Artwork for Coke with food - top banner
Artwork for PMF essentials sbb 2

ලංකාවේ ‘හොටෙල්’ එකක අනිවාර්යයෙන් තියන ජාති.

වඩේ දෙකයි ප්ලේන්ටී දෙකා..යි!

Posted by

ට්‍රිප් එකක් ගියාම එහෙම නවතින තරු පහේ සැපපහසු හොටෙල් ගැන කියල ද හිතුවේ? නෑ නෑ… මේ කියන්න යන්නෙ, යන එන ගමන් මොනාහරි බඩට දාගන්න පුළුවන් විදිහෙ, පාර අයිනේ තියන හෝටල් ගැන. ඇතුල් වෙනකොටම ‘වඩේ දෙකයි ප්ලේන්ටී දෙකා..යි’ කියල කෑගහනව ඇහෙන, සූ ගාල මිනිස්සු එහෙට මෙහෙට දුවන, සද්ද බද්ද දාල කොත්තු රොටි ගහන, අන්න ඒ ජාතියෙ හෝටල් ගැනයි මේ කතාව. එහෙම හෝටලේක අනිවාර්යයෙන් තියන කෑම ජාති තමයි මේ...

පරාටා

උදේ ද දවල් ද රෑ ද වෙනසක් නැතුව ඕන කෑම වේලක් පිරිමහන්න කියාපු කෑමක් පරාටා. කොච්චර කෑවත් එපා වෙන එකක් යෑ! පොල් සම්බෝලයක් එක්ක දවටලා, සැර මස් හොද්දක් වගේ එකක පොඟවල ගත්තම අඩු ගාණකින් බඩ පුරවන රජ බොජුනක්. 

ඉඳිආප්ප

පරාටා වගේ ම තවත් එපා නොවෙන කෑමක් තමයි ඉඳිආප්ප. උදේට රෑට පාර අයිනේ තියන හෝටලේක වරදින්නෙ නෑ මේවත්. සම්බෝලයක්, අල හොදි, චිකන් හොදි නැත්තං පරිප්පු වගේ එකක් එක්ක යසට පෑහෙනවා. පරිප්පු නැති හෝටලේකින් ඇති වැඩකුත් නෑනේ ඉතිං...

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස්

උණු උණු කටට සැර කෑම වේලක් හොයාගෙන යන අයට කොත්තුවක් ඇර තව මොනවද. ජාතික ආහාරේ වගේ තමා! ඇයි ෆ්‍රයිඩ් රයිස්? ෆ්‍රයිඩ් රයිස් කියන්නෙත් හෝටලේක අමතක කරන්න බැරි අනිවාර්ය අංගයක්.

හැබැයි ඉතිං වැඩේ කියන්නෙ හරිහමන් විදිහට කොත්තුවක් ගොඩ දාන්නේ එහෙමත් තැනකින් තමයි. හුඟක් අය කරන්නෙ මොකක් හරි ශේප් න්‍යායක් දාල කොත්තුවක් ඔතල දෙන එක. මේ තියෙන්නෙ නියම විදිහට හදන කොත්තු වර්ග කීපෙක ලිස්ට් එකක්. බලන්නකො මේවයින් කීයක් කාල තියනවද කියල.

ෂෝටීට්ස්

ෂෝටීට්ස් හෙවත් හෝටල් භාෂාවෙන් කිව්වොත් ‘සෝටීස්’ කියන්නෙ හෝටල්වල ෂෝකේස්වල දාල පාරට පේන්න තියල තියන උළුඳු වඩේ, එළවළු රොටී, මාළු පාන්, සමෝසා වගේ ජාතිවලට. හදිස්සි ගමනක් අතරතුර ප්ලේන්ටී හරි, ටී හරි එක්ක ගිල දාන්න ලේසි ම ජාතිය තමයි මේවා.

තේ

හෝටල්වල වඩේ එකයි ප්ලේන්ටියයි කියන්නෙ පානුයි පරිප්පුයි වගේ එකට පෑහෙන මරු ජෝඩුවක්. ප්ලේන්ටී, ටී කියන්නෙ මෙහෙම තැන්වල නොවරදින බීමක්.

තෝසේ

යන්තං හරි ඉන්දියන් ගතියක් ගෑවුණ හැම හෝටලේකින් ම හොයාගන්න පුළුවන් කෑම ජාතියක් තෝසේ. ඒකෙත් එක එක වර්ග අපිට තෝරගතහැකි. මදි පාඩුවට සාම්බාරු හොද්දක් එහෙම කොහොමත් ලැබෙනව නෙ.

ආප්ප

හවස් ජාමෙ වෙද්දි ආප්ප පුච්චන්නෙ නැති හෝටලේකින් වැඩක් තියනවද මං අහන්නෙ. හැන්දෑවට වැඩි ඉල්ලුම ආප්පවලට කියල කොයි කවුරුත් දන්නව නේ. ඒ වෙලාවට නිකං ආප්ප වගේ ම බිත්තර ආප්ප එහෙමත් විකිණෙන්නේ උණු කැවුම් වගේ. සැර ලුණු මිරිස් ටිකකුත් ගෑවුණාම තව කුමන කතා ද ඉතිං!

බොම්බේ ස්වීට්ස්

උණු උණු සැර ම සැර කෑම වේලකට පස්සේ කට දැවිල්ල හැදිල ඉන්නකොට පැණි රස ජාතියක් දැක්කම දිව්‍ය භෝජනයක් වගේ නෙ දැනෙන්නෙ? ටිකක් ගණන් වුණත් යන එන ගමන් හම්බෙන හෝටලේකින් ඕන කෙනෙක් බොම්බේ රසකැවිල්ලක් නං කාල තියෙන්න ම ඕන! 

මේවා ඇර තව ඕගොල්ලන්ට මතක් වෙන හෝටල් කෑම ජාති තියනව නං අපිට කියන්න. අපි ලෑස්තියි ඒවත් මේ ලිස්ට් එකට එකතු කරන්න!

Leave a comment