3/5

Happy Burger

132A1, High Level Road, Nugegoda


A tiny burger joint that does okay burgers.


අවුරුදු ගාණකට පස්සෙ මගේ ඉස්කෝලෙ යාළුවෙක් මාලදිවයිනේ ඉඳල ලංකාවට ආවෙ පහුගිය සතියෙ. මිනිහගෙ වදෙන් පොරෙන් බේරෙන්න බැරි නිසාමයි සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ ඇල්ල පැත්තෙ කෑම්පින්ග් පාරක් දාන්න සෙට් කර ගත්තෙත්. සතියක් විතර තියල ගමන ප්ලෑන් කලාට මොකද ඇඳන් යන්න තියෙන්නෙ මොනවද කියල අපි බලන්නෙ යන්න ලෑස්ති වෙලානෙ. ඔන්න හැමදාම වගේ, එදත් හවස යන්න තියෙන ගමනට, දවල් ඇඳුම් ලෑස්ති කරද්දි තමයි මම දැක්කෙ ඇඳන් යන්න කිසිම එකක් නෑ කියල.

ආයෙ මොනව බල බල ඉන්නද. යාළුවෙකුත් සෙට් කරගෙන සෙනිකව ඇද්දා නුගේගොඩට. ණය කාඩ් එකට ටී ෂර්ට් කෑල්ලකුයි ෂෝටකුයි අරගෙන එළියට බහිද්දි තමයි මතක් වුණේ උදේටවත් කාලා නෑ කියල. වෙලාවෙ හැටියට රයිස් ඇන්ඩ් කරි කෙසේ වෙතත් මොනව හරි බඩට දාගන්නයි උවමනාව තිබුනෙ. අංශක 360ට කැරකිලා බැලුවත් ඇස් දෙකට සෙට් වුණේ KFC, Mc Donalds, Devon වගේ කඩවල්නෙ. ඒවයින් කන්න සල්ලි නැති නිසා හිත හදාගෙන අඩියට දෙකට පාළම පැත්තට යන්න පටන් ගත්තා. වාසනාව කියන්නෙ යාළු, අඩි දහයක් යන්න හම්බවුණේ නෑ මෙන්න බොලේ පාරෙන් එහා පැත්තෙ පොඩි බර්ගර් කඩයක්.

නම හැපි බර්ගර්. එළියෙ පොඩි හට් දෙකක් එහෙමත් දාලා හදල තියෙන්නෙ. කෑම කෙසේ වෙතත් කඩේ නම් පොඩි ගතියක් තියෙන පාටයි. බඩගින්නෙ තරම කියන්නෙ, යාළුවෙක් ආව, නෑ වගක් නැතුව මම දඩි බිඩි ගාලා පාර පැන්නා. ඒ වේගෙටම කඩේ දොර ලඟටම ගිහින් තමයි ආපහු හැරිලා බැලුවෙ යාළුව එනවද කියල. අායෙ මොනවද, අපේ එකෙක්නෙ. මං ආපු වේගෙන්ම මිනිහත් ඇවිල්ලා.

කොහොම හරි දෙන්නත් එක්ක පට පට ගාලා කැෂියර් එකට කිට්ටු කරල ඉස්සෙල්ලම ඉල්ලුවෙ කෝක් 2ක් (1ක් රු. 30). ඊට පස්සෙ යාළුවට කන්න ක්‍රිස්පි චිකන් චීස් කොත්තුවකුයි (රු. 380) මට කන්න ක්‍රිස්පි චිකන් චීස් බර්ගර් එකකුයි (රු. 230) ඕඩර් කලා.

එවෙලෙම සල්ලිත් ගෙව්ව නිසා, බිලයි කෝක් දෙකයිත් අරගෙන එළියෙ හට් එකක් යටට ආපු අපි දෙන්නා පොඩි කතාවකට සෙට් වුණේ ටික වෙලාවකට හරි බඩ ගින්න අමතක කරන්න පුලුවන් නිසා. හැරත් කෝක් එක නිසා බඩ ගින්න කොහොමත් ටිකක් යට යනවනෙ.

අන්තිමට, අර කිව්වත් වගේ බඩ ගින්න කොහෙන් ගියාද නෑ. විනාඩි 10කටත් විතර පස්සෙ යාළුව තමයි කෑම ටික මතක් කලේ.

හත් ඉලව්වයි හැබෑ නේන්නම්, කෝ කෑම. මම නැගිටල ඇතුලට ගිහින් පොඩි විපරම් පාරක් දාලා බැලුවා. බර්ගර් තියා කොත්තුවක සුවඳක් වත් එන පාටක් නෑ. වැඩේ හරියන පාටක් නෑ කියල හිතුන නිසයි කැෂියර්ට ඕඩරේ මතක් කලේ. ඔන්න එතකොට කියන්නකො මිනිහා කෑම දාන්න පටන් ගත්තෙ. හිතින් බැන බැන එළියට ආපු මම යාළුවටත් සිද්ධිය කියල කලින් කතාවටම ආයෙත් සෙට් වුණේ තව විනාඩි 10කින් කෑම ආවෙ නැත්නම් වෙන කඩේකට යනව කියල හිතාගෙන.

හැපි බර්ගරයගෙ වාසනාවටද කොහෙද විනාඩි 5ක් විතර යද්දි කෑම ටික මේසෙට ආවා. අඩේ කියන්නත් මොකක්ද වගේ යාළු, බැන බැන හිටියට මොකද බර්ගර් බනිස් පලුවලින් එළියට එන තරම් ලොකු ක්‍රිස්පි චිකන් කෑල්ලයි චීස් බේරෙන කොත්තුවයි දැක්කාම දෙන්නටම හෙන අප්සෙට්, මෙච්චර පට්ට කෑම වේලක්නෙ දාලා යන්න හැදුවෙ කියල. වැඩේ කියන්නෙ කෑම පරක්කුව නිසා කෝකුත් ඉවර වෙලා. ඒකට මොකද කියල හිත හදා ගත්තු අපි සෝස් ටිකක් එහෙමත් පිඟානට දාගෙනම වැඩේ පටන් ගත්තා.

ෂහ්, ටොප් ආ… බොරු නම් අහල, කාලා බලන්න පංකාදු බර්ගර් එක. ඔය සැර ගතියයි, සෝස් රසයි පොඩ්ඩක් මදි වුනාට චිකන් පළුව දැක්කාම නම් කාගෙන කාගෙන යන්න හිතෙනව. ලොකු චීස් පෙති දෙකක්, හීනියට ලියපු ළුෑණු, තක්කාලි එහෙමත් නියම ගාණට එකතු කරල තියෙන්නෙ. හැබැයි බර්ගර් එක හදන්න කලින් බනිස් ගෙඩිය බටර් ටිකක් ගාලා කර කලා නම් තමයි සුපිරි.

යාළුවගෙ කොත්තුව නම් බර්ගර් එකටත් වඩා පට්ට. චීස් දාලා තියෙනව මදි නොකියන්න. හැබැයි බර්ගර් එකේ තරම් චිකන් නෑ. පොඩි ක්‍රිස්පි චිකන් කෑලි 6,7යි තිබුනෙ. උණු උණුවෙ දුම් දාද්දි එන සුවඳට කටට කෙල උනන්නෙ ඉබේටම වගේ. හැබැයි ඉතින් මෙයාලගෙ චීස් කොත්තුවෙ සැර ගතිය සැහෙන්න අඩු නිසා රස පදමට චිලී පේස්ට් නම් ගලප ගන්න වෙයි.

විනාඩි 5ට පිඟන් දෙකම හිස් කරපු යාළුවයි මායි මූණට මූණ බලා ගත්තෙ හීන් සැරේ පොඩි ගුඩුස් පාරකුත් යනව ගමන්. හිතේ තියාගෙන හිටියෙ දෙන්නටම තව මොනව හරි කන්න පුලුවන් ගතියක් පැහැදිලිව තිබුනා. ඒත් මට තිබුන වෙලාව සීමා සහිතයිනෙ. ඉතින් පට ගාලා හැපි බර්ගර්ට සමු දීලා දෙන්නත් එක්ක බස් එකකට ගොඩවුණේ ආපහු ගෙදර එන්න. ඒත් නිකම් නෙවේ, අනිවා ආයෙත් දවසක හැපි එකේ ගිහින් හැපි බර්ගර් එකෙන් රස ක්‍රිස්පි චිකන් වැඩ කෑල්ලක් රස බලන්න හිතාගෙන.


TIP

Try Crispy chicken cheese kottu

Address

132A1, High Level Road, Nugegoda

Directions

Near by ICBT Campus at Nugegoda

Contacts



Latest