3/5

Barista (Bambalapitiya)

No.7/2, Station Road, Colombo 04


Barista is one of the first and the biggest coffee shop franchises in Colombo.



එදා ඉඳන් ලංකාවේ තිබුණේ තේ බීමේ සංස්කෘතියක්නේ. කොච්චර කෝපි කඩ තිබුණත්, වඩයක් කාලා ප්ලේන්ටියක් ගහන සිස්ටම් එකෙන් අපි තවමත් මිදිලා නැහැ. හැබැයි ලංකාවේ තේ සම්ප්‍රදායට කෝපි මුහු කරන ගමනේ දි, අපට මුලින් ම මුණගැහෙන ප්‍රසිද්ධ ම කෝපි කඩේ තමයි බැරිස්ටා එක. 2000 අවුරුද්දේ ඉන්දියාවේ උපත ලබලා ලංකාවට ආව මේ බැරිස්ටා එක අද වෙද්දී කොළඹ නගරේ තැන් කීපයක ම තමන්ගේ අවුට්ලට් පිහිටුවලා තියෙනවා. බම්බලපිටියේ එම්.සී එක ඉස්සරහ තියෙන බැරිස්ටා එක ඔය අතරින් සෑහෙන්න ජනප්‍රිය සහ කාර්යබහුල තැනක්. අද අපේ මේ කතාව ඒ ගැන.

තැන

බම්බලපිටියේ ස්ටේෂන් එකට යන පාරෙන් හැරිලා යුනිටි ප්ලාසා බිල්ඩිම ඉවර වෙනවත් එක්ක ම තමයි මේක තියෙන්නේ. හරියට ම කිව්වොත් පීසා හට් එකයි, මේ බැරිස්ටා එකයි වෙන් වෙන්නේ එක බිත්තියෙන්. සාමාන්‍යයෙන් දහපහළොස් දෙනෙක්ට එක සැරේ ඉන්න පුළුවන් තරමට ඉඩ තියෙන නිසා, මෙතැන ඕනේ වෙලාවක සෙනඟ පිරිච්ච ගමන් තමයි තියෙන්නේ. පාඩුවේ කෝපි උගුරක් බිබී, පොඩි සින්දුවක් එහෙම අහන ගමන් ඔෆිස් එකේ, ක්ලාස් එකේ වැඩක් කරන්න එන්න පුළුවන් තැනක් විදියටත් මෙතැන ජනප්‍රියයි.

කෑම බීම

අනිත් බැරිස්ටාවල වගේ ම තමයි; ප්‍රධාන වශයෙන් ම සැන්විච්, පනීනි, කෝපි, අයිස්ඩ් ටී, කේක් වර්ග සහිත මෙනුවක් බැරිස්ටා එකේ තියෙනවා. ඔය අතරින් අපි කෑමට ගත්තේ “ස්මෝක්ඩ් චිකන් ඇන්ඩ් පෙස්ටෝ පනීනි” (රු.480) එකකුයි,  “බ්ලූබේරි චීස්කේක්” (රු.450) කෑල්ලකුයි. බීම විදියට “පීච් අයිස්ඩ් ටී" (රු.430) එකක් සහ “කැරමල් මකියාටෝ" (රු.480) එකක් ඕඩර් කළා.

ෂහ්! මේ පනීනි එක නම් පට්ට. නියමෙට ස්මෝක් කරපු චිකන් තොගයක් මේකට පුරවලා තිබුණා. ඒ විතරක් නෙවෙයි චීසුත්. පාන් එකත් කරස් සද්දෙන් හැපෙන විදියට ටෝස්ට් කරලා. පාන් පෙති, චීස් අස්සෙන් ස්මෝක්ඩ් චිකන් එකේ ලුණු රස එද්දී තවත් මරු.

පීච් අයිස්ඩ් ටී එකේ පීච් රස වගේ ම සුවඳත් හොඳින් තිබුණා. හැබැයි තේ එකක තියෙන ඔරිජිනල් රස දැනුණේ සෑහෙන්න අඩුවෙන්. මේක නිකන් පීච් රස සාමාන්‍ය බීමක් වගේ.

හැබැයි එකට මොකෝ, බලන්න එපැයි කැරමල් මකියාටෝ එකේ රස. රස විතරක් නම් මදැයි, මේකෙන් එන කැරමල් සුවඳට ම බඩ පිරෙනවා. හොඳට කිරි රස තියෙන උකු බීමක් මේක. කෝප්පේ වැහෙන සයිස් එකට තියෙන පෙණ තට්ටුව උඩින් තමයි කැරමල් දාලා තියෙන්නේ. අපේ ගොන්කමට මේකට සීනි හැඳි දෙකක් දාගත්තනේ. ඒ නිසා පොඩ්ඩක් පැණි රස වැඩියෙන් දැනුණා. සීනි හැන්ද තමයි නියම ගාන. ස්ට්‍රොන්ග් විදියට කොෆි බොන්න පුළුවන් නම්, සීනි ඕනෙත් නෑ මේකට. මොකද කැරමල් හොඳින් දාලා තියෙනවනේ.

බ්ලූබේරි චීස්කේක් එක නම් එච්චර හරි නැහැ. ගෑරුප්පුව කිට්ටු කරන්න විතරයි ඕනේ. කෑලිවලට කැඩිලා යනවා. යට තියෙන බිස්කට් බේස් එකත් ගල් ගෙඩියක් වගේ. උඩ බ්ලූබේරි ජෑම් දාලා තිබුණෙත් යන්තමට. ක්‍රීමි ගතිය හොඳට ම මදි. කිරි රසත් මදි. කොටින් ම කිව්වොත් ෂුගර්කියුබ් එකේ චීස්කේක් එක පැත්තකින්වත් මේක තියන්න බෑ.

සර්විස් එක

අපෝ! මේක නම් හොඳටෝ ම අවුල් හොඳේ. දහපහළොවකගේ කෑම බීම ඕඩර් සපයන්න මෙතැන ඉන්නේ දෙන්නයි. එයින් එක්කෙනෙක් ඒ අතරේ බිල් දාන්නත් ඕනේ. අපි බිල දැම්මේ හවස 5.50ට. කෑම ටික ආවේ 6.30ට. කොච්චර එපා වුණාද කිව්වොත්, ඔය ඉඳපු විනාඩි 40දී නැගිටලා යන්නමයි හිතුණේ. ඒ වුණාට ඉතින් මේ වැඩ කරන අයගේ අවුලකුත් නෙවෙයිනේ. වැඩට කට්ටිය මදි ප්‍රශ්නයනේ තියෙන්නේ. අඩු තරමේ තව එක්කෙනෙක් හිටියනං මෙතන වැඩට. සර්විස් එකේ තියෙන ඔය ස්ලෝ ගතිය මඟ හැරෙන්න තිබුණා.

අවසාන වශයෙන්

අහ්! ඔන්න මේ දවස්වලට බැරිස්ටා එකේ කෝපිවලට 50%ක වට්ටමක් ලැබෙනවා හොඳේ. හැබැයි හවස 5 සහ 7 අතරේ විතරයි. වෙනත් බීමවලට ඒ චාන්ස් එකේ නැහැ.

ඉස්සර හෙන නමක් තියපු කෝපි කඩයක් වුණත්, දැන් බැරිස්ටා එකේ ඒ හැටි කලඑළියක් දකින්න නැහැ. මොකද දැන් කොළඹ අවට ඊට වඩා හොඳ කෝපි බොන්න තැන් ගොඩක් තියෙනවනේ. කෝපිවල ගණනුත් අනිත් තැන් එක්ක බැලුවා ම ලොකු අඩුවක් පේන්න නැහැ. මේ පැත්තෙන් යන එන වෙලාවක ඔයාලත් ගොඩ වෙලා බලන්නකෝ. රු.1000කට වගේ කෑමක් කාලා, බීමක් බීලා එන්න පුළුවන්නේ.

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment