Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

සුපිරි වෙළෙඳසැල්වලින් බඩු ගන්න ගියාම.. මතක ඇතුව මේ දේවල් 7 නොකර ඉන්න

රස්තියාදු නොවී එක තැනකින් බඩු ගන්න. හැබැයි..

Posted by

මේ දවස්වල සමහර පැතිවලට ඇඳිරි නීතිය. තවත් සමහර පැති තාම කොරෝනා අවදානම් කලාප වෙලා නෑ. කොහේ හිටියත් මේ දවස්වල ඔය සුපුරුදු ගමන් බිමන් අඩු කරන එක තමයි නුවණට හුරු. හැබැයි ඉතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහෙම ගන්න නම් සතියකට සැරයක් දෙකක් වත් එළියට පහළියට බහින්න වෙනවා. ඇඳිරි නීතිය දාලා තියන පැතිවලටත් දවස් කීපයකට සැරයක් ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න යන්න ඉඩ දෙන්න ඕන නිසා.

බඩු ගන්න යනකොට තැන් තැන්වල රස්තියාදු නොවී එක තැනකින් ඔක්කොම බඩු ගන්න පුළුවන් නං හොඳයි. එහෙම කියද්දි මතකෙට එන්නෙ සුපර් මාර්කට් නේ. මොකද ඕන ජාතියක ඕන බඩුවක් එක ම තැනකින් ගන්න පුළුවන් වෙන්නේ සුපර් මාර්කට් එකකට ගියොත් විතරයි. කොහොම වුණත් සුපර් මාර්කට් කියන්නෙත් කොරෝනා වෛරසයට හැංගිලා ඉන්න බැරි තැනක් නෙවෙයි. ඒ හින්දා මොන සුපර් මාර්කට් එකට ගියත් ඔබ වෛරසයට නිරාවරණය වීමේ ඉඩක් තියනවා. 

ඉතින් බඩු ගන්න සුපිරි වෙළෙඳසැල්වලට ගියාම ඔබ වැළකී ඉන්න ඕන ක්‍රියා කීපයක් සිහිපත් කරන්න අපි කල්පනා කළා.

1 ෂොපිං කාට්/ බාස්කට්

අත් හෝදලා සැනිටයිස් කරලා උණ චෙක් කරලා සුපර් මාර්කට් එක ඇතුළට ගියා කියමුකෝ. ඊළඟට මුලින් ම කරන්න වෙන්නෙ හැමෝම අල්ලන ෂොපිං කාට් එකක්, නැත්තං බාස්කට් එකක් අල්ලන්න වෙන එක. ගන්න තියන බඩු ප්‍රමාණය පොඩ්ඩයි නං කාට්, බාස්කට් පාවිච්චි නොකරන තරමට හොඳයි. ඒත් මේ දවස්වල නිතර නිතර බඩු ගන්න යන්න බැරි නිසා එක පාර හැමෝම බඩු ගොඩක් ගන්නව නේ. ඉතින් අඩු ගාණේ බාස්කට් එකක් වත් නැතුව බෑ.

බාස්කට් එක අල්ලනකොට නිකම් ම අත් දෙකෙන් අල්ලන්න එපා. ටිෂූ එකක් වගේ දේකින් අල්ලනව නං වඩා හොඳයි. නැත්තං හොඳ ම දේ සුපර් මාර්කට් යද්දි ග්ලව්ස් දාගෙන යන්න.

2 අතපත ගාන්න එපා

සුපර් මාර්කට්වල තියෙන්නෙ මිනිස්සු සිය ගණනක් අල්ලලා බලලා තියල ගිය බඩුමුට්ටු. ඒ නිසා තමන්ට අවශ්‍ය දේ එක පාරින් අරන් කාට් එකට දාගන්න. බඩු අතපත ගගා හරව හරව බල බල ඉන්න එපා. අර කලින් කිව්වා වගේ ග්ලව්ස් දාගෙන යනවා නං ප්‍රශ්නයක් නෑ. හැබැයි ග්ලව්ස් දාපු අතින් මූණකට අල්ලන්න, මාස්ක් එක හදන්න එහෙම යන්න එපා. ඒ වගේ ම ගෙදර ඇවිත් මතක ඇතුව ග්ලව්ස් දෙක නිවැරදි විදිහට බැහැර කරන්න.

3 සුවඳ බලන්න එපා

විශේෂයෙන් එළවළු, පලතුරු, නැත්තං සබන්, ෂැම්පු, පර්ෆියුම් වගේ දේවල් එහෙම ගන්නකොට නහයට අල්ලලා සුවඳ බලන සිරිතක් ගොඩ දෙනෙකුට තියනව නේ. හැබැයි මේ දවස්වල නං ඒ විදිහට කිසි ම දෙයක් මූණට ලං කරන්න එපා. මාස්ක් දාගෙන හිටියත් සුපර් මාර්කට් එකේ බඩුවල තියන විෂබීජ මූණට ලං කරගෙන අවදානමක් ගන්න ඕන නෑනේ. 

4 ලං වෙන්න එපා

බඩුමුට්ටු දිහා බල බල ඇවිදිනකොට නොදැනීම අනික් අයට ලං වෙන්න, ඇඟේ හැප්පෙන්න ඉඩ තියනවා. ඒ ගැන ප්‍රවේසම් වෙන්න. විශේෂයෙන් ඇඳිරි නීතිය දාල තියන පැතිවල නං ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවට සුපර් මාර්කට්වල සෙනඟ පිරිලා ඉතිරෙනවා. ඒ නැතත් මේ දවස්වල හැමෝම බඩු එක්රැස් කරලා තියාගන්න උනන්දු හින්දා කොහොමත් කඩවල්වල සෙනඟ වැඩියි නේ. ඉතින් දුරස්ථිකරණ නීතිරීති අමතක කරන්න එපා.

5 ඇවිද ඇවිද ඉන්න එපා

වෙනදා වගේ හෙමින් හෙමින් හොඳට කල් වේලා අරන් සුපර් මාර්කට් එක ඇතුළේ ඇවිද ඇවිද නිදහසේ බඩු තෝරන්න කාලය නෙවෙයි මේ. බඩු ගන්න යද්දි අත්‍යවශ්‍ය ම දේවල්වල ලැයිස්තුවක් හදාගෙන යන්න. එතකොට ලේසියි. තමන්ට අවශ්‍ය දේවල් තියන තැන්වලට විතරක් ගිහින් ඉක්මනින් ඒවා තෝරගෙන එන්න. ඔබ පොදු තැන්වල ඉන්න වෙලාව වැඩි වෙද්දි විෂබීජවලට නිරාවරණය වෙන ප්‍රමාණයත් වැඩියි.  

6 කෑෂ් ද කාඩ් ද?

සල්ලි කියන්නෙ වැඩිපුර ම විෂබීජ රැඳිලා තියෙන්න පුළුවන් දෙයක්. සමහරු නං එළියට ගිහින් ආවම කාසි සහ නෝට්ටු වතුරෙන් හෝදන්න හෝ සැනිටයිස් කරන්න උනන්දුයි. ඒත් හැමෝම ඒක කරන්නෙ නෑනේ. ඉතින් අපි අතට එන කාසි නෝට්ටු කොහේ ඉඳන් මොන විෂබීජ අරං එන ඒව ද කියල අපි දන්නෙ නෑ. හුඟක් සුපිරි වෙළෙඳසැල් කාඩ්පත්වලින් ගෙවීම්වලට මේ දවස්වල පාරිභෝගිකයන්ව උනන්දු කරන්නෙ ඒකයි. ඉතින් කෑෂ්වලින් ගෙවන්නෙ නැතුව පුළුවන් තරම් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වලින් ගෙවන්න උත්සාහ කරන්න.

7 පොලිතින් බෑග් එපා

මිලට ගත්ත බඩුමුට්ටු දාගෙන එන්න ගෙදරින් ම රෙදි බෑග් ගෙනියන්න ඔබට පුළුවන් නං වඩා හොඳයි. එතකොට ගෙදර ආවම බෑග් එක හෝදලා සැනිටයිස් කරන්න පුළුවන්. එහෙම නැත්තං කඩදාසි බෑග් පාවිච්චි කළත් කමක් නෑ. එතකොට ඒවා පාවිච්චියෙන් පස්සේ ඉවතලන්න පුළුවන්.

ඒත් නරක ම දේ තමයි ෂොපිං බෑග්. ඒ කියන්නේ සිලි සිලි මලු. මේවයෙ බඩුමුට්ටු දාගෙන ගෙදර ආවම එක්කො ඒවා ගේ ඇතුළේ ගොඩ ගහගන්න වෙනවා. නැත්තං විසි කරන්න වෙනවා. පොලිතින් දිරාපත් වෙන්නෙ නැති හින්දා මේවා නිකම් ම විසි කරන්නත් බෑනේ. ඒ නිසා කරන්න වෙන්නේ සෝදලා සැනිටයිස් කරන එක. ඒත් පොලිතින් බෑග් සෝද සෝද තියාගන්නවට වැඩිය රෙදි හෝ කඩදාසි බෑග් පාවිච්චි කරන එක හැම අතින් ම ලේසියි. ඒ වගේ ම ප්‍රවේසම්.

Leave a comment