ඇතුළෙ තියාගනෙ රයිස් කොත්තු ටිකක්... සූ ගාලා සෙනඟ ඉන්නෙ ඉතින්. මොකද මෙයාලගෙ රයිස් එකත් හරි රහට, පදමට තියෙනවනෙ. එක... පොඩි අවුලක් තියෙන්නෙ සමහර වෙලාවට ඒකෙ තෙල් පොඩ්ඩක් වැඩි එක තමයි. ඒක හැදිලා... සෝස් රසත් පොඩ්ඩක් අඩුවට ගැලපුනා නම්, දාලා තියෙන රෝස්ට් චිකන් අඩුමකුඩුම තොගේ එක්ක, නැගල යන්නෙ රයිස් එක ඈ... නැගල යන්නෙ.

5. Thejan Hotel

අහල පුරුදු නමක් නේ... වෙන දෙයක් නිසා නෙවෙයි, මේක අපේ ලැයිස්තුවල ඉස්සර ඉඳන් ම වගේ එන නිසා. ඇත්තටම යාළු අඩු ම ගාණට බම්බ පැත්තෙ හොඳම රයිස් එකක් ගන්නව නම් මේක තමයි තැන හොඳේ. ආයෙ, පෝක් නෑ, මට්න් නෑ. අනිත් සියල්ලම තියේ. ඒකත් බලන්න එපැයි පෝෂන් එකේ සයිස් එක. රයිස් බාස්ට පොඩ්ඩක් කිට්ටු කරල කිව්වාම “අයියෙ... දාලා දෙන්න හොදේ” කියල. දෙනව යාළු... ගමකට ඇති වෙන්න. එළවළු මදිපාඩු විතරක් නෙවෙයි, මස් මාළු, බිත්තර, සොසේජස් ඕනම දෙයකින්…

වැඩිය ඕන නෑ, ඔය අපි කියනවට මෙයාලගෙන් මික්ස් රයිස් එකක් අරන් බලන්නකො කොහොමද කියල.

6. Wewa Addara

ඇත්තට ම වැවක් අද්දර. හුළං පාරක් වැදි වැදි, හායිහූයි ගගා උණු උණු රයිස් එකක් රස බලන්න කියාපුම තැනක්. හැබැයි... මෙයාලගෙ තියෙන්නෙ නම් රෝස්ට් චිකන්, බිත්තර, චිකන් කරි වගේ රයිස් විතරයි. ඒත් පාඩු නෑ යාළු රසයි, පෝෂන් එකේ සයිස් එකයි ගත්තාම. පැහැදිලිවම දෙන්නෙක්ට ඇති හොඳේ. ඒ විතරක් නෙවෙයි, රසම රස හොද්දකුයි, චිලිපෙස්ට්, චොප්සි අඩු පාඩු ටිකකුයි දෙනවා…

වැඩේ කියන්නෙ ඒකත් එක්ක කෑවා වගේ නෙවෙයි, බඩකට උස්ස ගන්න බැරි වුණාම.

ඒ නිසා... හොඳ සිහිකල්පනාවෙන් කන්න ඕන යාළු මේ තැන්වලින්...

මොකද කෑවා කෑවා වගේ නෙවෙයි, ඕකට ඇබ්බැහි වුණොත් එක ලෙඩක්...

කාලා යාගන්න බැරි වුණොත්? ඊට වැඩි ලෙඩක්, හ්ම්…!

Leave a comment
Last 7 Days

Trending Today