3/5

Aroma Restaurant

865, Negombo Road, Colombo


Aroma Restaurant is one of the most popular dining spots in Wattala that offers good food for a decent price tag.



ඒරොප්පේ ගියපු අපේ මිත්‍රයෙක් පහුගිය නත්තල් නිවාඩුවට ලංකාවට ආවා. අවුරුදු ගාණකට පස්සේ මිනිහා ලංකාවට එනවා කියන ආරංචිය අහපු වෙලේ ඉඳන්, අපේ කට්ටිය ඒ නිවාඩුව ගත කරන විදිය ගැන ප්ලෑන් ගැහුවේ එකසිය ගාණට. ඔන්න ඔය ප්ලෑන්වල පළමුවෙනි පියවර විදියට තමයි යාළුවො සේරම ටික එකතු වෙලා රට ඉඳලා ආව උන්දැගේ වත්තල ගෙදරට ගියේ. පාන්දරම බීච් එකේ රවුම් දෙක තුනක් ගහලා, ඊටපස්සේ අපි පාරට ආවේ පොඩ්ඩක් නිවී සැනසිල්ලේ වාඩි වෙලා හොඳ කෑම වේලක් කන්න බලාගෙන. ලොකු බජට් එකක් නොයා, අඩු ගාණට බඩ පුරවගන්න ඕනේකම තිබුණු නිසා ම, අපි කට්ටිය වත්තල අරෝමා රෙස්ටෝරන්ට් එකට සේන්දු වුණා.  

තැන

අරෝමා රෙස්ටෝරන්ට් එක තියෙන්නේ මීගමු පාරේ අයිනෙමයි. ලොකු ඉඩකඩක හදලා තියෙන නිසා වගේ ම, දුරට වුණත් පේන විදියට දාලා තියෙන නම් ගහපු ලොකු බෝඩ් එක නිසා ලේසියකට මෙතැන මඟ හැරෙන්නේ නැහැ.

ඇත්තම කිව්වොත් අරෝමා රෙස්ටෝරන්ට් එකේ සාගරේ වගේ ඉඩ තියෙනවා. එක සැරේ සීයකට වුණත් වාඩි වෙලා කෑම ගන්න ඇහැකි. ඒ විතරක්යැ හොඳ පාකින් ස්පේස් එකකුත් තියෙනවනේ.

කෑම බීම

කිව්වත් වගේ අපි මෙතැනට ගියේ උදේ කෑමටනේ. හැබැයි 11ට වගේ කිට්ටු කරලා නිසා දවල් කෑමත් ලෑස්ති වෙන හැටියක් තමයි තිබුණේ. ඒත් සේරම වැඩ ඉවර වෙන්න පැයක් වගේ යාවිලු. එච්චර වෙලා බඩගින්නේ ඉන්න බැරි නිසා අපි පුළුපුළුවන් හැටියට අරෝමා එකේ බ්‍රෙක්ෆස්ට් කෑම කීපයක රස බැලුවා.

මුලින් ම අපි රස බැලුවේ පරාටාවල (රු.50). නිකනුත් නෙවෙයි, අගේ ඇති චිකන් හොද්දකුත් (රු.130) එක්ක. සාමාන්‍යයෙන් ඔය පාර තොටේ කඩවල්වල පරාටා කිව්ව ම, අපට කන්න ලැබෙන්නේ හතරැස් වෙන්න නවපු රොටියනේ. ඉන්දියාවේ පරාටාවලට ලංකාවේ ට්විස්ට් එක දෙන්නේ ඒ විදියට. හැබැයි අරෝමා එකෙන් අපට ලැබුණේ කේරළ පරාටා ටයිප් එකේ රවුම් රොටියක්. ඒත් රස පැත්තෙන් බැලුව ම නම් මේක ඒ හැටි හොඳක් නැහැ. දාරවල ක්‍රිස්පි ගතියක් තිබුණට මොකද, රොටිය සෑහෙන්න වේලුණු ගතියයි. ඒ වගේ ම පොඩ්ඩක් ගනකම ස්වභාවයත් වැඩියි.

ඒ මොනවා වුණත් මේකත් එක්ක කන්න ගත්ත චිකන් කරිය නම් හෙන සිරා. මේක තඩි චිකන් කෑලි තුනකුත් එක්ක හෙන උකුවට තියෙන හොද්දක්. නිකන් ලුණු, ගම්මිරිස් විතරක් නෙවෙයි, රම්පෙ, කරපිංචා, සියඹලාවල රසත් මේ චිකන් කරියෙන් හොඳට ම තේරුණා. අතරින් පතර දැනෙන තෙල් රස, මේකේ තියෙන කරි රසට එක්කාසු වෙද්දී තවත් නියමයි. රු.130ට සෑහෙන්න වටිනවා.

අරෝමා එකේ පේපර් තෝසේ (රු.160) එකත් වරදක් නැහැ. හැබැයි රු.160කට ගාණ වැඩියි කියලයි අපේ අදහස නම්. මොකද කොළඹ අවටින් ගී තෝසේ එකකුත් ගන්න ඇහැකිනෙ ඔය ගාණට. කොහොම වුණත් මේකේ ක්‍රිස්පි ගතිය හොඳට දැනුණා. සාම්බාර් හොද්ද නම් ඒ හැටි කලඑළියක් නැහැ. නිකන් ඇට නැති පරිප්පු හොද්දක් වගේ. ඒ වුණාට සම්බෝලේ මරු. ලුණු, ඇඹුල් සහ සැර ගතිය හොඳට ම තිබුණා. ඒ කොහොම වෙතත් තෝසේ එකේ බාගෙකට වඩා අපි වග කිව්වේ අර චිකන් කරියත් එක්ක. මොකද අනිත් සේරට ම වඩා අපට අල්ලලා ගියේ ඒකනේ.

බීම විදියට මේ අය ළඟ ෆෘට් ජූස්, කොකාකෝලා, ස්ප්‍රයිට් වගේ ජාති තියෙනවා. ඉතින් අපි ඕඩර් කළා ලයිම් ජූස් (රු.130) එකක්. මේකත් ෂේප්. ඒ වුණාට ලොකු රිෆ්‍රෙෂින් ගතියක් නැහැ. හැබැයි වතුරයි, ලයිම් රසයි, සීනියි ගානට බැලන්ස් වෙලා තිබුණු නිසා ලොකු අවුලකුත් නැහැ.

සර්විස් එක

ලොකු හිනා කතා නැතත්, අරෝමා එකේ සර්විස් එක සෑහෙන්න හොඳයි. ස්ටාෆ් එකේ අය කඩියෝ වගේ වැඩ. අපේ කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 15න් වගේ. අනික සැරින් සැරේ ඇවිදින් කෑම බීමවල අඩුපාඩුකම් හොයලා බලනවත් එක්කනේ.

අවසාන වශයෙන්

වත්තල පැත්තෙන් ආව වෙලාවක අතේ මිටේ තියෙන පොඩි ගාණට කෑම වේලක් කන්න පුළුවන් තැනක් තමයි මේ අරෝමා රෙස්ටෝරන්ට් එක. අපට පෙනුණ විදියට නම් දවල් වරුවට රයිස් ඇන්ඩ් කරි, බිරියානි, නාසිගුරන් වගේ නා නා ප්‍රකාර කෑම තොගයක් ම මේ අය ළඟ තියෙනවා. වෙලාවක ඔය කට්ටියත් ගිහින් බලන්නකෝ එහෙනම්.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

See 3 Comments