Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

බ්ලැක් පැන්තර් නික්ම ගිහින්! බ්ලැක් පැන්තර් 2 ෆිල්ම් එකට මොකද වෙන්නේ?

“In my culture, death is not the end.”

Posted by

2020 කියන්නෙ නපුරු අවුරුද්දක් බව ආයෙත් තහවුරු කරලා, මුළු ලෝකෙ ම ආදරේ කරපු බ්ලැක් පැන්තර් අවසන් ගමන් ගියා. ඒ පහු වුණ අගෝස්තු 28 වෙනිදා. අවුරුදු හතරක් තිස්සේ තනියම පිළිකාවක් එක්ක සටන් කරලා ජීවිතයෙන් සමුගත්ත බ්ලැක් පැන්තර් හෙවත් චැඩ්වික් බෝස්මන්ගේ අකල් මරණය ලොව පුරා මාවල් රසිකයන්ගේ හදවත් කම්පා කළා.

ඒ එක්ක ම දැන් වෙද්දි බ්ලැක් පැන්තර් 2 ෆිල්ම් එක ගැන ලොකු ආන්දෝලනයක් ඇති වෙලා. අපි හැමෝම දන්න විදිහට 2018 දි තිරගත වුණු බ්ලැක් පැන්තර් 1 ෆිල්ම් එකේ සීක්වල් එක බ්ලැක් පැන්තර් 2, එළඹෙන 2022 අවුරුද්දේ එළිදකින්න නියමිතව තිබුණා. අසනීපයෙන් ඉන්න අතරේ වුණත් මේ චිත්‍රපටය වෙනුවෙන් චැඩ්වික් බෝස්මන් ලෑස්ති වෙමින් හිටිය බව දැන් රහසක් නෙවෙයි. හොලිවුඩයෙන් එන ආරංචිවල හැටියට බ්ලැක් පැන්තර් 2 එකේ පූර්ව නිෂ්පාදන කටයුතු පටන්ගන්න නියමිතව තිබුණේ මේ සැප්තැම්බර් මාසේ. ඉතින් සැප්තැම්බර් මාසේ එළඹෙන්න ඔන්න මෙන්න තියෙද්දි චැඩ්වික් යන්න ගිය එක මාවල් ලෝකයට දරාගන්න අමාරු දෙයක්.

වාර්තා වෙන විදිහට 2021 මාර්තු මාසේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන්න නියමිතව තිබුණා. ඒත් දැන් චැඩ්වික් නැතුව බ්ලැක් පැන්තර් 2 රූගත කරන්නෙ කොහොමද? මේ වෙද්දි මාවල් සමාගම ඉස්සරහ ඉතුරු වෙලා තියන ප්‍රශ්නය මේක. හැබැයි දන්නවද? මාවල් සමාගම මේ ගැන තීරණයක් ගන්න කලින්, මාවල් රසිකයෝ ඒ ගැන තීරණයක් අරං!

ලෝකේ පුරා ම විසිරුණු මාවල් රසිකයො මේ වෙද්දි ට්විටර් ඔස්සේ ට්‍රෙන්ඩ් එකක් පටන් අරං තියනවා. ඒ තමයි බ්ලැක් පැන්තර් 2 ෆිල්ම් එක වෙනුවෙන් බ්ලැක් පැන්තර් රීකාස්ට් කරන්න එපා කියන එක. ඒ කියන්නේ, බ්ලැක් පැන්තර් චරිතයෙන් ලෙජන්ඩ් එකක් බවට පත් වුණු චැඩ්වික්ට කරන ගෞරවයක් විදිහට, බ්ලැක් පැන්තර්ගේ චරිතයට අලුත් නළුවෙක් යොදවන්න එපා කියලයි ඔවුන් මාවල් ස්ටුඩියෝ එකෙන් ඉල්ලන්නෙ.

මේකට හේතුව තමයි ට්චාලා රජ්ජුරුවෝ විදිහට රඟපෑව චැඩ්වික් නිකම්ම සුපර් හීරෝ චරිතයකට එහා ගිහින් මිනිස්සුන්ගේ හදවතේ තැන්පත් වුණ චරිතයක් වීම. කළු ජාතිකයන් කියන්නෙ ලෝක ඉතිහාසය පුරා ම පීඩාවට පත් වුණ ජන කොටසක්. වහල්ලු විදිහට සේවය කරපු කාලයේ ඉඳන්, මෑතක සිදු වුණු Black Lives Matter උද්ඝෝෂණ මාලාව වෙනකන් ම ඒ ගැන ඕන තරම් උදාහරණ හොයාගන්න පුළුවන්. බ්ලැක් පැන්තර් තමයි මාවල් යුනිවර්ස් එක හඳුන්වා දුන්නු ලෝකේ මුල් ම කළු ජාතික සුපර් හීරෝ කැරැක්ටර් එක. ඒ නිසා ම බ්ලැක් පැන්තර්, චිත්‍රපටි චරිතයක් ඉක්මවා ගිහින්, කළු ජාතිකයන්ගේ වීරත්වයේ සංකේතයක් බවට පත් වුණා.

බ්ලැක් පැන්තර් චරිතය කොමික් ලෝකෙට හඳුන්වා දුන්නේ මාවල් සුපර් හීරෝ චරිත වැඩි හරියක් ම වගේ නිර්මාණය කරපු ස්ටෑන් ලී සහ ජැක් කර්බි. මාවල් කොමික්ස්, මාවල් මූවීස් බවට පත් වෙද්දි බ්ලැක් පැන්තර් චරිතයත් සිනමාවට ආවා. කැප්ටන් ඇමරිකා: සිවිල් වෝ, බ්ලැක් පැන්තර් 1, ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ සහ ඇවෙන්ජර්ස්: එන්ඩ් ගේම් කියන ෆිල්ම්ස්වලින් බ්ලැක් පැන්තර් චරිතය අපිට සමීප වුණා. වකන්ඩා කියන මනඃකල්පිත දේශයේ ට්චාලා රජ්ජුරුවෝ විදිහට චැඩ්වික් පෙන්නුව රංගන කුසලතාව රිප්ලේස් කරන්න පුළුවන් එකක් නෙවෙයි කියන එකයි මාවල් රසිකයන්ගේ තර්කය. ඒ නිසා ඒ වෙනුවට වෙනත් රංගන ශිල්පියෙක් යොදා නොගෙන, ට්චාලාගේ සොයුරිය වුණු ‘ෂූරී’ චරිතය රඟපෑ ලෙටීෂියා රයිට්, මීළඟ බ්ලැක් පැන්තර් බවට පත් වෙන විදිහට කතාව වෙනස් කරන්න කියලා ඔවුන් යෝජනා කරනවා.

කොහොම වුණත් මාවල් සමාගම මේ ගැන තාම කිසි ම ප්‍රතිචාරයක් දක්වලා නෑ. චැඩ්වික්ගේ මරණයෙන් තාමත් වැඩි දවසක් ගිහින් නැති නිසා කොහොමටත් ඒ ගැන තීරණය කරන්න දැන් ම කල් වැඩියි. මේ අතරේ, හමු වීම් සමු ගැනීම් කොහොම වුණත් ජීවිතය ඒ සියල්ල අතරේ ම ඉදිරියට යා යුතුයි කියන පිරිසකුත් ඉන්නවා. බ්ලැක් පැන්තර් චරිතය රීකාස්ට් කරලා මාවල් සිනමා ලෝකය මූව් ඔන් වුණාට කමක් නැති බවයි ඔවුන්ගේ අදහස.

මාවල් සිනෙමැටික් යුනිවර්ස් කියන්නෙ ලෝක සිනමාව සහමුලින් ම අලුත් මාවතකට හරවන්න දායක වුණු තැනක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔවුන් ගන්න තීරණය මොකක් වුණත්, ඒක මත ඔවුන්ගේ සිනමාවේ ඉදිරි පැවැත්ම තීරණේ වෙනවා ඇති. මොකද, බ්ලැක් පැන්තර් රීකාස්ට් කළොත්, මාවල් සිනමාව බෝයිකොට් කරන්න දැනටමත් තීරණේ කරපු ලොකු රසික ප්‍රජාවක් ලෝකෙ වටේ ම ඉන්නවා.

“In my culture, death is not the end.”

මේ ට්චාලා රජ්ජුරුවන්ගේ වචන. ඉතින් ඔහුට සුව නින්දක් ප්‍රාර්ථනා කරන ගමන්, බ්ලැක් පැන්තර් චරිතයට ගෞරවය ඉටු වෙයි කියලා අපි බලාපොරොත්තු තියාගමු.

Leave a comment