Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

අපිට අමතක වුණු අපේ කෑම 1; කුරක්කන් තලපයි වැව් මාළු ආනමයි!

“නෑ, මට මතක් වුණේ අපේ අම්මා කුරක්කන් තලපවලට…

Posted by

“අම්මෙ?”

“ඇයි මොකද?”

“මෙදා පාර කිරි බත් කන්න තියෙන්නෙ උදේ නිසා…”

“ඔව්…”

“රෑට වෙන මොනව හරි හදමුකො. නිකං ගමේ කෑමක්. අර ඉස්සර ආච්චි ඉන්න කාලෙ හදන්නෙ, කුරක්කන් තලප වගේ. අනේ අම්මෙ”

මෙදා සැරේ අළුත් අවුරුද්දට, කාලෙකින් නොකාපු රස කෑමක් කන්න ඕන කියල හිතුණ නිසාමයි, ඊයෙ හැන්දෑවෙ අම්මා ෆ්‍රී වෙනකං ඉඳල මම පොඩි යෝජනාවක් දැම්මෙ. වැඩේ කියන්නෙ, ඕක ඇහිච්ච තාත්තත් මගේ පැත්තටම කතාකළා කියන්නකො.

“මම හොඳ කුරක්කන් පිටි ටිකක් ලුණුගම්වෙහෙර අක්කලගෙ දිහායින් ගෙන්න ගන්නම්” තාත්තා එක පිම්මට පොරොන්දු වුණා.

“හ්ම්ම්… ඒනම් ඉතිං මම රොබාට කියන්නම් ගඟෙන් අල්ලපු අළුත් කොරලි, වැව් මාළු ටිකක් ගේන්න කියල නේ අම්මෙ. එහෙම හොඳයි නේ?”

“එහෙම නම් හොඳයි තමයි. ඒත්…”

“ඇයි අම්මේ?”

“නෑ, මට මතක් වුණේ අපේ අම්මා කුරක්කන් තලපවලට හදපු ආනමේ රස. මතක් වෙද්දිත් කට කෙළ උනනව. වැව් මාළු ආනමනෙ. උණු උණුවෙ මේසෙට එද්දි තලප නෙවෙයි බත් හැළියකට වුණත් වග කිව්ව හැකි.

ඔය, ඒ දවස්වල ඉඳපු අපේ තාත්තගෙ යාලුවෙක්නෙ වැව් මාළු ගෙනැත් දෙන්නෙ. මනුස්සයගෙ නම කළු අයියා. ගමේ දඩයක්කාරයා. මතකෙ හැටියට මිනිහම තමයි රා පෙරන වැඩ, මී වද කඩන වැඩ එහෙමත් කළේ. ඉතිං අවුරුද්ද කිට්ටු කරද්දි මී පැණි බෝතලයයි, කිතුල් පැණි බෝතලයයි, දඩමස් මුලක් හරි කොරලි වැලක් හරියි වරදින්නෙ නෑ. අම්මා මස්, මාළු වැඩේට එච්චර කැමැති නැති නිසා අයියටයි තාත්තටයි තමයි ඕවා තෝරල බේරලා උයන පිහන රාජකාරිය භාර වුණේ.

ඔයාලගෙ තාත්තලගෙ දිහායින් අළුත් අවුරුද්දට කුරක්කන්, බඩ ඉරිඟු ගෝනි හත අටකුත් එන නිසා, අපේ අම්මට තිබ්බෙ ඒව අඹරල පිටි ගන්න විතරයි. ඇඳිරි වැටීගෙන එද්දි එළියෙ කුස්සිය ළඟ ලොකු දර ලිපක් හැදෙනව. හැබැයි ලිප ගිනි මොලවපු ගමන් ඇතිලිය ලිපේ තියන්නෙ නෑ. ඉස්සෙල්ලම දර හොඳට ඇවිළෙන්න අරිනව. එහෙම ඇවිලීගෙන යද්දි තමයි මැදඟිල්ලක් උසට වතුර පුරවපු වැලමිට.ක් (ඇඟිලි තුඩු සිට වැලමිට තෙක්) පළල (විෂ්කම්භය) ඇතිලිය ලිපේ තියන්නෙ. දර ඇවිලිලා ගිනි අඟුරු එක්ක, ගින්න මද වේගෙන එද්දි වතුර ටිකත් හොඳ ගානට උතුරලා. අන්න එතකොට තමයි ඇතිළියට කුරක්කන් පිටි හුණ්ඩු 4ක් දාලා ගණන් බලන්නෙ හැබැයි පිටි දාන පරක්කුවට අනිත් අතට හැඳි මිට අරගෙන කූරු ගාන්න ඕන. නැත්නම් හරියට එන්නේ නැහැලු. හොඳට හැඳි ගාගෙන යද්දි පිටි මදි කියල තේරුනොත්, අම්මා අල්ලට අරගෙන තව පිටි දානව. පිටි පදම හරි ගියත් හරි ඒ ගැම්මටම ළඟට ගන්නෙ ලුණු පොල් කට්ට. අත් ගුණේද මන්දා එයා ලුණු නම් දාන්නෙ එක පාරයි. සාමාන්‍යයෙන් අල්ල පිරෙන්න ගත්තු ලොකු ලුණු අහුරක් වගේ. 

[කුරක්කන් පිටි හුණ්ඩුවකට වතුර කෝප්ප 5යි (හැබැයි වතුර උතුරල නටන්න ඕන). ලුණු, කපල මේස හැන්දයි (රස අනුව තව දා ගන්න). මිශ්‍රණය, මද ගින්නෙ හැඳි ග ගා තලපෙ හදා ගන්න.]

ඒ අතරට අයියයි තාත්තයි කොරලි ටික සුද්ද කරල රෑට ඉදෙන කුරක්කන් තලප කන්න ආනමට ඕන අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරනව. හෝදපු මාළු කූරි ඉරි ගහල ගොරක, අබ, සුදු ළුෑණු, රම්පෙ කරපිංච, මිරිස් තුනපහ, කහ, ලුණු කලවමක පදම් වෙද්දි අම්මා ඇවිත් කරන්නෙ ඒකට ගණන් බලල වතුර දාන එක තමයි. සාමාන්‍යයෙන් කොරලි ඇතිලියත් තලප ඇතිලිය වගේම ලොකුයි. මාළු කූරිත් අටක් දහයක් ඇතුළෙ. ඇතිලියෙ උඩ ගැට්ට ගාවට වතුර දාලා ලිපේ තිබ්බාම පැය භාගයක් යන්නෑ හොද්ද නටාගෙන එන්න. අන්න එතකොට බැදල අඹරපු පොල් තලියකුයි, තෙල් පොඩ්ඩකුයි එකතු කරල හොඳට හැඳි ගානව. ඊට පස්සෙ ඉතින් ඇතිලියෙ මැදක් වෙනකම් හිඳෙන්න ඇරලා බාන එක අයියටයි තාත්ටයි බාරයි.

වැඩේ කියන්නෙ එ් වෙනකොට තලප හැළිය බාලා පොල් කටු හැන්දක සයිස් ගුලි දෙක ගානෙ කෙහෙල් කොළවලට බෙදල මේසෙ උඩ. අයියා පැට්‍රල් මැක්ස් එක ගහල උළු වස්සෙ එල්ලන අතරට තාත්තා මාළු ඇතිලිය ගෙනැල්ලා කෑම මේසෙ මැද්දෙ ලණු දරන්න උඩින් තියෙනව. හම්මේ… සුවඳ…..

මට අද වගේ මතකයි පළවෙනි පාර තලප කන්න ගිහින් කටේ අලව ගත්ත හැටි. අයියයි අක්කලයි හිනා වුණත් එක්ක. තාත්තා මට ආදරෙයිනෙ. එයා තමයි කියල දුන්නෙ හොදි බේරෙන තලප ගුලි ගිලින විදිය. හ්ම්ම්...”

අම්මගෙ කතාව පුංචි හීල්ලිල්ලක් එක්ක ඉවර වුණා. ඒ අතරට තාත්තත් එයාගෙ අතීතයට ගිහින්. සාලෙ ලයිටුත් නිවල නිසා මාත් කුරක්කන් තලපයි වැව් මාළු ආනමයි එක්ක මගේම ලෝකෙක තනි වුණා…

අනේ කවද හරි මටත් මගේ පොඩි එවුන්ට ඔය වගේ ගමේ කතාවක් කියන්න පුළුවන් වුණා නම්!

Leave a comment