Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ඔයාටත් බල්ලොත් එක්ක බෑ... ද?

මොරටුව කැම්පස් එකේ හිටපු බල්ලන්ව මරපු එක ගැන…

Posted by

මොරටුව කැම්පස් එකේ හිටපු බල්ලන්ව මරපු එක ගැන මේ දවස්වල ලොකු කතාවක් යනවා. කොන්දේසි විරහිත ව සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනීසිටින අයයි කොන්දේසි විරහිත ව තමන්ගෙ කැම්පස් එක වෙනුවෙන් පෙනී හිටින අයයි අතර මේ වලිය අස්සෙ, ඇත්තටම මේ බලු ප්‍රශ්නෙ සාධාරණ සහ මානුෂික විදියකට විසඳන්නෙ කොහොමද කියල කල්පනාකරන අයත් කීපදෙනෙක්වත් ඇති නේ. මේ ලියන්නෙ ඒ අයට.

මොකක්ද සීන් එක?

ඩෙංගු පැතිරීම වලක්වන්න සති කීපයක් මොරටුව කැම්පස් එක වහල තියෙන අතරේ ඒකේ හිටපු බල්ලන්ට වස ඉන්ජෙක්ට් කරලා ගෙනිහින් පිටිපන පැත්තෙ ඉඩමකට ගෙනිහින් දැම්මා කියල තමයි චෝදනාව තියෙන්නෙ. මේ විදියට ‘වස’ ඉන්ජෙක්ට් කරපු බල්ලෙක් අමරුවෙන් කෑගහන (ටිකක් බලාගෙන ඉන්න අමාරු) වීඩියෝ එකක් ෆේස්බුක් එකේ ෂෙයාර් වීම (සහ පහුවෙනි දා ඒක දාපු කෙනා ඒක අයින් කිරීම) එක්ක තමයි මේ සිද්ධිය ෆේස්බුක් එක පුරා ලැව් ගින්නක් වගේ පැතිරුණේ. කොහොම වුණත් විශ්වවිද්‍යාල පරිපාලනය කියන්නෙ බල්ලන් ව තාවකාලික ව සිහිනැති කරන්න ගහපු ඉන්ජෙක්ෂන් එකක් ඕවර්ඩෝස් වෙලා මේක වුණා මිස හිතල මැරුවේ නෑ කියලා. ඒත් මේ කියන බෙහෙත මේ විදියට පශු වෛද්‍ය කෙනකුගේ නිර්දේශයක් නැතුව පාවිචි කරන්න බෑ කියල තමයි පශු වෛද්‍ය සංගමය කියන්නෙ.

මොරටුවට කලින් ජ’පුර කැම්පස් එකෙත් මේ විදියට බල්ලො මැරුවා කියලා ලොකු චෝදනාවක් ආවා. මේ විදියට බල්ලො මරන එක පිටිපස්සෙ පලාත් පාලන සහ පලාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා ඉන්නවා කියල සමහරු චෝදනා කළත්  එයා නම් කියන්නෙ අයාලේ යන බල්ලන් පාලනය කරන්න “යම් යම් පියවර” ගන්න ඕන වුණත් බල්ලන් මරන එක රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා.

මීට අවුරුදු කීපයකට කලින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවෙ පවත්වන්න සූදානම් වෙද්දිත් කොළඹ හිටපු බල්ලන් මේ විදියට අතුරුදහන් වුණා. පහුගිය දවස්වල ජනාධිපති ගංවතුර බලන්න රත්නපුරේට යද්දිත් ඒ අවට හිටපු බල්ලන්ව නිර්වින්දනය කරල අරන් ගිහින් තියෙනවා. මේ විදියට අරන් යන බල්ලන්ට මොකද කරන්නෙ කියන එක ගැන තාමත් පැහැදිළි උත්තරයක් නෑ.

බල්ලොත් එක්ක බෑ

ඇමරිකාවේ සහ යුරෝපයේ ගොඩක් දියුණු රටවල පාරවල්වල බල්ලො නැති තරම්. බල්ලො මරන එකට පක්ෂ ගොඩදෙනෙක් කියන්නෙ ලංකාවත් දියුණු රටක මට්ටමට ගේන්න ඕන නම් පාරවල්වල ඉන්න බල්ලො අයින් කරන්න ඕන කියලා. හැබැයි පාරවල්වල එක බල්ලෙක්වත් නැති ගානට මේ ප්‍රශ්නෙ විසඳගත්ත නෙදර්ලන්තෙ ඇනිමල් ෆවුන්ඩේෂන් ප්ලැට්ෆෝම් එක නම් කියන්නෙ මේ විදියට බල්ලො මරලා මේක විසඳන්න බෑ කියලා.

සීමා මායිම් හදාගෙන මහ පොළොව බෙදාගන්න මරාගන්නව කියල ගොඩක් අය මිනිස්සුන්ට දොස් කීවට ඇත්තටම මේ විදියට සීමා හදාගෙන ඉන්නෙ මිනිස්සු විතරක් නෙවෙයි. බල්ලො කියන්නෙත් ටෙරිටෝරිල් සත්තු ජාතියක්. ඒ කියන්නෙ බල්ලො තමන් ඒරියා එකට පිට බල්ලන්ට එන්න දෙන්නෙ නෑ. හැබැයි මොකක් හරි පැත්තක ඉන්න මේ “අයිතිකාර බල්ලො” ටික මැරුවොත් හරි වෙන තැනකට ගෙනිහන් දැම්මොත් වෙන්නෙ ටික දවසක් යද්දි අවට තියෙන ඒරියාවල බල්ලො ඇවිත් මේ පලාත අල්ලගන්න එක. ඉතිං ගේට්ටු, වැටවල් දාලා බල්ලන්ට ඇතුලට එන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන් ඇහිරුවොත් මිසක් මේ විදියට බල්ලො මරන එකෙන් බල්ලො එන එක නවත්තන්න බෑ.

අනිත් එක බල්ලො කියන්නෙ වේගෙන් බෝ වෙන සත්තු ජාතියක් නිසා රටක් හැටියට ගත්තත් හැම මාස 6කට ම සැරයක් වත්, පාරෙ ඉන්න බල්ලන්ගෙන් 70-80%කට වැඩියෙන් මරන්නෙ නැතුව මේ ක්‍රමයෙන් බලුගහණය පාලනය කරන්න බෑ. ගෙවල්වල ඉන්න බල්ලො පැටව් ගහපුවම උන්වත් පන්සල් පල්ලි ළගට ගෙනිහින් දාන අපේ පුරුද්දත් එක්ක මේ ප්‍රතිශතය මීටත් වඩා වැඩිකරන්න වෙයි. හැබැයි මේක කවදාවත් ඉවර වෙන වැඩක් නෙවෙයි.

මෙහෙම සදහටම බල්ලො මරමර ඉන්නවට වඩා මේ ප්‍රශ්නය විසඳන්න තියෙන ප්‍රායෝගික විදියක් විදියට දැන් ගොඩක් දෙනෙක් පිළිගන්නෙ CNVR (Collect Neuter Vaccinate and Return) ක්‍රමය. ඒ කියන්නෙ මේ පාරෙ ඉන්න බල්ලන්ව අල්ලලා උන්ට පැටවු හම්බවෙන්නෙ නැති වෙන්න සර්ජරි කරලා, පිස්සු බලු සහ අනිත් ලෙඩවලට බෙහෙත් ගහලා ආපහු උන් හිටපු තැන්වලටම අතාරින එක. මේ ක්‍රමයේ දී දැනට ඉන්න බල්ලන්ව සර්ජරි කරන නිසා අලුතින් බෝ වෙන්නෙ නෑ. ඒ වගේ ම  මේ බල්ලො ටික ඉන්න නිසා පිට පලාත්වලින් බල්ලො එන්නෙත් නෑ. මේ ක්‍රමය තමයි දීර්ඝකාලීන ව අයාලෙ යන බල්ලන් ප්‍රමාණය අඩුකරන්න පුළුවන් සාර්ථක විදිය කියලා දැනට පිළිගන්නෙ.

‍බල්ලන් සමග වාසේ

කොළඹ වගේ ජනාකීර්ණ පැතිවල පාරෙ බල්ලො ඉන්න එක සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වුණාට ලංකාව, ඉන්දියාව වගේ රටවල් මිනිස්සු සාමාන්‍යයෙන් අයිතිකාරයෝ නැති බල්ලන්ව ප්‍රශ්නයක් විදිය දකින්නෙ නෑ. ගම් පලාත්වල විතරක් නෙවෙයි, කොළඹට කිට්ටු අර්ධ නාගරික පැතිවල වුණත් ගෙවල්වල කූඩුවේ දාලා හදන බල්ලන්ට වඩා වැඩිපුර ඉන්නෙ ගමේ කොයි කවුරුත් අඳුනන, හැම ගෙදරින් ම වගේ කන්න හම්බවෙන (සමහර වෙලාවට නමකුත් තියෙන) බල්ලො තමයි. කැම්පස්වල, ඉස්කෝලවල, පන්සල්වල ඉන්න බල්ලන්ට කන්න දෙන එක අපේ වගේ රටවල මිනිස්සුන්ගෙ පුරුද්දක්. ඉන්දියාවේ නම් මේ විදියට පාරවල්වල ඉන්න බල්ලන්ගෙ “බලු අයිතීන්” නීතියෙන් ම තහවුරු කරලා තියෙනවා. ඉතිං තනි අයිතිය යටතේ බල්ලො හදන සම්ප්‍රදායක් තියෙන යුරෝපෙට වඩා ආසියාවේ අපේ පැතිවල බලු-මිනිස් සම්බන්ධතා ටිකක් වෙනස්.

කොහොම වුණත් බල්ලන්ට කැමති කට්ටිය වගේ ම බල්ලන්ට අකැමති කට්ටියත් ඉන්න බව අපට පිළිගන්න වෙනවා. ඒ වගේ ම ගමේ හැමෝම දන්න කියන බල්ලො වගේ නෙවෙයිනෙ නාගරික පරිසරයට, නැත්නම් කැම්පස් එකක් වගේ ආයතනයක් ඇතුලෙ මේ විදියට බල්ලො ඉන්න එක කරදයක් වෙන්නත් පුළුවන්. ඉතිං මේ බල්ලන්ට අකැමති කට්ටිය “බල්ලන්ගෙන් තොර රටක්” (අඩු ගානෙ පාරවල්වලවත්) වෙනුවෙන් සටන් කරන එකට වැරැද්දක් කියන්න බෑ. හැබැයි එකක් තියෙනවා. ඔයා බල්ලන්ට කැමති වුණත්, අකැමති වුණත්, අවිහිංසාවාදියෙක් වුණත්, නොවුණත්, බල්ලො මරල නම් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.

 

Leave a comment