Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

දෙමව්පියෝ දරුවන්ගේ ජීවිතේ වනසන හැටි

දරුවන්ට තමන්ගේ ජීවිතේ තමන් ම හොයාගන්න ඕන කරන…

Posted by

දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීම මිනිස්සුන්ට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. විශේෂයෙන් අපි වගේ ක්ෂීරපායීන් අතර මේ පරිණාමික බැඳීම ගොඩක් හොඳට දකින්න පුළුවන්. හැබැයි අනිත් සත්තුන්ට වගේ නෙවෙයි, මිනිස් දරුවන් සහ දෙමව්පියන් අතර මේ ජීව විද්‍යාත්මක බැඳීමට අමතර ව ඒ උඩ හැදිච්චි සංස්කෘතික බැඳීමකුත් තියෙනවා.

හැබැයි මේ සමහර සංස්කෘතික පුරුදු නිසා හොඳකට වඩා හානියක් වෙන වෙලාවල් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ඔයාගේ දරුවගේ ජීවිතේට නරක විදියට බලපාන්න පුළුවන් විදියේ පුරුදු පහක්.

අහස උසට බලාපොරොත්තු

දෙමාපියන්ගෙ හිතේ තමන්ගෙ දරුවො ගැන බලාපොරොත්තු ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ හැම බලාපොරොත්තුවක් ම ළමයගෙ පැත්තෙන් බැලුවොත් බරක්. සමහර විට ඔයා මේ දේවල් කෙලින්ම එයාට කියන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි ඔයාගෙ හිතේ හැමතිස්සෙ ම ඒ බලාපොරොත්තු වැඩකරනව නම් එයාට ඒක දැනෙනවා. දෙමව්පියන්ගෙ හැඟීම් තේරුම්ගැනීමේ හැකියාව ළමයින්ට උපතින් ම ලැබෙන දෙයක්.  ඉතිං ඔයා දේවල් හිතේ තදකරගෙන හිටියත් ඒව ඔයාගෙ දරුවගෙන් හංගන්න ලේසි නෑ.

හැම කෙනෙක් ම යුනික්. ඉතිං සමහර ළමයි උපතින් ම හරි සෝෂල්; සමහරු කැමතියි වැඩිපුර තනියෙන් ඉන්න. සමහරුන්ගෙ අතපය අනිත් අයට වඩා ශක්තිමත්; දුවන්න පනින්න කැමතියි. තවත් සමහරු කැමතියි වැඩිපුර මොළය වෙහෙසන්න; පොතපත කියවන්න. සමහරුන් හරිම කරුණාවන්වයි; සමහරුන්ට ඉක්මණට කේන්ති යනවා. ඉතිං ඒ ඒ කෙනාට තියෙන විශේෂතා ඔස්සේ එයාලගේ ජිවිතේ හොයාගන්න උදව්කරනවා මිස දරුවව දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවෙක්, ගායකයෙක්, ක්‍රීඩකයෙක් හෝ ඔයා කැමති විදිහේ කෙනෙක් කරන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න එක ඔයාගෙ දරුවට ලොකු මානසික පීඩනයක් වේවි.

අනිත් එක තමයි සමහර ළමයි පොඩි කාලෙ දි එක දේකට කැමති වෙලා පස්සෙ කාලෙක ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් දේකට යොමුවෙනවා. ජීවිතේ අරමුණු විතරක් නෙවෙයි, විශේෂයෙන් ගැටවර කාලෙ දි වෙන හෝමෝන වෙනස්වීම් වගේ දේවල් එක්ක, ලෝකය දකින විදිය සහ අනිත් අයත් එක්ක ගනුදෙනුකරන විදිය පවා සම්පූර්ණයෙන් වෙනස්වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා “ඔයා පොඩි කාලෙ දොස්තර කෙනෙක් වෙන්න ආසයි කීවනේ” වගේ නිදහසට කාරණා අදාළ වෙන්නෙ නෑ; මේ වගේ ලොකු වෙනස්විමකින් එයා අවුලකට යනව නම් ඒ ගැන ඇහැගහගෙන ඉඳලා උදව් කරනවා ඇරෙන්න ඒ වෙනස්වීම නතරකරන්න යන්න නරකයි. ළමයි කියන්නෙ සම්බෝල වගේ ජාතියක් නෙවෙයිනෙ, අපට ඕන ඕන විදියට හදන්න.

ඔයාගෙ ජීවිතේ - පාර්ට් ටූ

Image: 

කලින් කීව වගේ බලාපොරොත්තු ඇතිකරගන්න ගොඩක් අයට ඕන තමන්ට තමන්ගෙ ජීවිත කාලෙ දි කරන්න බැරිවුණු දේවල් තමන්ගෙ දරුවා ලවා කරගන්න. අනික තමයි අපි ගොඩක් අය කැමතියි තමන්ට පොඩි කාලෙ නොලැබුණු දේවල් ළමයින්ට දෙන්න; තමන් එක පාරක් ජීවත්වෙලා අත්දැකීම් තියෙන නිසා තමන්ට වැරදුණු තැන්වල දි එයාට වරදින්න නොදී තියාගන්න. කොටින් ම තමන්ගෙ ජීවිතේ ඔක්කොම අඩුපාඩු ටික මකාගන්න ලැබුණු දෙවෙන චාන්ස් එකක් හැටියට තමයි ගොඩක් අය තමන්ගෙ ළමය ව දකින්නෙ. ඒත් එහෙම නෑ!

ඔයාගෙන් ඉපදුණාට ඔයාගෙ ළමය කියන්නෙ වෙන ම මනුස්සයෙක්. උපතින් වගේ ම සමාජීයවත් එයා හැදිල තියෙන විදිය ඔයාට වඩා සම්පූර්ණයෙන් වෙනස්වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට කරගන්න බැරිවුණු දේවල් එයාගෙ කර පිට පටවන එක සාධාරණ නෑ.
කලින් පරම්පාරවල අත්දැකීම් ඊළග පරම්පරාවලට උදව්වෙනවා තමයි. හැබැයි තමන් මේ පාරෙ එක පාරක් ගිහින්, ඒකේ තියෙන වලවල් ගොඩැලි ගැන දන්න නිසා දැන් තමන්ගෙ දරුවට ඒව කියල දීලා එයාව ඒ වලවල් එකකවත් නොවැටී අරන්යන්න පුළුවන් කියල හිතන එක ටිකක් මෝඩ වැඩක්. “අපිත් ඔය වයස පහුකරල තියනවනේ” කියල කීවට අපි ඔය වයස පහු කළාට වඩා ගොඩක් වෙනස් පසුබිමක තමයි එයාලා ඒ වයස පහුකරන්නෙ. ඉතිං එයාලටත් සමහර දේවල් ඉගෙනගන්න වෙන්නෙ වලවල්වල වැටිල ම තමයි. මොකද අපිත් ඒ කාලෙ අපේ වැඩිහිටියො කියපුවා ඇහුව කියලයැ.  

අනික ජීවිතේ “හරි පාර” කියල එක පාරක් නෑ; එක එක පාරවල්වලින් හැරිලා යන්න පුළුවන්. එයා අනතුරුදායක පාරක යනව ද කියල පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්නව මිස එයාගෙ ජීවිතේ සුක්කාමන අපේ අතට ගන්න එකෙන් ඔයා එයාට කරන්නෙ ලොකු හානියක්.

ඉමෝෂනල් බ්ලැක්මේල්

මේකට නම් ලංකාව, ඉන්දියාව වගේ ආසියාවේ රටවල දෙමව්පියෝ කප් ගහලා ඉන්නෙ. මොකද මේක ඇත්තට ම වැඩකරනවා! හැබැයි දෙමව්පියන්ට මේක වැඩකළාට මේකෙන් දරුවට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්.

හැම දෙමාපියෙක් ම වගේ තමන්ගෙ දරුවෝ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. පොඩි කාලෙ නිදි නැතුව පැයෙන් පැයට ඇහැරගෙන බලාගෙන, චූ, කක්කා අස්කරලා, අසනීප වුණාම රැයක් දවාලක් නැතුව දොස්තරලා ගාවට දුවලා, පුළුවන් හොඳම කෑමබීම කවල පොවල තමයි කවුරුත් ළමයි හදන්නෙ.

හැබැයි ඔයා කරපු ඒ කැපකිරීම්වලට ඔයාගෙ දරුවා පළි නෑනේ. ළමයා ඇවිත් බඩට තට්ටු කරලා අහන්නෙ නෑනෙ, “මේ මම එන්නද” කියලා. ඔයාල තමයි තීරණය කරන්නෙ එයාව හදන්න. එතකොට වැඩිහිටියෝ හැටියට ඒකෙ තියෙන වගකීම දැනගෙන ඔයාලා තමයි ඒ තීරණය ගන්නේ.

ඉතිං ඔයාලා ඔයාලට ඕන නිසා තීරණය කරලා, ඊට පස්සෙ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන කියලා, ඒ කිසි දේකට වගකියන්න බැරි දරුවව මානසික ණයකාරයෙක් කරන එක අන්තිම කැත වැඩක්.

“අපි දුක් මහන්සි වෙලා නොකා නොබී උඹව හැදුවෙ,” “ඔයාව මලක් වගේ අපි හැදුවේ,” “අපි නැති වෙච්ච දාට තේරෙයි” වගේ කරන තර්ජනවලින් පොඩි ළමයින්ගෙ මනස ගොඩක් ඩැමේජ් වෙනවා විතරක් නෙවෙයි, ටික කාලයක් යද්දි ඒ ටෙක්නික් ම ඔයාට විරුද්ධ ව පාවිච්චි කරන්නත් එයා ඉගෙනගන්නවා.

පරිස්සමට කබඩ් එකේ දාලා තියන්න

ළමයින්ට පොඩි කාලෙ දි දෙමාපියන්ගෙ රැකවරණය ඕන තමයි. හැබැයි ඕනවට වඩා නෙවෙයි. ළමයි වුණාම දුවන්න, පනින්න, ගස් නගින්න, වැටෙන්න, තුවාලකරගන්න ඕන. විද්‍යාඥයෝ කියන විදියට මේ විදිහේ පොඩි පොඩි අවධානම්වලට මුහුණුදෙන එක ළමයින්ගේ මොළයේ වර්ධනයට ගොඩක් වැදගත්. ඒ විතරක් නෙවෙයි, යන යන තැන කරන කියන හැම දේක දි ම පරිස්සමට අතින් අල්ලගෙන යන්නයි, පස්සෙන් යන්නයි පුරුදුවුණාම එයාලට තනියම ලෝකයට මුහුණදෙන්න අවශ්‍ය පෞරුෂය හදාගන්න බැරිවෙනවා.

Image: VoVatia

මූණ හෝදන, ටොයිලට් යන එකේ ඉඳන්, කන බොන, නිදාගන්න එක දක්වා හැම දේට ම ඔයා ඇඟිල්ල ගහනව නම්, වැටෙයි කියල බයට බයිසිකලයක්වත් පදින්න දෙන්න නැත්නම්, එයාගේ පංතියෙ දි ආශ්‍රයකරන්න ඕන යාළුවෝ කවුද එපා අය කවුද කියල ඔයා තීරණය කරනව නම්, හැමතිස්සෙම හැම දේකට ම එයාව බයකරනව නම්, හංදියට ගියත් යාළුවෙකුගෙ ගෙදර ගියත් විනාඩියෙන් විනාඩියට කෝල් කරකර බලනව නම්, ඒ කියන්නෙ ඔයා එයාව පරිස්සම් කරනව හොඳට ම වැඩියි.

පත්තරවලින් ටීවීවලින් උදේ ඉඳන් දකින අනතුරු, අපරාධ වගේ දේවල් නිසා අද කාලේ ගොඩක් දෙමව්පියෝ හිතාගෙන ඉන්නෙ පැය විසි හර ම ළමයින්ගෙ පස්සෙන් ගිහින් මේවයින් ළමයි ආරක්ෂා කරගන්න එක තමයි එයාලගේ එකම රාජකාරිය කියලා. හැබැයි අද තියෙන තොරතුරු තාක්ෂණය නිසා ලෝකේ කොහේ හරි වෙච්චි අවාසනාවන්ත සිද්ධි මාධ්‍යවලින් උලුප්පලා පෙන්නවා මිස මේ දේවල් ඔය කියන තරම් සුලභ නෑ. ඇමරිකාව වගේ රටවල සමහර පාර්ක්වල තියෙන ඔන්චිල්ලා පවා ළමයින්ට අනතුරුදායකයි කියල ගලවල දාන තරමට මේක පිස්සුවක් වගේ වෙලා.

Image: lesvosnews.net

ළමයි කියන්නෙ මෙහෙම කබඩ්වල දාලා පරිස්සම් කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි. එයාලගේ වයසේ තරමට පොඩි පොඩි අවදානම් ගන්න, දේවල් තනියෙන් අත්හදාබලන්න එයාලට ඉඩදෙන්න ඕන. නැත්නම් එයාලා වැඩිහිටියෝ වුණාට පස්සෙත් ජිවිතේ ගැන තීරණ ගන්න බැරි, කවුරු හරි පස්සෙන් ඉඳලා බලාගෙන්න ඕන සදාකාලික “ළමයි” වේවි.

ලෝකෙ කැරකෙන්නෙ ළමයගෙ වටේ නෙවෙයි

දෙමාපියන්ට තමන්ගෙ දරුවෝ කියන්නෙ ලෝකේ වටින ම දේ තමයි. හැබැයි එකම දේ නෙවෙයිනේ. තමන්ගෙ ජීවිතේ එකම අරමුණු, එකම බලාපොරොත්තුව කරගත්තම තමයි ඔය උඩ කියපු ප්‍රශ්න ගොඩක් එන්නෙ.

දරුවෝ ලැබෙන්න කලින් ඔයගොල්ලො ගතකරපු ජීවිතේ දරුවා නිසා සම්පූර්ණයෙන් අතාරින්න එපා. ඔය දෙන්නගෙ ආදරේ, විනෝදාංශ, යාළුවෝ වගේ දේවල්වලටත් ඉඩ තියාගන්න.

අර කලිනුත් කීව වගේ දරුවන්ට දෙමාපියන්ගේ හැඟීම් හොඳට දැනෙනවා. ඉතිං ඔයා ඩෙස්පරේට් විදියට අනිත් දේවල් අතෑරලා එයාලට ආදරේ කරන්න ගියොත් ඒක එයාලගෙ ඔළුවට ලොකු වදයක් වේවි. මොකද එයා කරන කියන හැම දේක දි ම ඔයාගෙ හිත නොරිද්දන්න ලොකු මහන්සියක් ගන්න එයාලට සිද්ධවෙනවා. අනිත් පැත්තෙන් එයාලා ලෝකය දකින්න ඉගෙනගන්නෙ ඔයාලගෙන්. ඉතිං ඔයාලගෙ සම්පූර්ණ ලෝකයම කැරෙන්නෙ එයා වගේ නම්, එයා එළියේ සමාජයට ගියාමත් හිතන්න පුරුදු වේවි මුළු ලෝකෙම කැරකෙන්නෙ එයා වගේ තමයි කියලා.

අර කියමනකුත් තියෙන්නෙ ජීවිතේ ඕන ම දෙයක් ඔනවට වඩා බදලා අල්ලගන්න එපා කියලා. ඉතිං දරුවො ගැනත් කියන්න තියෙන්නෙ ඒ ටික ම තමයි. එයාලට තමන්ගේ ජීවිතේ තමන් ම හොයාගන්න ඕන කරන නිදහස දෙන එකත් ආදරේ තරමට ම වැදගත්.

 

Cover Image: Kiera-McCraith

See 2 Comments