Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

පිස්සුවෙන් වගේ ඉංග්‍රීසි පොත් හොයනවද?; එහෙනම් අද ම යන්න කොටුවේ Big Bad Wolf සේල් එකට

Big Bad Wolf කියන්නේ මැලේසියාවේ පටන්ගෙන,…

Posted by

ඔන්න ඉතින් 2017 අවුරුද්දේ සාහිත්‍ය මාසයත් ඉවර වුණා. අතේ තියෙන සතේ හිඳෙනකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පීරපු අපේ පොත්ගුල්ලෝ දැන් ලහිලහියේ ඒ පොත් කියවනවා ඇති. සිංහල පොතපත කෙසේ වෙතත්, ලංකාවේ පොත් කඩේකින් ඉංග්‍රීසි පොතක් ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද අස්ප ගණන්නේ! කොහොමහරි දඟලලා පේපර්බැක් පොතක් ගත්තා කියමුකෝ, හාඩ් කවර් එකක් ගන්නවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ඒවායේ ගණන් තවත් වැඩියිනේ.

ඔන්න ඔය වගේ හේතු නිසා ඉංග්‍රීසි පොත් ගන්න බැරිවුණු අපේ ඇත්තන්ට හොඳ ම ආරංචියක් කියන්නයි මේ ලෑස්තිය. මේ හා හා පුරා කියලා ලංකාවට මේ දවස්වල ඇවිදින් ඉන්න පිටරට පොත් සේල් එකක් ගැන. මේකේ නම Big Bad Wolf.

මොකක්ද මේ Big Bad Wolf?

Big Bad Wolf කියන්නේ මැලේසියාවේ පටන්ගෙන, මේ වෙද්දී තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල්වලට පැතිරුණු ලොකු පොත් සේල් එකක්. විශාල වශයෙන් පොත් බෙදාහරින පිටරට සමාගම්වල ඉතුරුවෙන පොත්පත් බොහොම අඩු මිල ගණන්වලට විකුණන එක තමයි මේ කට්ටිය කරන්නේ. ඉතින් මෙදා සැරේ ඒ අය ලංකාවට ආවේ පළමුවෙනි වතාවට.

ඔක්තෝම්බර් 5වෙනිදා පටන්ගත්ත මේ පොත් සල්පිල ලබන 15වෙනිදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන කේන්ද්‍රය (SLECC) මේ දවස්වල අතුරු සිදුරු නැතුව පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ රැයක් දවාලක් නොබලා Big Bad Wolf සේල් එකට එන පොත් ගුල්ලන්ගෙන් නිසාමයි.

සේල් එකේ තියෙන පොතපත

නවකතා විතරක් නෙවෙයි, පරිසරය, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර කලාව, විද්‍යාව, අපරාධ, චිත්‍රපට කලාව, සංගීතය, චරිතාපදාන සහ වෛද්‍ය පොතපත ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ ලියවුණු ග්‍රන්ථ තොගයක් Big Bad Wolf සේල්  එකේ තියෙනවා. මේ හැම එකක් ම බොහොම පිළිවෙළට අහුරලා බෝඩ් එහෙම ගහලා තියෙන නිසා ලේසියෙන් ම හොයාගන්න පුළුවන්. නවකතා වුණත් Romance, Thriller, Literature, Fantasy ආදී වශයෙන් විවිධ කාණ්ඩවලට බෙදලා.

ඕනෑ ම වයසක කෙනෙක්ට සරිලන පොතපත මේ සල්පිලෙන් බොහොම අඩු මුදලකට මිලදී ගන්න ඇහැකි. විශේෂයෙන් ම සුප්‍රසිද්ධ නවකතා පොත් මාලාවක් විදියට නිකුත් වුණු පොත් එහෙමත් මේ පොත් ප්‍රදර්ශනය සතුයි. The Hunger Games, The Maze Runner එවන් පොත් මාලා කීපයක්. අනික පොඩ්ඩෝ, ලොක්කෝ කියලා නෑ; පින්තූර පාට කරන පොත්, කොමික් බුක්ස් එහෙමත් මේ සේල් එකේ ඕනෑ තරම් තියෙනවා. 

මේ පොත්වල මිල ගැන කතා කළොත්, මේවයේ ගණන් ලංකාවේ පොත් සාප්පුවල විකිණෙන මුදලට වඩා භාගයකටත් අඩුයි. පේපර්බැක් විතරක් නෙවෙයි, හාඩ් කවර් පොත් වුණත් රු.320 සිට ඉහළ මිලකට අලෙවි වෙනවා. ගොඩක් නවකතා විකිණෙන්නේ රු.530, රු.630 වගේ මුදලකට. රු.10000 ඉක්මවා ගිය පොත් කට්ටලත් ඉඳලා හිටලා දැකගන්න ලැබෙනවා. කොහොම වුණත් හැම පොතකට ම වාගේ 60%-80% අතරේ වට්ටමක් දීලා තියෙන නිසා රු.5000ක් අරගෙන ගියත් පොත් හත අටකට වඩා ගන්න ඇහැකි.

සර්විස් එක

මේ සල්පිල ට ගිය ගමන් කරන්න තියෙන්නේ දොර ළඟ ම තියෙන ට්‍රොලියක් අරගන්න එක. මේ ට්‍රොලිය තල්ලු කරගෙන යන ගමන් කැමති පොතපත ඒකට පුරවාගන්න පුළුවන්. ඊටපස්සේ තියෙන්නේ බිල් කරන කවුන්ටරයට යන එක. බිල දාන කවුන්ටර 30ක් වගේ තියෙන නිසා වැඩි වෙලාවක් පෝලිමේ ඉන්න වෙන්නේ නැහැ. කවුන්ටරයක් ෆ්‍රී වුණු ගමන් ඒවාට පෝලිමේ ඉන්න පාරිභෝගිකයන් ව යවන්න කැපවුණු වෙනම සේවක කණ්ඩායමක් මෙතැන ඉන්නවා.

ඕනේ කරන පොතපත තියෙන තැන් ගැන වුණත් මේ අයගෙන් විස්තර අහගන්න පුළුවන්. හැබැයි ඒවට නම් ටිකක් වෙලාව යනවා. මොකද සූ ගාලා සෙනඟනේ.

අහ්! අමතක වෙන්න කලින් මේකත් කියන්නම්කො. මේ පොත් සේල් එක දවස පුරාම, ඒ කියන්නේ පැය 24 ම තියෙන එකක්. ඒ නිසා රෑ 1ට, 2ට ගියත් පොත් ගන්න පුළුවන් වෙන එක ෂුවර්. අනික නිකමට මේක බලලා එන්න ගියත් පාඩුවක් නැහැ. මොකද එන්ට්‍රන්ස් එකෙන් සත පහක් ගන්න නැහැනේ.

Big Bad Wolf සාමාජිකයෙක් වෙන්න

මේ කට්ටියගේ වෙබ්සයිට් එක හරහා හෝ, ප්‍රදර්ශනය බලන්න යන ගමන් Big Bad Wolf එකේ සාමාජිකත්වය ලබාගන්නත් ඔයාලට පුළුවන්. ඒකෙන් මේ සල්පිලේ තියෙන සමහර පොත්වලට 20%ක අමතර වට්ටමක් ලබාගන්න හැකියාව තියෙනවා.

ඉංග්‍රීසි සාහිත්‍යයට ආදරය කරන අය විතරක් නෙවෙයි, විවිධ අංශවලින් ඉගෙන ගන්න, රැකියාව කරන ඕනේ ම තරාතිරමක ඉන්න කෙනෙක්ට සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පොත් සේල් එකක් විදියට මේ Big Bad Wolf ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. මොකද ලංකාවේ පොත්හලකින් ගන්න බැරි විදියේ වාසි රැසක් මේ කට්ටිය ඔවුන්ගේ ඉංග්‍රීසි පොත්වලට දීලා තියෙනවා. දැනටමත් මේ පැත්තේ ගිහින් ආව නම්, ඒ ගැන පොඩි සටහනක් මේ එක්ක ම තියන්නකෝ. ඉස්සරහට මේ ප්‍රදර්ශනයට යන්න ඉන්න උදවියට ඒක සෑහෙන්න වැදගත් වේවිනේ.

Leave a comment
Last 7 Days

Trending Today