Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

වසරේ හොඳම චොක්ලට් අයිස්ක්‍රීම් එකට හිමි සම්මානය කාටද?

වසරේ හොඳම චොක්ලට් අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එක තේරීමේ…

Posted by

ඔන්න ඉතින් අපි කාලෙකට පස්සෙ ටේස්ට් ඕෆ් එකක් කරන්න ලෑස්ති වුණා. කාලෙන් කාලෙට එක එක කෑම ජාතිවල එක එක බ්‍රෑන්ඩ්ස් ටේස්ට් කරල බලල, හොඳම එක තෝරන්න අපිට පහළ වෙනව නෙ පොඩි ආසාවක්. මේ පාර අපිට දොළදුක ආවෙ අයිස්ක්‍රීම් ජාති ඔක්කොටම ඉහළින් වැජඹෙන චොක්ලට් අයිස්ක්‍රීම් ගැන. චොක්ලට් අයිස්ක්‍රීම්වලට කැමති නැති මිනිස්සු ඉන්නවද? මං නං හිතන්නෑ! අපෙ කට්ටිය හැමෝම චොක්ලට් අයිස්ක්‍රීම්වල උග්‍ර රසිකයෝ වෙච්ච එකේ අපි තීරණේ කළා කොළඹින් හොයාගන්න පුළුවන් ඔක්කොම චොක්ලට් අයිස්ක්‍රීම් ජාති ටික කාල බලල රසම එක තෝරන්න.

වසරේ හොඳම චොක්ලට් අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එක තේරීමේ මහා තරගය ගැන කියන්න පටන්ගන්න කලින් පොඩි දැනුවත් කිරීම් කීපයක් තියනවා කරන්න. ඔන්න මෙහෙමයි..

  1. මේ ලෝකෙ තියන ඔක්කොම දේවල් සාපේක්ෂ හින්ද රස කියන එකත් සාපේක්ෂයි. ඒ හින්ද අපිට මාර රසයි කියල හිතෙන අයිස්ක්‍රීම් ජාතිය ඕගොල්ලන්ගේ අකැමැතිම එකක් වීමේ හැකියාවක් කොහොමටත් තියනව ඉතින්. ඕක ඕනවට වඩා සීරියස් ගන්න එපා ඉතින්..

  2. ලංකාවෙ කඩවල්වලින් හොයාගන්න පුළුවන් ඔක්කොම චොක්ලට් අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ්ස් කවර් කරන්න අපි හැම උත්සාහයක්ම ගත්තා. එකක් හරි මිස් වෙලා නං සොරි ඔන්න! ඒ වගේම එක ස්කූප් එකක් රුපියල් 300ක් විතර වෙන ලොකු සීන් අයිස්ක්‍රීම් ජාති අපි මේකට ඇතුල් කරගත්තෙ නෑ.

  3. අපි හොඳම චොක්ලට් අයිස්ක්‍රීම් ජාතිය තෝරන්න සැලකිල්ලට ගත්ත කරුණු තමයි, මිල, අයිස්ක්‍රීම්වල පෙනුම, චොක්ලට් රස සහ අපේ කට්ටිය අදාළ අයිස්ක්‍රීම් ජාතිය කාල සාමාන්‍යයෙන් ඒකට කොච්චර කැමැත්තක් දැක්වුවා ද කියන ඒවා.

කොත්මලේ (ලී 2: රු. 500) - 2.5/5

ලීටර් 2ක්ම රුපියල් 500යි කියන්නෙ සෑහෙන සාධාරණ ගාණක් කියල හිත හිත අපි කොත්මලේ අයිස්ක්‍රීම් ටබ් එක ඕපන් කරා. අපොයි! දැක්ක ගමන් කන්න හිතෙන පෙනුමක් නම් නෙමෙයි ඒකෙ තිබුණෙ. අපි අයිස්ක්‍රීම් ගත්ත තැන ඉතුරු වෙලා තිබුණ අන්තිම කොත්මලේ අයිස්ක්‍රීම් ටබ්ස් දෙකෙන් එකක් වෙච්ච නිසා ද, වෙන මොකක්හරි හේතුවක් ද දන්නෙ නෑ, මේක නම් පෙනුම අතින් වගේම රස අතිනුත් බෑඩ් අයිඩියා එකක්. මේකෙ ක්‍රීම් ගතිය කෙසේ වෙතත් අයිස් ගතිය නම් සෑහෙන්න තිබුණා.

එලිෆන්ට් හවුස් (ලී 1: රු. 300) - 3/5

එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් එකේ පෙනුම නම් හරි ඉහළයි. දැක්ක ගමන්ම ක්‍රීමි ගතිය පේනවා. හැබැයි රස බැලුවම තමයි කට්ටියගෙ මූණ පොඩ්ඩක් ඇඹුල් වුණේ. අපි ආස චොක්ලට් රස හොඳට ආවට මොකද ඒ එක්කම මේකෙන් එනව පොඩි පලතුරු රහක්. ඒ වගේම කාල ඉවර වුණාම කටේ ඉතුරු වෙන ආෆ්ටර් ටේස්ට් එකත් පොඩ්ඩක් අවුල්. චොක්ලට් හදන්නෙ පලතුරකින් වුණාට චොක්ලට් අයිස්ක්‍රීම්වලින් අපි පලතුරු රහක් බලාපොරොත්තු වෙනවද? නෑනෙ!

හයිලන්ඩ් (ලී 1: රු. 270) - 3.5/5

හුඟක් අය ආස හයිලන්ඩ් චොක්ලට් අයිස්ක්‍රීම් ටබ් එක ඇරිය වෙලාවෙ නම් දිව්‍යලෝක රහ ඇති කියල හිතුණා. හරිම පිළිවෙළ, උකු ක්‍රීම් ගතියෙන් අනූන පෙනුමක්. රස ගැන කිව්වොත්, මේකෙන් ආවෙ අපි අර නිතර බීල පුරුදු හයිලන්ඩ් චොක්ලට් කිරි පැකට් එකෙන් එන රස. චොක්ලට් රසට වඩා මේකේ පිරිල ඉතිරෙන්නෙ කිරි රස. ඒ හින්ද, කිරි රසට කැමති අයට හරියටම හරියන චොක්ලට් අයිස්ක්‍රීම් එකක් මේක.

කාගිල්ස් මැජික් (ලී 1: රු. 300) - 4/5

මේ තරගෙන් පළවෙනි තැන ගනියි කියල අපි හිතන් හිටිය අයිස්ක්‍රීම් වර්ගෙ තමයි කාගිල්ස් මැජික්. එච්චරට කාගිල්ස් මැජික් අයිස්ක්‍රීම් රසික ප්‍රජාවක් අපි අතරෙ ඉන්නවා. ටබ් එක ඇරියම තියන පෙනුම උපරිම ක්‍රීමි ගතියයි. රස කරල බැලුවමත් චොක්ලට් රස, කිරි රස සහ පැණි රස එකතු වෙලා රසනහර පිනා යනවා. පළවෙනි තැන ගත්තෙ නැතත් කාගිල්ස් මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් එක අපේ බලාපොරොත්තු සුන් කළේ නෑ.

ආපිකෝ (ලී 1: රු. 275) - 4.5/5

ඇත්ත කිව්වොත් අපි මේක ගැන නං වැඩි බලාපොරොත්තු තියන් හිටියෙ නෑ. හැබැයි, සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි කියල මේ පාර වසරේ හොඳම චොක්ලට් අයිස්ක්‍රීම් එකට හිමි සම්මානෙ දිනාගත්තෙ අලුතෙන්ම ආපු ආපිකෝ චොක්ලට් අයිස්ක්‍රීම්! පළවෙනි කාරණේ තමයි පෙනුමෙන් මේක අනික් ඔක්කොම ජාතිවලට වඩා චොක්ලට් පාටයි. ඊළඟට දැක්ක ගමන් කාගෙන කාගෙන යන්න හිතෙන විදිහේ ක්‍රීමි ගතිය. ඇත්තටම මේක අයිස්ක්‍රීම් එකකටත් වඩා චොක්ලට් මූස් එකක් වගේ. අනික් හැම එකකටම වඩා චොක්ලට් රසින් වැඩියි. ඒ මදිවට එක කටක් කනකොට චොක්ලට් චිප්ස් හතර පහකුත් හැපෙනවා. රුපියල් 275කට? හිතාගන්නවත් පුළුවන් ද!

ලකුණු පුවරුව

 

බ්‍රෑන්ඩ් එක ලකුණු
ආපිකෝ 4.5/5
කාගිල්ස් මැජික් 4/5
හයිලන්ඩ් 3.5/5
එලිෆන්ට් හවුස් 3/5
කොත්මලේ 2.5/5

 

අවසාන වශයෙන්

ඉතින් ඔන්න ඔහොමයි අපේ චොක්ලට් අයිස්ක්‍රීම් ටේස්ට් ඕෆ් එක අවසන් වුණේ. ආපිකෝ චොක්ලට් අයිස්ක්‍රීම් රහට වහ වැටුණ යමු ටීම් එක, දෙපාරක් නොහිතා හා හා පුරා කියල ආපු ආපිකෝ චොක්ලට් අයිස්ක්‍රීම්, වසරේ හොඳම චොක්ලට් අයිස්ක්‍රීම් එක වශයෙන් කිරුළු පැලැන්දුවා!

Leave a comment
Last 7 Days

Trending Today