Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 22 Apr 2021 Artwork for Coffee post sidebar 1-1959 new

ගෙදර තියන විදුලි උපකරණ 5ක ආයු කාලය වැඩි කරගන්න ක්‍රම

මුදල්, කාලය සහ ශ්‍රමය ඉතිරි කරගන්න

Posted by

ගෙදර නිතර පාවිච්චියට ගන්න විදුලි උපකරණ වැඩි කල් යන්න කලින් කැඩෙන එක හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. හැබැයි මේකට හුඟක් වෙලාවට හේතු වෙන්නෙත් විදුලි උපකරණ නිවැරදිව නඩත්තු කරන්න සහ හැන්ඩ්ල් කරන්න දන්නෙ නැතිකම. මොකක් හරි විදුලි උපකරණයක් ගෙදරට ගෙනාවම හෙමීට ඉඳගෙන කැටලොග් එක එහෙම කියවන පුරුද්දක් වැඩි දෙනෙකුට නෑනේ.

ඉතින් මේවා මිල දී ගෙන වැඩි කාලයක් යන්න කලින් කැඩෙන එකෙන් බේරගෙන, ආයු කාලය වැඩි කරගන්න ටිප්ස් කීපයක් කියන්නයි අපි ලෑස්ති වෙන්නෙ. මේ ක්‍රම අනුගමනය කළොත් ඔබේ මුදල් වගේ ම, කාලය සහ ශ්‍රමයත් ඉතිරි කරගන්න පුළුවන් වේවි.

වොෂින් මැෂින්

  • වොෂින් මැෂින් එකට දාන්න කලින් ඇඳුම්වල පොකට්ස් හොඳට චෙක් කරන්න. මාරු කාසි, නෝට්ටු හෝ වෙන පොඩි පොඩි දේවල්, මැෂින් එක ඇතුළේ හිර වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කඩදාසි එහෙම මැෂින් එක ඇතුළේ කුඩු වුණොත්, හැම ඇඳුමක ම ඇලෙන්න පුළුවන්.

  • වොෂින් මැෂින් එක උඩ වාඩි වෙන්න හෝ බර දේවල් තියන්න යන්න එපා.

  • වොෂින් පවුඩර් පාවිච්චි කරද්දි වොෂින් මැෂින්වලට හරි යන කුඩු වර්ගයක් ද කියල බලන්න. සමහර රෙදි සෝදන කුඩු හරි යන්නේ හෑන්ඩ් වොෂින්වලට විතරයි.

  • හෝදලා ඉවර වුණ ගමන් මැෂින් එකෙන් රෙදි එළියට ගන්න. හුඟක් බර රෙදි තොගයක් හුඟ වෙලාවක් ඇතුළේ තියෙන්න ඇරියම මැෂින් එකට හානි වෙන්න පුළුවන්.

  • රෙදි හෝදලා ඉවර වුණාම මැෂින් එක ඇතුළේ තියන රබර් කොටස් හොඳින් පිහදාන්න, ඩිස්පෙන්සර් කොටස එළියට අරං හෝදලා වේලෙන්න තියන්න.

  • ඔබට තියෙන්නේ සෙල්ෆ් ක්ලීනිං ඔප්ෂන් එක නැති වොෂින් මැෂින් එකක් නං, මාසෙකට සැරයක් මැෂින් එක ඇතුළේ කොටස් හොඳින් හෝදන්න.

ශීතකරණ

  • සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකට සිද්ධ වෙන නොසැලකිලි පටන්ගන්නෙ ෆ්‍රිජ් එක ගෙදරට ගේනකොටමයි. මොකද හුඟක් අය ඕක උස්සන් එන්නේ හරහට, නැත්තං ඇල කරලා. ෆ්‍රිජ් එකක් ගෙදරට ප්‍රවාහනය කරද්දි ඒක කෙළින් අතට ගේනවද කියල සැලකිලිමත් වෙන්න. ගේ ඇතුළට අරන් එද්දි වුණත් අංශක 40කට වඩා ඇල කරොත් කම්ප්‍රෙසර් ඔයිල් ලීක් වෙලා ෆ්‍රිජ් එකට හානි වෙන්න පුළුවන්.

  • ඒ වගේ ම ෆ්‍රිජ් එකක් ගෙදරට ගෙනාපු ගමන් ඔන් කරන්න එපා. ගෙනල්ල පැය 4කට විතර පස්සෙ තමයි ඔන් කරන්න ඕන. ප්‍රවාහනයේදි ඇල වෙලා තිබුණා නං මේ කාලය පැය 15ක් දක්වා දික් කරන්න වෙනවා.

  • ඕන ම කෑමක් හෝ බීමක් උණු උණුවේ ෆ්‍රිජ් එකට දාන්න එපා. එළියේ ටිකක් නිවෙන්න ඇරලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

  • ඉඳලා හිටලා ෆ්‍රිජ් එකේ ඇතුළ හොඳට පිහදාලා සුද්ද කරන්න. පිටිපස්සේ එහෙමත් දූවිලි, මකුළු දැල් බැඳිලා නං ඒවා කඩලා සුද්ද කරලා දාන්න. මතක ඇතිව සුද්ද කරන්න කලින් විදුලිය විසන්ධි කරන්න. ඒ කියන්නෙ ප්ලග් එක බිත්තියෙන් ගලවන්න.

රයිස් කුකර්

  • කුකර් එක පාවිච්චි කරද්දි තෙත හෝ කිලිටි තැටි ඒක ඇතුළට නොදා ඉන්න පරිස්සම් වෙන්න ඕන.

  • කෑම උයද්දි කුකර් එකට දරන්න පුළුවන් බර ගැන අවධානයෙන් ඉන්න එකත් වැදගත්.

  • උයලා ඉවර වුණාම මතක ඇතිව කුකර් එකේ ඇතුළ හොඳින් පිහදලා තෙත ගතිය ඉවත් කරන්න. 

  • කුකර් එක හෝදනකොට කම්බිවලින් අතුල්ලන්නේ නැතුව, ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න. නැත්තං මතුපිටට හානි වෙන්න පුළුවන්.

මයික්‍රොවේව්

  • මයික්‍රොවේව් එකට දරන්න බැරි තරම් බරක් සහිත කෑම ඇතුළු කරන්න එපා. ප්‍රඩක්ට් කැටලොග් එකේ බර සම්බන්ධ විස්තර ගැන සඳහන් වෙනවා. ඒක කියවන්න.

  • මයික්‍රොවේව් එක හිස්ව තියෙද්දි ස්විච් ඔන් කරන්න එපා. එයින් මැග්නිට්‍රෝනයට හානි විය හැකියි.

  • පුංචි පුංචි කෑම ජාති රත් කරන වෙලාවට ඒකත් එක්ක ම වතුර වීදුරුවක් මයික්‍රොවේව් එක ඇතුළෙන් තියන්න. එතකොට කිරණ වතුරට උරාගන්න නිසා වඩා හොඳ ප්‍රතිඵල ලැබෙයි.

  • මයික්‍රොවේව් එක ඇතුළට වාතාශ්‍රය ලබා දෙන කවුළු අවහිර වෙන විදිහට ඒක උඩ එක එක ජාති අඩුක් කරන්න එපා.

  • මයික්‍රොවේව් එකේ තියන්න සුදුසු නැති විදිහේ පිඟන් කෝප්පවල දාලා කෑම රත් කරන්න යන්න එපා. ඒ වගේ ම කෑම රත් කරද්දි අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙලාවක් රත් කරන්නත් එපා.

  • කෑම රත් කරලා ඉවර වුණාම අමතක නොකර ස්පොන්ජ් එකකින් ඇතුළ පිහදාන්න.

බ්ලෙන්ඩර්

  • කිසි ම දෙයක් උණු උණුවේ බ්ලෙන්ඩර් එකට දාන්න එපා.

  • බ්ලෙන්ඩර් එකේ මෝටරයට වතුර නොයන විදිහට ඇතුළ පිරිසිදු කරන්න හැම විට ම වග බලාගන්න. වතුරෙන් හෝදන්නේ නැතුව තෙත රෙදි කෑල්ලකින් පිහදනවා නං වැඩිය හොඳයි.

  • ඕනවට වැඩි වෙලාවක් බ්ලෙන්ඩර් එක ඔන් එකේ තියන්න එපා. මෝටරය ඕවර්හීට් වෙන්න ඉඩ තියනවා. 

  • වියළි ඝන දේවල් කුඩු කරන්න බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා. ඒකට ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරන්න. බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න ඕන තෙත සහ දියරමය දේවල් මිශ්‍ර කරගන්න විතරයි.

Images: www.brightside.me
Leave a comment