4/5

Kaha Bath Gedara (Pitakotte)

57, Thalawathugoda Road, Pitakotte


Kaha Bath Gedara is all about Kaha Bath.


කහ බත් ගෙදර නමේ හැටියට ම කහ බත්වලට ස්පෙෂලයිස් වුණ තැනක්. මීට කලින් පැලවත්තෙ කහ බත් ගෙදරිනුයි, ටොරින්ටන් ඇවනිව් එකේ එයාලගෙ කැෆේ KBG එකෙනුයි කාල තිබුණ නිසා, මේ පාර අපි ගියෙ පිටකෝට්ටේ කහ බත් ගෙදරට. 

තැන සහ සර්විස් එක

මෙතන ඩයින් ඉන් පහසුකම නෑ. ටේක් අවේ සහ ඩිලිවරි විතරයි. ටිකක් විතර වියපත්, හරිම කරුණාවන්ත අංකල් කෙනෙක් තමයි අපි යද්දි මෙතන බාරව හිටියෙ. එයා මෙනු එකේ තියන දේවලුත් පහදලා දීලා, හරිම සුහදව අපේ ඕනෑ එපාකම් එහෙමත් අහලා කරලා, අපි ඉල්ලපු ඕඩර් එක දාලා දුන්නා.

කෑම

චිකන් කහ බත්, ඉස්සො කහ බත්, ඇඹුල් තියල් කහ බත්, බ්ලැක් පෝක් කහ බත්, මට්න් කහ බත් වගේ ජාති තමයි මේගොල්ලන්ගෙ නැඟල ම යන කෑම. ඒ අතරින් ස්පයිසි චිකන් කහ බත් එකයි (රු. 500), ඉස්සො තෙල් දාල කහ බත් එකයි (රු. 600), චිකන් එක්ක රෝස්පාන් මීල් එකයි (රු. 600) තමයි අපි ගත්තෙ.

මේ තියෙන්නෙ ස්පයිසි චිකන් කහ බත් එක. මුද්දරප්පලම්, කරාබුනැටි එක්ක හොඳට සීසනිං කරපු, හොඳ සොෆ්ට් ගතියට තැම්බුණ උණු උණු කහ බත් එකක්. ඒ එක්ක ම ආවා තම්බලා ෆ්‍රයි කරපු රන්වන් පාට බිත්තරයක්, සැරයි පැණි රහයි තකට තක මික්ස් වෙන්න හදපු රස බටු මෝජුවක්, අල, ලූනු, මාළු, ගම්මිරිස් රහ ෆිලිං එකක් තියන කට්ලට් එකක් සහ කෑලි මිරිස් එහෙම දාල රස කරපු, තෙලට හදපු පරිප්පුවක්! මේ ඔක්කොම කහ බත්වල රහ දෙගුණ කරන කෑම.

විශේෂයෙන් ස්පයිසි චිකන් ටික ගැන කියන්න ඕන. මේගොල්ලො බතට බෙදන චිකන් කෑල්ල සෑහෙන ලොකුයි. හොඳ රසපදම එන්න මදි නොකියන්න මිරිස් තුනපහ කුළුබඩු එහෙම දාල හදල තිබුණා. චිකන් හොදි පොඩ්ඩක් ගෑවුණත් ඇති බත් ටික ගිල දාන්න. 

ඉස්සො කහ බත් එකෙත් තිබුණෙ කලින් බත් එකේ තිබුණ ව්‍යංජනමයි. වෙනස තමයි මීගමු තාලෙට තෙල් දාපු ඉස්සො. හොඳට ලූනු, මිරිස් එහෙම දාල තෙල් දාල තිබ්බ මේකේ පෙනුම නං ඉස්තරම්. ප්‍රමාණයෙන් ලොකු ඉස්සො පාවිච්චි කරල තිබුණෙත්. ඒත් රස ගැන කියන්න තරං ලොකු විශේෂයක් නෑ. පොතු ඇරල තිබුණ නං තවත් හොඳයි.

රෝස්පාන් මීල් එකට පරිප්පුයි පොල් සම්බෝලයි එනවා. ඒ එක්ක අපි කැමති කරියක් ගන්න පුළුවන්. අපි ගත්තෙ චිකන් කරියක්. මේගොල්ලන්ගෙ රෝස්පාන්වල විශේෂත්වයක් තියනවා. මේවට කියන්නෙ කරපිංචා රෝස්පාන් කියල. පේනව නේ, කරපිංචා මික්ස් කරලා තමයි රෝස්පාන් හදල තියෙන්නෙ. ඒ හින්ද රසත් වෙනස්. අනික අපි කඩෙන් ගන්න නිකං රෝස්පාන් වගේ නෙමෙයි, මේ රෝස්පාන් මාර සොෆ්ට්.

චිකනුයි පරිප්පුයි ගැන කලින් කියපු නිසා පොල් සම්බෝලෙ ගැන කියන්නම්. අපි ඕඩර් එක දීල එතන ඉද්දිමයි ඒගොල්ලො පොල් සම්බෝලෙ හැදුවෙ. ‘ඔන්න පොල් සම්බෝලෙ නං රහ ඇති, කාල බලල කියන්න’ කියල කිචන් එකේ හිටපු සහෝදරී අපි එන්න හදද්දි කිව්වත් එක්ක. හැබෑට ම කිව්වත් වගේ කාල බැලින්නම් මාර පොල් සම්බෝලයක් ඒක! හීනියට ලියපු කරපිංචා, කෑලි මිරිස්, උම්බලකඩ කෑලි එහෙම මහ ගොඩක් දාලා කටට සැරට පංකාදුවට. ලුණු ඇඹුල් එහෙමත් තිතට. ඒ පොල් සම්බෝලෙයි පරිප්පු හොදියි චිකනුයි එක්ක රෝස්පාන් අපිට නිකං දිව්‍ය භෝජනයක් ගාණයි.

අවසන් වශයෙන්

කහ බත් ගෙදර මිල ගණන් නං ටිකක් සැරයි තමයි. ඒත් ඉතින් ඉඳල හිටල කහ බත් ට්‍රීට් එකක් බුක්ති වින්දට ඒ හැටි පාඩුවක් වෙන්නෙ නෑ. මොකෝ කෑම මාර රහයි නෙ!

Address

57, Thalawathugoda Road, Pitakotte

Contacts

Facebook Instagram Website

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Lamprais Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4


Latest