Artwork for Sampath Top - April 2018 (2)

4/5

Awanhala (Colpetty)

360, Galle Road, Colombo 03


Awanhala is a restaurant down Galle Road that gets jam-packed during lunch and dinner hours.



අවන්හල කියන්නේ ලංකාවේ අපට අපේ ම රහට හරි යන බත් කටක් කන්න තියෙන ෆ්‍රැන්චයිස් එකක් වගේ. මේක අපේ හෝටල් සංස්ථාවෙන් 1967 ඉඳලා කරගෙන යන වැඩක්. බත් විතරක් නෙවෙයි, අපි ආසාවෙන් කන පොල් රොටි, ඉඳිආප්ප, ආප්ප, ඊළඟට කිරිබත්, ලුණුමිරිස් පවා මේ කට්ටිය ළඟ තියෙනවනේ.

මේ වෙද්දී කොල්ලුපිටිය, කුරුණෑගල, මාලබේ, හංවැල්ල ආදී වශයෙන් තැන් 8ක ම මේ රෙස්ටෝරන්ට් එකේ ශාඛා පිහිටලා තියෙනවා. ඉතින් කොල්ලුපිටිය බ්‍රාන්ච් එක ගැනයි මේ විස්තරේ.

තැන

දන්නවනේ කොල්ලුපිටියේ බාස්කින් රොබින්ස් එක? අන්න ඒකට ම අල්ලපු වැටේ තමයි මේ අවන්හල තියෙන්නේ. සාමාන්‍යයෙන් එක සැරේ ට දහපහළොස් දෙනෙක්ට වාඩි වෙලා කෑම ගන්න පුළුවන් විදියට මෙතැන ඉඩකඩ හදලා තියෙනවා. ගාලු පාරේ අයිනේ ම නිසා පොඩ්ඩක් සද්ද බද්දේ නම් වැඩියි. ඒත් ඉතින් ඔච්චර ම ඕක ඉවසගෙන ඉන්න බැරි නම් ටේක්-අවේ දාලා කෑම ටික යන තැනකට අරගෙන යන්න බැරියැ.

කෑම බීම

අපි මෙතැනට ගොඩ වැදුණේ සතියේ දවසක දවල් වරුවේ. ඒ නිසා මේ කට්ටියගේ බුෆේ එකේ රස බලන්නත් අපට අවස්ථාව ලැබුණා. මස්, හෝ මාළුවක් එක්ක කහබත් පිඟානක් රු.300ක් වගේ පුංචි මුදලකට මේ බුෆේ එකෙන් ගන්න පුළුවන්. මේ බතට ආව පරිප්පු කරිය හරි ම රසයි. තුනපහ, මිටිකිරි ගානට දාලා. ඊළඟට කරිවිල සම්බෝලෙත් හොඳට ම හොඳයි. පොඩ්ඩක් පැණි රසක් එන්න හැදුව නම් තමයි නියම ගැම්ම. කියන්න තරම් විශේෂයක් නැතත් අල බැදුමත් අවුලක් නැහැ. ලුණු ගම්මිරිස් බැලන්ස් වෙන්න දාපු කැරට් සම්බෝලේ එළවළු ටික හරි ම ෆ්‍රෙෂ්. පොඩ්ඩක්වත් මැලවිලා නැහැ. අපි මේක ගත්තේ මිරිස් මාළු කෑල්ලකුත් එක්ක. ෂහ්! පංකාදු මාළු කෑල්ල ඈ! ලුණු, ගොරකා, ගම්මිරිස් නියමම ගානට දාලා. ඔය පාන් ගෙඩියක් කාරියට එහෙම වග කියන්න පුළුවන් උකු හොද්දකුත් මේකේ තිබුණා.

අපි ඕඩර් කරපු “චිකන් ෆ්‍රයිඩ් රයිස්” (රු.350) එකත් මරු. අර නාවින්න අවන්හලේදී අපට කන්න ලැබුණු ෆ්‍රයිඩ් රයිස් එකට වඩා සෑහෙන්න හොඳයි. දුම් දාන සයිස් එකට උණුයි කියන්නකෝ. බතත් ගානට තැම්බිලා. වැඩි තෙල් ගතියක් ඇත්තෙත් නැහැ. චිකන් කෑලිත් තොගයක් එකතු කරලා. ඒ විතරක්යැ, කැරට්, ලූණු කොළ පවා දාලනේ. ඇත්ත ම කිව්වොත් මේ පෝෂන් එක දෙන්නෙක්ට හොඳටෝ ම ඇති.

අපි තව ගත්තා “චිකන් කොත්තු” (රු.350) එකකුත්. මේකත් නියමයි. පුදුම රෝස්ට් චිකන් තොගයක්නේ තිබුණේ. අනික සීසනින් එකත් මරු. හොඳට කටට රහට එන්න හදලා. අපේ කුළුබඩුවල රස කිසිම අඩුවක් පාඩුවක් නැතුව ම මේකෙන් දැනුණා. අර චිකන් ෆ්‍රයිඩ් රයිස් එක වගේ ම තමයි, මේකත් දෙන්නෙක්ට හොඳට කන්න පුළුවන් තරමට සයිස් පෝෂන් එකක්.

ඩෙසර්ට් එකට අපි ගත්තේ කැරමල් පුඩින් (රු.150) එකක්. ඒක නම් ටිකක් අවුල්. පොඩ්ඩක් පරණයි වගේ නිසා කැරමල් ටික පුඩින් එකට උරලා වගේ. ටෙක්ස්චර් එකත් හරි අවුල්. පොඩ්ඩක්වත් ක්‍රීමි නැහැ.

සර්විස් එක

අවන්හලේ සර්විස් එක හොඳයි. අපි යද්දීත් රෙස්ටෝරන්ට් එක පිරෙන්න සෙනඟ. ඒත් අපේ කෑම ටික මේසෙට එන්න ගත වුණේ විනාඩි 10ක වගේ කාලයක්.

අවසාන වශයෙන්

අතේ තියෙන පොඩි ගාණට හොඳ බතක් එළවළුවක් ගන්න පුළුවන් හොඳ ම තැනක් තමයි මේ අවන්හල. අන්න මේ කට්ටිය අළුත් බිරියානි එකකුත් හඳුන්වලා දීලා තියෙනවා “මහරාජා රයිස්” කියලා. හැබැයි එක හැදෙන්නේ හවස් වරුවේ විතරයි. වෙලාවක ඒ වගතුග ටිකත් අපි ඔයාලට කියන්නම්කො.


TIP

Try their freshly squeezed juices.

Artwork for Sampath Content Sep generic

Address

360, Galle Road, Colombo 03

Directions

It's right next to Baskin Robbins at Kollupitiya/Colpetty.

Contacts

Facebook E-Mail E-Mail Website

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments