Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

ලංකාව වටේ කොහේ ගියත්, අපට කන්න ලැබෙන බනිස්

පෝල් ප්‍රනාන්දු මහත්මයාගේ "පාන් මාමා" සිංදුවම ඇති…

Posted by

රෝස් පාන් සීනි බනිස් කන්නට හිතිලා

පුංචි නංගි මල්ලි මාමා වටේ රොක් වෙලා

සතේ දෙකේ කාසිවලින් ගනං බේරලා

උණු පාන් බනිස් ගෙදර ගෙනෙයි දෑත පුරවලා

පෝල් ප්‍රනාන්දු මහත්මයාගේ "පාන් මාමා" සිංදුවම ඇති ලංකාවේ අපේ අයට පාන්, බනිස් කොච්චර වැදගත්ද කියලා දැනගන්න. වේල් තුනෙන් එක වේලක් හරි පාන්, බනිස්වලින් යැපෙන අය අපි අතර ඕනේ තරම්. මොන්ටිසෝරි, ඉස්කෝලේ එහෙම යන කාලේ වුණත්, අම්මල කෑම පෙට්ටියට සීනි බනිස් ගෙඩියක්, මාළු පාන් එකක් ඔබල දුන්නා ඔයාලට මතක ඇති.

කොහොම වුණත්, මේ පාන්, බනිස් අතරේ, ලංකාවේ ඕනේ තැනකින් ගන්න පුළුවන් බනිස් වර්ග කිහිපයක්ම තියෙනවා. ඇත්තම කියනවානම්, මේ බනිස්වලට වඩා රසවත් ඒවාට පට බැඳිලා තියෙන නම් ටික. එහෙනම් බලන්නකෝ, මේවයින් කීයක් ඔයාලත් කාලා තියෙනවද කියලා.

1. ප්ලේන් බනිස්

කට්ටිය මේකට තේ බනිස් කියලත් කියනවා. ගොඩක් අය තේ එකක් එහෙම බොන වෙලාවට මේ ජාතියේ බනිස් ගෙඩියක් කන්න පුරුදුවෙලා ඉඳීම තමයි එකට හේතුව. නමේ කියන විදියටම මේක අනං මනං මුකුත් නැති ප්ලේන් බනිස් ගෙඩියක්. ලොකුවට සීනි රසක් ඇත්තෙත් නැහැ. මේ බනිස් ගෙඩිය කද්දී ඉඳලා හිටලා හැපෙන මුද්දරප්පලම්වලින් මේවයේ රස තවත් වැඩිවෙනවා. හැබැයි මේ කාලේ තියෙන හැම ප්ලේන් බනිස් ගෙඩියකම නම් ඒ වගේ මුද්දරප්පලම් හොයාගන්න නැහැ.

2. ක්‍රීම් බනිස්

ක්‍රීම් බනිස්වල තියෙන්නෙත් ප්ලේන් බනිස්ම තමයි. ඒත් ඒවා ටිකක් සයිස් එකෙන් පොඩි ප්ලේන් බනිස්. ඒ වගේ පොඩි ප්ලේන් බනිස් දෙකක් මැදට පැණි රස ක්‍රීම් ටිකක් දාලා ජෝඩුවක් විදියට විකිණෙන ක්‍රීම් බනිස්වල, ටිකක් වගේ පැණි රස ගතියක් තියෙනවා.

3. කිඹුලා බනිස් / වියන් රෝල්

කිඹුලාගේ දිගටි හැඩේ ගත්ත මේ බනිස්වලට ආස නොකරන කෙනෙක් නැති තරම්. ඉස්සර නම් ඇත්තටම කිඹුලාගේ සයිස් එකටම හරියන විදියේ කිඹුලා බනිස් තිබුණත්, කතාවට නම් අපේ අය කියන්නේ දැන් තියෙන්නේ හූණා බනිස් කියලා. දැන් තියෙන කිඹුලා බනිස්වල සයිස් එක දැක්කම ඒ කතාවෙත් ඒ හැටි වරදක් තියෙනවා කියල කියන්නත් බැහැ. උඩින් සීනි ඉහලා, තරමක් ගනකම් මතුපිටක් එක්ක හැදෙන මේ බනිස් හැපෙද්දී ලාවට කරස් සද්දෙකුත් එනවා. උණුවෙන් තියෙද්දී තමයි මේවා ගොඩක්ම රස. අපේ සමහර අය ඉන්නවා තේ එකේ පොඟවලා කිඹුලා බනිස් කන්න කැමැත්තක් දක්වන.

4. ජෑම් බනිස්

ප්ලේන් බනිස් ගෙඩියට වැඩ කෑලි ටිකක් එකතුවෙලා හැදුණු බනිස් වර්ගයක් තමයි ජෑම් බනිස්. සමහරු මේක හොරි බනිස් කියලත් හඳුන්වනවා. මැද පොඩි සිදුරකට ජෑම් පුරවලා, බනිස් ගෙඩිය මතුපිටින් සීනි කැට ඉහලා තියෙන නිසා ටිකක් පැණි රසෙන් වැඩි ගතියක් මේ බනිස් වර්ගයේ තියෙනවා.  

5. ජෑම් පාන්

ඇතුළට ජෑම් පුරවපු, තවත් පැණි රසෙන් වැඩි බනිස් වර්ගයක් තමයි ජෑම් පාන්. බීක්කු හැඩති දාර දෙකකින් වගේම සීනි මතුපිටක් සහිත නිසා ලේසියෙන්ම මේ බනිස් වර්ගය අඳුරගන්න පුළුවන්.

පැණි රස ප්‍රිය කරන අය අතරේ වගේම, ඉස්කෝලේ යන පොඩි අය අතර ගොඩක්ම ජනප්‍රිය බනිස් වර්ගයක් තමයි ජෑම් පාන්.

6. සීනි බනිස්

මේකත් සීනි බනිස්වලින් ආරය අරන් හැදෙන බනිස් වර්ගයක්. මේ බනිස් හදන්නේ ප්ලේන් බනිස්වල මතුපිටට සීනි ඉහලා. පැණි රසක් තියෙන නිසා, සීනි අඩු හෝ නැති ප්ලේන්ටියක් එක්ක කන්න හොඳ බනිස් වර්ගයක් තමයි මේක.

7. මාළු පාන්

"මාළු පාන්" කියල නමට කිව්වට, ඇත්තටම මාළු තියෙන මාළු පාන් නම් හොයාගන්න හරිම අමාරුයි. ගොඩක් වෙලාවට මේ බනිස්වල පුරවලා තියෙන්නේ අල, ළූණු මිශ්‍රණයක්. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට මේ මිශ්‍රණවලින් වැඩිපුරම එන්නේ ගම්මිරිස් තොගයක් එක්ක එකතුවුණු කහවල රස.

අනිත් දේ තමයි, බනිස් එකේ මැදට වෙන්න තමයි මිශ්‍රණය තියෙන්නෙත්. ඒ නිසා බනිස් එක කද්දී ගොඩක් වෙලාවට නිකන් බනිස් එක තමයි හැපෙන්නේ.

8. බිත්තර පාන්

තරමක ගුණයක් තියෙන බනිස් වර්ගයක් විදියට බිත්තර පාන් හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් හීනියට කපපු බිත්තර කෑලි දෙකකුත් එක්ක සීනි සම්බෝල/ චිලී පේස්ට් ටිකක් මැදි කරලා තමයි බිත්තර පාන් හැදෙන්නේ. අපි මේ ගත්ත බිත්තර පාන් එක පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ එකක් නිසා, වැඩිපුර බිත්තර ටිකක් වගේම, සලාද කොළ, මාළු මිරිස්, තක්කාලි පෙත්තක් වගේ දේවලුත් ඒකෙ තිබුණා. මේ ඇරුණාම, බැදපු බිත්තර, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ඔම්ලට් දාලත් මේ බනිස් එක හදන වෙලාවල් තියෙනවා. එතකොට ඒක හඳුන්වන්නේ ඔම්ලට් පාන් කියලා. කොහොම වුණත්, මේ බනිස් වර්ග දෙකම බඩ පිරෙන්න කන්න පුළුවන් බනිස් වර්ග බව නම් කියන්නම ඕනේ.

9. දඟර බනිස්

කොයිල් එකක හැඩය ගන්න මේ බනිස් වර්ගයෙත් තරමක් පැණි රසයි. සමහර වෙලාවට දඟර බනිස් මතුපිටත් සීනි ඇට ඉහලා තියෙනවා දැකගන්න පුළුවන්. ඇතුළතින් ගොඩක් මෘදු ගතියක් තියෙන බනිස් වර්ගයක් තමයි මේක.

10. සීනි සම්බෝල බනිස්

මාළු පාන්වල මාළු නැතිවුණත්, සීනි සම්බෝල බනිස්වල සීනි සම්බෝල නම් තියෙන බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මදි නොකියන්න සීනි සම්බෝල දාපු බනිස් තමයි ගොඩක් කඩවල්වල විකුණන්න තියෙන්නේ. හැබැයි මේ අතරේ සීනි සම්බෝල වෙනුවට සීනි නැති නිකන්ම ළූණු බැදුම් පුරවපු බනිස්නුත් නැතුවම නෙවෙයි. ඒ කොහොම වුණත්, හරියට ළූණු, කෑලි මිරිස්, ලුණු, සීනි දාලා හදපු සීනි සම්බෝල තියෙන බනිස් නම්, ඇත්තටම හරිම රසයි.

ලංකාව වටේ කොහේ ගියත් ගන්න පුළුවන් බනිස් වර්ග ගැන තමයි අපි මේ කතා කළේ. ඇත්තටම ලංකාවට ආවේණික විදියට නම් පට බැඳලා හැදෙන මේ බනිස් වර්ග නොකාපු කෙනෙක් හොයාගන්නම නැති තරම්. ඔයාලටත් මේ වගේ තවත් බනිස් වර්ග මතක් වුණොත් අපට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද.

 

See 1 Comment