Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

4/5

Kamrose Restaurant

Galle Road, Panadura


පානදුර පැත්තෙ ගියපු වෙලාවක රසම රස කෑම ටිකක් හිතේ හැටියට තෝරගෙන බඩ පැලෙනකන් කන්න කැම්රෝස් අවන්හල නම් කියාපු තැනක් තමයි.



ඉරිදා දවල් යාළුවෙක් හමුවෙන්න පානදුරට ගියපු වේලාවෙ වැහැපු මහ වැස්ස නිසා මම බස් හෝල්ට් එකට කොටු වෙලා හිටියෙ එළියටවත් බැහැගන්නවත් බැරුව. දවල්ටත් කාපු නැති නිසා ලොකු බඩගින්නක තමයි මම හිටියේ. හැමදාම කොළඹ පැත්තේ කෑම කඩ වලට ගොඩවෙලා කෑම වල රස බලන මම අද හිතුවා පුංචි වෙනසකටත් එක්ක පානදුර පැත්තේ කෑම කඩයක් අල්ලලා දවල්ට කන්න. ඒත් වැඩේ කියන්නෙ පානදුර පැත්තෙ කෑම කඩ ගැන මම හරියට දන්නේ නැති එක තමයි. ඉතිං වැස්සෙන් බේරෙන්න ගොඩ වුණ බස් හෝල්ට් එකේ ඉඳන්ම මම යාළුවට කෝල් එකක් ගත්තා. ‘‘හලෝ අචලයා, මම වැස්සට අහුවුණා බං. තාම පානදුරේ. පට්ට බඩගිනියි. හොඳ රයිස් එකක් කන්න ප්ලේස් එකක් කියහංකෝ’’. මම යාළුවගෙන් ඇහුවා. ‘‘මචං ගෝල් රෝඩ් එකේ පීසා හට් එක පහු කරන් මීටර් සීයක් විතර කොළඹ පැත්තට යනකොට පාරෙන් වම් පැත්තේ කැම්රෝස් කියලා කඩයක් තියෙනවා. ඒකෙ නම් කෑම පට්ට’’ යාළුවා කිව්ව.

වාතාවරණය

ඒ වෙනකොටත් මම හිටියේ පීසා හට් එක ළග කොළඹ පැත්තට යන බස් නැවතුම්පලේ. වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් විනාඩි පහ හයක් බලන් ඉඳපු මම හෙමිහිට පදික වේදිකාව දිගේ ඉස්සරහට ගියා. ඉස්සරහ කහ පාට බෝඩ් එකක නිල් පාටින් 'KAMROSE' කියලා ලොකුවට ගහලා තියෙන අවන්හල මට හමුවුණා. පොද වැස්සෙ තෙමී ගෙන ආපු මම කඩේ ඇතුලට ගොඩ වෙලා ඔලුව පොඩ්ඩක් ගසලා වට පිට බැලුවා. ගාලූ පාර අයිනේ නිසා ද කොහෙද මේ අවන්හලේ වාහන නවත්වන අංගනයක් නම් පේන්න තිබුණේ නෑ. ඇතුල්වෙන කොටම ලොකු වීදුරු ෂෝ කේස් එකක බත් සහ ව්‍යංජන, ෆ‍්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, බිරියානි වගේ කෑම වර්ග ගොඩක් දාලා තිබුණේ කඩේට එන අයට හොඳට බලලා කරලා තෝරගන්න පුළුවන් වෙන්න. එතෙන්ටම අල්ලලා තමයි කැෂියර් එකත් තිබුණේ.

මම කඩේට ගොඩ වෙනකොට කැෂියර් එකේ ඉදපු මැදි වයසේ පුද්ගලයා පුංචි හිනාවක් දාලා මොනවද කන්නේ කියලා මගෙන් ඇහුවා. ඒත් කෑම කන්න කොහෙද තියෙන්නේ. කැෂියර් එකට දකුණු පැත්තෙන් උඩට යන්න නම් පඩි පෙළක් තියෙනවා. සමහරවිට උඩ තට්ටුවේ වෙන්න ඇති කන්න තියෙන්නේ, මම හිතුවා. ඒත් එක්කම වගේ කැෂියර් එකේ ඉඳපු පුද්ගලයා ‘‘මල්ලි උඩට ගිහින් වාඩිවෙන්න. මම එන්නම් ’’ කිව්වා. හරි කමක් නෑ කියලා මම උඩ තට්ටුවට ගිහින් වාඩි වුණා. හතර දෙනෙක්ට විතර වාඩිවෙලා කෑම කන්න පුළුවන් මේස තුන හතරක් පිළිවෙලට දාලා තිබුණු භෝජනාගාරයේ ඉස්සරහ තියෙන වීදුරු බිත්තය නිසා එතෙන්ට කෙලින්ම පේන්නෙ ගාලූ පාර. විදුලි පංකා දෙකක් දාලා භෝජනාගාරෙ ඇතුල වායු සමනය කරන්න උත්සාහ කරල තිබුණට ඒක නම් එච්චර සාර්ථක වෙලා නෑ. මොකද වැස්ස වෙලාව වෙලත් භෝජනාගාරය ඇතුලෙදි මට ටිකක් දාඩිය දැම්මා. මල් පැල ඉන්දපු මල් පෝච්චි දෙකකුයි මාළු ටැංකියකුයිත් ටිකක් අයිනට වෙන්න තියලා තිබුණ භෝජනාගාරයේ අමුතු ලස්සනක් වගේම හොඳ පිරිසිදු බවකුත් තිබුණා. වාඩිවෙලා විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමයි අර පල්ලෙහා කැෂියර් එකේ ඉඳපු කෙනා කෑම මෙනුවකුත් අරගෙන උඩට ආවෙ. බඩ ගින්න ඉහ වහා ගිහිල්ල තිබුණ මම මෙනුව අතට අරන් ඉක්මනට හොයලා බලලා කැම්රෝස් ස්පේෂල් චිකන් ෆ‍්‍රයිඩ් රයිස් එකකුයි හොං කොං චිකන් එකකුයි ඇණවුම් කලා.

ආහාර සහ සේවාව

හැබැයි යාළුවනේ කියන්න නම් දුකයි. මේ අවන්හලේ සේවාව නම් හරිම සවුත්තුයි. කෑම ඇණවුම් කරලා විනාඩි දහයක් විතර යනකන් භෝජනාගාරෙ ඇතුලට කවුරුත්ම ආවේ නෑ. අඩුම තරමේ වතුර ටිකක් ඉල්ල ගන්න භෝජනාගාර සේවකයෙක්වත් හිටියේ නෑ. කොහොම හරි විනාඩි දහයක් විතර යන කොට කෑම ඇණවුම බාර ගත්ත පුද්ගලයාම මම ඉල්ලපු ෆ‍්‍රයිඩ් රයිස් එකයි හොං කොං චිකන් එකයි මේසෙට ගෙනාවා. වෙනම පීරිසියක දාපු සෝස් එකකුත් ෆ්‍රයිඩ් රයිස් එකත් එක්කම ගෙනැල්ලා තිබුණා. කෑම කන ගමන් බොන්න නම් එයාලා ළග තිබුණේ බෝතල් කරපු සිසිල් බීම විතරයි. මම ඒවාට එච්චරම කැමති නැති නිසා සිසිල් වතුර බෝතලයක් ගෙන්න ගත්තා.

මේසෙ උඩ තිබුණ හැඳි ගෑරප්පු ටික පැත්තකට කරලා මම ෆ්‍රයිඩ් රයිස් එක ළං කර ගත්තේ ඒකෙන් එන සුවඳ මගේ බඩගින්න දෙගුණ තෙගුණ කරන එක ඉවසගන්න බැරුව. කැම්රෝස් අවන්හලේ සේවාව කොහොම වුනත් කෑම නම් හොඳයි වගේ. පිඟාන පොඩ්ඩක් වටේට කරකවලා බැලුවාම තමයි මම දැක්කේ මේ ෆ්‍රයිඩ් රයිස් එකට බැදපු ඉස්සෝ, මාළු පෙති, දැල්ලෝ, කුකුල් මස්, සෝසේජස් කරලක් වගේම බුල්සයි එකකුත් දාලා තියෙනවා කියලා. පිඟාන පිරිලා තිබුණ මේ ෆ‍්‍රයිඩ් රයිස් එක නම් ටිකක් ලොකුයි වගේ. කමක් නෑ බඩගින්නෙනෙ ඉන්න කියලා සෝස් ටිකකුත් පිඟානට දාගත්ත මම ෆ්‍රයිඩ් රයිස් එකෙන් කටක් දෙකක් කාලා බැලුවා. පංකාදු පහයි. ඒ වෙලාවේ තමයි මට මතක් වුණේ කඩේ ඉස්සරහ ගහල තිබුණ එක. ‘‘කෑවොත් එක් වරක්, කනවා නිසැකයි තව වරක්’’. කතාව නම් ඇත්ත. ලීක්ස්, කැරට්, ළූණු කොළ, බී ළූණු වගේම කජු, වේළපු මිදිත් දාලා හදපු මේ ෆ‍්‍රයිඩ් රයිස් එකේ නියම චීන ආහාරවල එන සුවඳ වගේම රසත් සැර ගතියත් හොඳටම එනවා. චීලි පේස්ට් ටිකකුයි සෝස් ටිකකුයි දාපු බත් කටක් එක්ක දවටලා බැදපු දැල්ලො කෑල්ලක් හැපෙන කොට දිවට දැනෙන රස නම් කියලා නිම කරන්න බෑ. කැම්රෝ ස්පේෂල් චිකන් ෆ‍්‍රයිඩ් රයිස් එකේ විශේෂත්වය තමයි ඒකට එකතු කරලා තිබුණ හැම දේකම වගේ රසවල් වෙන වනෙම දිවට දැනෙන එක.

ෆ‍්‍රයිඩ් රයිස් එකේ කටවල් හත අටක්ම එක දිගට කෑවට පස්සෙ තමයි මට මතක් වුණේ මේසෙ පැත්තකට වෙලා තිබුණ හොං කොං චිකන් එක. ඉතින් බත් කන එක පොඩ්ඩකට නතර කරපු මම හැන්දක් අරගෙන කුකුල් මස් කෑලි දෙකක් පිඟානට දා ගත්තා. ඊට පස්සේ හැන්ද පැත්තකින් තියලා ගෑරප්පුවකින් තව පොඩි කුකුල්මස් කෑල්ලක් අරගෙන කටේ දාගත්ත මම හෙමිහිට ඒකෙ රස බැලුවා. පිස්සු හැදෙන රසක් තියෙන්නෙ! හොං කොං චිකන් එකේ තියෙන පුංචි ලුණු ගතියක් එක්ක එන සැර ගතියට නම් මම ගොඩක්ම කැමතියි. ඒ වගේම ඒකට එකතු කරලා තියෙන සෝස් එක නිසා ලාවට දැනෙන පැණි රසකුත් තියෙනවා. අමු මිරිස්, මාළු මිරිස්, බී ළූණු වගේම පොඩියට කපලා බැදපු කුකුල් මස් කෑලි දහයක් දොලහක් විතර දාලා හදල තිබුණ මේ හොං කොං චිකන් එකත් එක්ක ෆ‍්‍රයිඩ් රයිස් එක නම් නැගලා යනවා. මට නම් හරිම සතුටුයි. හොඳ සේවයක් තිබුණෙ නැති නිසා හිතේ ඇති වෙලා තිබුණ අවුලත් නිකම්ම අමතක වෙලා ගිහින්.

කැම්රෝස් අවන්හලේ කෑම, ප‍්‍රමාණයෙන් ටිකක් ලොකු නිසා බඩ පැලෙනකන් කෑවත් ෆ‍්‍රයිඩ් රයිස් එකවත් හොංකොං චිකන් එකවත් කාලා ඉවර කරන්න නම් මට බැරි වුණා. කෑම කාලා ඉවර වෙලා සීතල වතුර උගුරු දෙක තුනක් බීපු මම රසම රස ෆ‍්‍රයිඩ් රයිස් එකේ ඉතුරු ටික දිහා බලන් හිටියේ හරිම දුකෙන්. ඒ වෙනකොට වැස්සත් පායලා තිබුණ නිසා මම හෙමිහිට පල්ලෙහා තට්ටුවට බැස්සෙ බිල ගෙවලා ගෙදර යන්න හිතාගෙන.

එතකොටම තමයි මම දැක්කෙ කැෂියර් එකට පිටිපස්සෙ තිබුණ කැම්රොස් අවන්හලේ මුළුතැන්ගෙය. ලොකු ලිප් දෙක තුනකුත් ඇලුමිනියම් භාජන දහයක දොළහක දාලා තිබුණ එක එක වර්ගයේ අමු එළවළු සහ මස් වර්ගත් කුළු බඩු බෝතල් හතර පහකුත් මුළුතැන්ගේ ඇතුලෙ පිළිවෙලට තියලා තිබුණා. ඒත් අවාසනාවට වගේ මේ රසම රස කෑම හදන කෝකියා නම් පේන්න හිටියේ නෑ. ඉතින් ආයෙත් දවසක යාළුවොත් එක්ක ඇවිල්ලා රසම රස කෑම ජාති ගොඩක් කන්න කියලා හිතාගෙන පානදුරේ කැම්රෝස් අවන්හලෙන් මම එළියට බැස්සා.

අනුමිතිය

වේලාව ටිකක් නාස්ති වුනත් පානදුර පැත්තෙ ගියපු වෙලාවක රසම රස කෑම ටිකක් හිතේ හැටියට තෝරගෙන බඩ පැලෙනකන් කන්න නම් කැම්රෝස් අවන්හල කියාපු තැනක් තමයි.


TIP

Try the Kamrose special fried rice

Address

Galle Road, Panadura

Directions

If you are coming on Galle road from Colombo side it's just 100m ahead from Panadura base hospital on your right hand side

Contacts

Report Inaccuracy

Have you visited this place?

Write your own review!
See 4 Comments