Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

විෂාදය වැනි මානසික තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයට නොකිව යුතු කතා 7ක්

රෝගියෙක් සමග කතා කරන්නෙ කොහොමද?

Posted by

ඩිප්‍රෙෂන්, නැත්තං විෂාදය කියන්නෙ මානසික රෝගයක්. ලංකාවෙ අපි ශාරීරික සෞඛ්‍යය ගැන තරම් මානසික සෞඛ්‍යය ගැන සීරියස් හිතන්නෙ නැති වුණාට විෂාදය කියන්නෙ ප්‍රතිකාර අවශ්‍ය මානසික තත්ත්වයක්. ඒ වගේ ම නිසි ප්‍රතිකාරවලින් සම්පූර්ණයෙන් ම සුව කරන්න පුළුවන් තත්ත්වයක්.

මානසික සෞඛ්‍යය ගැන තියන නොදැනුවත්කම නිසා සහ නොසැලකිලිමත්කම නිසා අපේ රටේ මානසික රෝගීන්ට සිදු වෙන හිරිහැර බොහොමයි. ඔවුන්ගේ රෝග තත්ත්වය හඳුනාගන්න අසමත් වීම නිසා ඔවුන්ගේ පවුලේ අය, නෑදෑ හිතමිතුරන් වගේ ළඟ ම උදවිය අතින් පවා මෙවැනි හිරිහැර සිද්ධ වෙන්න පුළුවන්. රෝගී තත්ත්වය ගැන දැනගත්තත් එවැනි රෝගියෙක් සමග කතා කරන්නෙ කොහොමද කියන එක ගැන බොහෝ අයට හරිහැටි වැටහීමක් නෑ.

අපේ ළඟ ම කෙනෙකුගේ ශරීරයේ තුවාලයක් වුණාම ඒක නැවත නැවත පාරන්නේ නැතිව නොරිද්දා බෙහෙත් දාලා සුව කරන්න අපි පරිස්සම් වෙනවා වගේ, ඔවුන්ගේ මනසේ තැනක් තුවාල වුණාමත් නැවත පාරන්නේ නැතිව පරිස්සමින් සුව කරගන්න ඕනේ. ඒ නිසා විෂාදය, කාංසාව, ආතතිය වැනි මානසික පීඩනවලින් පීඩා විඳින අයට නොකිව යුත්තේ මොනවද කියල හැමෝම දැනගැනීම වැදගත්.

“වැඩිය හිතන්න එපා”

කෙනෙක් තමන්ගෙ ප්‍රශ්නයක් ගැන කියනකොට ‘ඕව වැඩිය හිතන්න එපා’ කියල කියන්න එපා. අපි එපා කිව්වට එයාට එහෙම හිතන එක නවත්තගන්න බෑ. ඒ වගේ ම හිතන එක නවත්තගන්න පුළුවන් නං එයා අපිට එයාගෙ ප්‍රශ්නෙ කියන්න තීරණේ කරන එකකුත් නෑනෙ. ඒ නිසා නොහිතා ඉන්න බැරි දෙයක් ගැන කියන කෙනෙකුට ඒ ගැන හිතන්න එපා කියන්න එපා. එතකොට ඔයාට මේ ප්‍රශ්නෙ කියල තේරුමක් නෑ කියල එයා තීරණේ කරයි. ඒ වගේ ම කවුරුත් එයාව තේරුම් ගන්නෙ නෑ කියල තවත් කලකිරීමට පත් වෙයි. 

“ඕව ද මිනිස්සුන්ට තියන ප්‍රශ්න?”

ඔයාට ඇත්තට ම ඩිප්‍රෙෂන් තත්ත්වයෙන් ගැලවෙන්න එයාට උදව් කරන්න ඕන නම්, එයාගෙ ප්‍රශ්නෙ ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි කියල එයාට අඟවන්න එපා. අපි හැමෝගෙම ප්‍රශ්න අපිට ලොකුයි. ඒක එක එක අයගෙ දරාගැනීමේ හැකියාව මත පදනම් වෙන දෙයක්. ඒ නිසා ‘අපෝ ඕවත් ප්‍රශ්න ද?’, ‘මට ආපු ප්‍රශ්නවල හැටියට ඕව මොනවද?’ වගේ කතා ඒ අයට කියන්න යන්න එපා. ඒකෙන් එයාලා තවත් ඩිප්‍රෙස් වෙනව වගේ ම, වැරැද්ද සම්පූර්ණයෙන් තමන් පිට පටවගෙන ගිල්ටි වෙනවා. ඒක එයාලගෙ මානසිකත්වයට නරක බලපෑමක්.

“ඔය ඔක්කොම තියෙන්නෙ ඔයාගෙ ඔළුවෙ”

මේකත් හුඟ දෙනෙක් කියනව ඇහිලා ඇති. ‘ඕව ඔයා තනියම හිතලා ඔළුවෙන් හදාගත්ත ප්‍රශ්න’ කියල කෙනෙකුට කියන්න කලින් දෙපාරක් හිතන්න. ඇත්තට ම එයා වොරි වෙන්නේ ඇත්ත ලෝකෙ නැති මනඃකල්පිත ප්‍රශ්න ගැන වෙන්න පුළුවන්. ඒත් ඒක එයාට කියන්න යන්න එපා. මානසික පීඩාවලට ලක් වුණ අය කොහොමත් ඕවර්තින්කිංවලට පුරුදු වුණ අය. ඒ නිසා ඔයා මෙහෙම කිව්වම මොකක් හරි අනෙක් අයට නැති ලොකු වැරැද්දක් තමන්ට තියනවා කියල එයා හිතන්න ගන්නවා.

“හොඳ පැත්ත ගැන හිතන්න”

අපි ජීවිතේදි ධනාත්මකව හිතන්න ඕනෙ තමයි. ඒත් මානසික රෝගයකට ගොදුරු වුණ කෙනෙකුට එහෙම වෙලා තියෙන්නේ ධනාත්මකව හිතන්න බැරි වුණ නිසා. ධනාත්මකව හිතන්න පුළුවන් වුණා නං රෝගයට ගොදුරු වෙන්නෙ නෑනේ. ඒ නිසා ‘හැම දේක ම හොඳ පැත්ත දකින්න’, ‘නරක සිතිවිලි අයින් කරලා හොඳ දේවල් විතරක් හිතන්න’ වගේ කතා මේ අයට කිව්වට වැඩක් වෙන්නෙ නෑ. මොකද ඩිප්‍රෙෂන් කියන්නෙ එහෙම හිතන්න ඕන දේවල් තෝරල බේරල ගන්න පුළුවන් මානසිකත්වයක් නෙවෙයි. 

“ඕක බෙහෙත් ගන්න තරං අවුලක්යැ”

මේක තමයි මානසික පීඩනයකට ලක් වෙලා ඒකට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න උත්සාහ කරන කෙනෙකුට කියන්න පුළුවන් නරක ම දේ. ගොඩක් වෙලාවට මෙහෙම කියන්නේ රෝගියාගේ පවුලේ හෝ ළඟ ම අය ම තමයි. එක්කො ඒකෙන් ඒ අයට ලැජ්ජාවක් වෙයි කියල බයට. නැත්තං මේකට තමනුත් වග කියන්න ඕනේ කියල දැනෙන වරදකාරී හැඟීම නිසා. මානසික වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන කියල අදාළ පුද්ගලයට දැනෙනවා නම්, බෙහෙත් ගන්න ඕන කියල එයාට දැනෙනවා නම්, ඒක කරන්න දෙන්න. තමන්ගෙ ජීවිතයට හානි කරගන්න තැනට පවා පෙළඹෙන මානසික රෝගීන්, නිසි ප්‍රතිකාරවලට යොමු වුණා නම් සුව අතට හැරෙන්න ඉඩ තිබුණු අය. ඒ නිසා තමන්ට ප්‍රතිකාර අවශ්‍යයි කියල රෝගියෙක් වටහාගැනීම ම ලොකු ජයක්. ඒකට අකුල් හෙළන්න එපා.

“ඔයාගෙ එහෙම පෙනුමක් නෑනෙ”

ඩිප්‍රෙෂන් හැදුණු හැමෝම වැරහැලි ඇඳගෙන නාන්නෙ නැතුව කාමරේ මුල්ලකට වෙලා දවස පුරා ම අඬා වැටීගෙන ඉන්න ඕනෙ කියල වැඩි දෙනෙක් හිතනවා. එහෙම එකක් නෑ. විෂාදයෙන් පීඩාවට පත් වුණු හුඟක් අය මූණ බොරු හිනාවකින් සරසගෙන වුණත් එදිනෙදා වැඩ කටයුතුවල නිරත වෙනවා. රස්සාවට යනවා. අධ්‍යාපන කටයුතු කරනවා. ගෙදරදොරේ වැඩ කරනවා. ඒ නිසා කවුරු හරි ලස්සනට ඇඳ පැළඳගෙන හිනා වෙලා හිටපු පමණින් එයා කිසි ප්‍රශ්නයක් නැතුව සන්තෝසෙන් ජීවත් වෙන කෙනෙක් කියල ජජ් කරන්න එපා. පෙනුමෙන් මිනිස්සු මනින්න බෑනේ. අනෙක් අයට පේන්න හිනා වෙලා හිටියට හිත ඇතුළෙන් එයා ඉන්නෙ අපායක වෙන්න පුළුවන්. සියදිවි හානි කරගත්ත බොහෝ අයගෙ සමීපතමයන් බොහෝ වෙලාවට කියන්නෙත් ‘එයා හිනා වෙලා අපිත් එක්ක හිටියා ඒ නිසා අපි මෙහෙම දෙයක් හිතුවෙවත් නෑ’ කියලයි.

“ඔයාගෙ ම තමයි වැරැද්ද”

‘මේ ඔක්කොම වුණේ ඔයා හින්ද ම තමයි’ කියල රෝගියා ගිල්ටි ෆීලිං එකකට පත් කරන්න එපා. ඔක්කොම වුණේ එයා හින්දා වෙන්න පුළුවන්. ඒත් ඒක නැවත නැවත එයාට කීමෙන් වෙන්නෙ එයාගෙ හිතේ තියන තුවාලෙ තව තව පෑරෙන එක. ඒකෙන් එයාට වරදකාරී හැඟීමෙන් ගැලවෙන්න බැරුව යනවා. ගිල්ට් කියන්නෙ බොහොම භයානක හැඟීමක්. ඒකෙන් මිදෙන්න බැරුව ගියාම මිනිස්සු බොහොම නරක තැන්වලට තල්ලු වෙනවා.

ඔබ හෝ ඔබ දන්නා අයෙකු විෂාද තත්ත්වයකින් පීඩා විඳිනවා නම්, එවන් අවස්ථාවකදී 1333 - CCCline හෝ 0112682535 / info@srilankasumithrayo.lk - ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය - 1926 යන හදිසි උපකාර අංකවලට අමතන්න… ඔබට අවශ්‍ය සහාය ලැබේවි.

Leave a comment