Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

3/5

King Taste Restaurant

04, Bandaranayake Mawatha, Moratuwa


King Taste is one of the many restaurants in Colombo that dishes out Chinese cuisine with a Sri Lankan twist.



හප්පේ! මේ ළඟදී මගේ යාළුවෙක්ට මාර ඇබැද්දියක් වුණානේ. මෙයාට මොරටුව පැත්තෙන් යන වෙලාවක තද බඩගින්නක් ඇවිල්ලා. නොදන්නකමට ම මිනිහා ගිහින් තියෙන්නේ මොරටුවේ කේ සෝන් එකේ ෆුඩ් කෝට් එකට. ඔන්න රුපියල් 300කුත් ගෙවලා, මොන්ගෝලියන් චිකන් රයිස් එකකුත් කාලා ගෙදර ඇවිත් පැය දෙක තුනක් යන්න ඇති; මේ මනුස්සයට ගැස්ට්‍රයිටිස් ඇවිත්, බඩත් අවුල් වෙලා, වමනෙත් දාගෙන අන්තිමට දොස්තර ළඟට දුවලා තමයි බේරිලා තියෙන්නේ. එදායින් පස්සේ මෙයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා “ආයේ නම් ෆුඩ් කෝට් කෑම දිහා ඇහැක්වත් ඇරලා නොබලමී" කියලා.

ඔය අතරේ මිනිහා හෙන සමීක්ෂණයක් කරලා. මොරටුව හරියෙන් හොඳට කන්න පුළුවන් රෙස්ටෝරන්ට් මොනවද කියලා හොයලා බලන්න. කටුබැද්ද හන්දියේ කිංග් ටේස්ට් එක ගැන එයාට දැනගන්න ලැබිලා තියෙන්නේ ඔය වෙලාවේ. ඉස්සර නම් මේක ගන්න ම දෙයක් නැහැලු. සමහර අයට නම් අල්ලලා ම නැහැ.  දැන් නම් ෂේප් කියලත් කට්ටියක් කියනවා.  ඉතින් ඕවා සේරමත් බලාගන්නත් එක්ක මේ පැත්තෙන් ආව ගිය වෙලාවක අපිත් ගොඩවුණා කිංග් ටේස්ට් එකට.

තැන

කටුබැද්ද හන්දියෙන් හැරෙන බණ්ඩාරනායක පාර මීටර්නේ? ඔය 255 බස් එහෙම යන්නේ. ඔන්න ඔය පාරට හැරිලා ඩිංගක් ඉස්සරහට ඇවිදගෙන එද්දී පාරේ දකුණු පැත්තෙන් මුණගැහෙන ලොකු රෙස්ටෝරන්ට් එක තමයි කිංග් ටේස්ට්. දුරට වුණත් පේන නිසා ලේසියකට මඟ හැරෙන්නේ නැහැ.

වැඩේ කියන්නේ ඉරිදා දවසක් වෙලත් රෙස්ටෝරන්ට් එක පාළු බංගලාවක් වගේනේ. අපි මුලින් ඉස්සරහ පැත්තේ තියෙන දොරෙන් ඇතුල් වුණා. හප්පටසිරි! ලයිට් එකක්වත් දාලා නෑ කියන්නකෝ. පේන තෙක් මානෙක කතා කරන්නවත් කෙනෙක් නැහැ. කළුවරේ ම වටපිට බලපු අපට ෆැමිලි ඩයිනින් ටයිප් එකට තියපු රවුම් මේස ටිකකුයි, පුටු ටිකකුයි දැකගන්න ලැබුණා. “සමහරවිට රෙස්ටෝරන්ට් එකේ මේ පැත්ත වහලා ඇති”යි කියලා හිතපු අපි එළියට බැහැලා, පිටිපස්සේ හරියේ තියෙන දොරකින් ඇතුල් වුණා. මේ පැත්තෙත් වෙනසක් නැහැ. බාර් එකක් එහෙම දකින්න ලැබුණා. ඒ හැරුණා ම මිනිස් පුළුටක්වත් නැහැ. මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව දෙපැත්තට වැනෙනකොට තමයි සේවක මිත්‍රයෙක් ආවේ.

“එන්න සර් මේ පැත්තෙන්"

අපිත් ඔන්න ඔහේ සේවක මිත්‍රයාගේ පස්සෙන් ගියා. බැලින්නම් පිටිපස්සේ දොර තියෙන්නේ බොන්න එන අයට. ඉස්සරහ දොර තියෙන්නේ කන්න එන අයට. කොහොමින් කොහොම හරි ලයිට් එහෙම දාලා ගත්ත ම මේ රෙස්ටෝරන්ට් එකේ හොඳ පෙනුමක් තියෙනවා. ඒසී, ෆෑන් දෙක ම දාලා තිබුණත් ඇතුල ටිකක් රස්නෙයි. හැබැයි සෙනඟ වැඩිවෙද්දී නම් කොහොමත් ඉන්න අමාරුයි.

කෑම බීම

“චයිනීස්, තායි ක්විසින්” කියලා මෙනුවේ ගහලා තිබුණට, අපට දැකගන්න ලැබුණේ ඔය ලංකාවේ තාලෙට චයිනීස් කෑම හදන රෙස්ටෝරන්ට්වල තියෙන කෑම බීම තමයි. චිකන්, සීෆුඩ්, බීෆ්, පෝක් ඕනේ දෙයක් මෙතැන තියෙනවා. බීම විදියට තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස් සහ කෝක්, ස්ප්‍රයිට් වගේ සොෆ්ට් ඩ්‍රින්ක්ස්. කෑම සේරම ස්මෝල් සහ ලාජ් පෝෂන්වලින් ගන්න පුළුවන්.

අපි ස්ටාටර් එක විදියට ගත්තේ “චිකන් ස්වීට් කෝන් සුප්” (රු.410) එකක්. හ්ම්ම්,.. අර ඩයිනර්ස් ලෞන්ජ් එකේදී බොන්න ලැබුණු සුප් එක තරම් නම් මේක හොඳ නැහැ. හැබැයි මේකෙත් රස ෂේප්. දෙන්නෙක් ට ඇති වෙනකම් බොන්න පුළුවන් සයිස් එකට සුප් ලැබුණා. චිකන් ගොඩක් දාලා තිබුණට, ස්වීට් කෝන් තිබුණේ සෑහෙන්න අඩුවෙන්. ඒ නිසා එක ලොකු අඩුවක්. අනික සුප් එකේ උකු ගතියත් ටිකක් මදි.

ඊටපස්සේ අපි දැම්මා කෑම ඕඩර් එක; “චිකන් ෆ්‍රයිඩ් රයිස්” (රු.420) එකයි, “මස්ටර්ඩ් පෝක්” (රු.560) එකයි, “හොට් බටර් කට්ල්ෆිෂ්" (රු.690) එකකුයි. ඔය සේරම ස්මෝල් පෝෂන් සයිස් ඒවා.

කිංග් ටේස්ට් එකේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හොඳයි. චිකන් හොඳට මික්ස් වෙලා තිබුණා වගේ ම, කැරට්, ලීක්ස්, බිත්තරත් එකතු කරලා තිබුණා. ලොකු තෙල් ගතියකුත් නැති නිසා තවත් හොඳයි. හැරත් අජිනොමොටෝ දාපු ගතියක් ඇත්තෙත් නැහැනේ. ෂේප් එකේ කන තුන්දෙනෙක්ට මේ බත් එක ඇති. දෙන්නෙක්ට නම් බඩ පැලෙන්න කන්න ඇහැකි.

මස්ටර්ඩ් පෝක් එකත් මරු. තෙල් කෑලි දෙකතුනක් හැරෙන්න ඉතුරු සේරම මස. ඇඟිල්ලක් තරම් තරම් දිගට කපපු පෝක් කෑලි ගොඩක්, ස්පයිසි මස්ටර්ඩ් සෝස් එකක ගිල්ලවලා තමයි මේක හදලා තිබුණේ. ලූණු රවුම්, තක්කාලි පෙති, කරපිංචාවලින් මේක තවත් රසවත් වුණා විතරක් නෙවෙයි, හැඩත් වුණා. මේකේ හොද්ද ටික බතට එකතු වුණා ම තවත් පට්ට.

ෂහ්! හොට් බටර් කට්ල්ෆිෂ් එක පංකාදු පහයි ඈ! කරස් සද්දෙන් හැපෙන මේවා කටට සැරට කන්න නියමයි. මොකද කෑලි මිරිස් තවරලා නිසා ස්පයිසි ගතියට තියෙනවනේ. අනං මනං වැඩි කතා නැතුව කට ඇරලා කියන්න පුළුවන් මේක තෙල් රස, කර රස නැති නියම ක්ලැසික් හොට්‌ බටර් කට්ල්ෆිෂ් කියන එක.

සර්විස් එක

මේකයි කතාව, අපි කිංග් ටේස්ට් එකට යද්දී නම් මේකේ කවුරුවත් හිටියේ නෑ. මුළු රෙස්ටෝරන්ට් එකට ම අපි දෙන්නෙක් විතරයි. ඒ නිසා සර්විස් එකේ ඒ හැටි අවුලක් පේන්න තිබුණේ නැහැ. ඉතින් අර ලොකු හෝටල්වල වගේ හෙන ප්‍රොෆෙෂනල් ගතියක් නැති බව හැබෑව. ඒ හැටි සුහදශීලී බවක් ඇත්තෙත් නැහැ. කොහොම වුණත් කෑම බීම ටික මේසෙට ආවා විනාඩි 15-20න් වගේ. මේ කට්ටියගේ ෆේස්බුක් එකේ නම් සර්විස් එකට සෑහෙන්න දොස් කියලා තියෙන හැටි අපට දකින්න ලැබුණා. සමහර වෙලාවට සෙනඟ පිරුණා ම ඒක සවුත්තුද දන්නේ නැහැ.

අවසාන වශයෙන්  

හෙන සුපිරියි කියලා කියන්න බැරි වුණත්, බඩ පිරෙන්න කෑම කාලා එන්න කිංග් ටේස්ට් එක හොඳයි. සමහරවිට මුල් කාලේ තිබුණු අවුල් මඟ හැරගෙන රෙස්ටෝරන්ට් එක කරගෙන යනවා වෙන්නත් පුළුවන්. සමහර කට්ටිය කියපු විදියට අපිත් බයේ හිටියේ, බඩවල් අවුල් වෙලා කේස් යාවි කියලා. හැබැයි දෙයියනේ කියලා එහෙම දෙයක් වුණේ නැහැ. ඔයාලටත් කිංග් ටේස්ට් එකේ අත්දැකීම් තියෙනවා නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට අපි කට්ටියට ම දැනගන්න පුළුවන්නේ.


TIP

Try the Hot Butter Cuttlefish.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment