Artwork for Sampath - Top
Artwork for Kingsbury Harbour Court August 2017

5/5

Kurullangala Rock Art (Karandagolla)

Kurullangala, Karandagolla, Ella, Uva.


සුළු වාසි, ලාභ තකා රටක ඉතිහාසය පවා පාවා දෙන විදෙස් ගැතියනට වර්තමානයෙහිදී කට උත්තර නැතිව ගොස් ඇත්තේ රට පුරා මුල් බැසගෙන ඇති 'රාවණ' රාවයත් සමඟ මතුවන අනේක විද පුරා විද්‍යාත්මක සාක්ෂි සාධක නිසාවෙනි.



''හෙළයිනට තිබූයේ අතිශය ප්‍රාථමික සිතුවම් කලාවකි. සජීවී සිතුවම් කරනයත් වර්ණ භාවිතයත් අප හට දායාද වූයේ සංඝමිත්තා තෙරණිය සමඟ මෙරටට ආ ශිල්ප දහ අටෙහි ප්‍රථිඵලයක් ලෙසිනි'' චිත්‍ර ගුරුවරුන් පාසල තුලදී අපට එලෙසින් උගැන්වූයේ ඔවුනද චිත්‍ර විෂයය ඉගෙන ගත්තා පමණක් නිසාවෙන් විය හැකිය. නමුදු, මේ, එම වැරුද්ද නිවැරදි කිරීමට කාලයයි.

සුළු වාසි, ලාභ තකා රටක ඉතිහාසය පවා පාවා දෙන විදෙස් ගැතියනට වර්තමානයෙහිදී කට උත්තර නැතිව ගොස් ඇත්තේ රට පුරා මුල් බැසගෙන ඇති 'රාවණ' රාවයත් සමඟ මතුවන අනේක විද පුරා විද්‍යාත්මක සාක්ෂි සාධකයන් නිසාවෙනි. ඕස්ට්‍රේලියාවෙහි 'ගැබර්න්මැන්ග්' සහ 'බ්‍රැඩ්ෂෝ' සෙල් සිතුවම් වලටත් ඉන්දුනීසියාවෙහි 'පෙට්ටාකෙරේ' සහ ප්‍රංශයෙහි 'චැඋවෙට්' ලෙන් සිතුවම් වලටත් සිතුවම් කලාවෙහි උත්පත්තියේ ගරු බුහුමන දෙමින්, ලෝකය, ඉතිහාසය හොබවද්දී අප සතුව මෙතුවක් කල් තිබූයේ වසර 4,500කට පමණ පෙර වූ සිතුවම් ඉතිහාසයක් පමණි. බොහෝ විට ඒ දොරවක, මොලගොඩ හෝ නැව්ගල සෙල් සිතුවම්ය. නමුදු ගිරි දුර්ගයක සැඟව හිඳ හෙළ ශිෂ්ඨාචාරයෙහි යට ගියාව කියා පෑමට වෙර දරන, ශිලා පවුරක වන පරිණත සිතුවම් පෙළක් දැන් අප සතුව ඇත.

'කුරුල්ලන් ගල' පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයෙහි ගිණිකොනදිග බෑවුමෙන් තරමක් ඔබ්බට වනන්නට පිහිටා ඇති පූනාගල කඳු පන්තියෙහිය. එනම් ඌව පළාතෙහි ඇල්ල සිට වැල්ලවාය දෙසට කිලෝමීටර 18ක පමණ දුරක් ගිය තැන්හි මුණ ගැසෙන උමා ඔය ව්‍යාපෘති මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර 2කට ආසන්න පාගමනකින් අනතුරුව පිවිසෙන කඳුකර වනාන්තරය තුලය. වනගත මංපෙත හඳුනන්නේ පෙර එහි ලඟා වූවකු පමණි. කුරුල්ලන් ගල වෙත අඩි පාරකුදු හෝ නොමැත. මෙම සිතුවම් පවුර සොයා ගැනීමෙහි ගෞරවය හිමිවනුයේද කරඳගොල්ල වාසී ගම් වැසියකුටය. ඒ හැරුණු කොට රක්ඛිත්තා කන්ද රජමහා විහාරයෙහි නායක ස්වාමීන් වහන්සේ, කරඳගොල්ලේ සුගතරංසි හිමියනද කැළේ කොළේ පීරා ගෙන කුරුල්ලන් ගල තරණයට උපන් හපෙනකි.

වන දුර්ගය ඔස්සේ කඳු මුදුනෙහි වන සිතුවම් පවුර වෙත ලඟා වීමට ආසන්න පැය දෙකක පමණ කාලයක් ගත වේ. ප්‍රධාන මාර්ගෙයහි සිට බැලූ කල්හි එම ස්ථානයට ඇත්තේ කිලෝමීටරයක පමණ දුරක් වුවද මං පෙත පිහිටා ඇත්තේ විශාල ආනතියකින් යුත් කඳු බෑවුම ඔස්සේ වන බැවින් බොහෝ විට එය ඉතා වෙහෙසකර පාගමනක් විය හැකිය. මුල් භාගය සාමාන්‍ය වනාන්තරය මැදින් වැටුණු මං පෙතෙහි පළමු සහ විශාලතම මර්මස්ථානය මුණ ගැසෙනුයේ මීටර 600ක පමණ දුරක් ගමන් කල පසුවය. එය අංශක 75ක පමණ ආනතියකින් භූමියට ලම්කවූ, උසින් අඩි 20කට අාසන්න සෘජු ගල් කුලකි. මෙම ගල් කුල තරණය කිරීමට ඇති ආධාරකයන් වනුයේ තැනින් තැන මතු වූ ශාක මුල් සහ එහි පිහිටා ඇති කඩතොළුය. ඉදින් පිවිසෙනුයේ තවත් එවැනිම වූ උස අඩි 10ක පමණ සෘජු ගල් කුලකටය. එය තරණය කිරීමට ඇති එකම පිහිට එක් පසෙකින් දිවෙන නුග වැල් කිහිපයත් ගලෙහි ඇති කඩතොළුත් පමණි.

මෙලෙසින් වන ගල් කුළු කිහිපය තරණය කල පසුව අවසාන මර්මස්ථානය ලෙසින් පොල් ගසක කඳක වට ප්‍රමාණයෙන් අඩක් පමණ වූ නුග මුලක් මතින් එක් පසකින් පමණක් වූ ගල් කුලෙහි ඇලී අඩි 10ක පමණ දුරක් සීරුවෙන් ගමන් කරමින් විසල් ප්‍රපාතයක් තරණය කළ යුතු වේ. එහි අවසානයෙහි වන ස්වාභාවික ගල් පඩි කිහිපය තරණය කරන ඔබට හෙළ ශිෂ්ඨාචාරය මැනවින් කියාපාන ඓතිහාසික කුරුල්ලන් ගල සිතුවම් පවුර වෙත පිවිසිය හැකි වනු ඇත.

අඩි 20ක පමණ දිගකින් සහ අඩි 5කට ආසන්න පළලකින් යුත් ප්‍රධාන සිතුවම් පුවුරත් ඉන් ඉහලට ඇති, ප්‍රධාන පවුරෙන් බිඳුණු සෘජු ගල් කුලත් මෙම සිතුවම් කරුවාගේ සිතුවමින් හැඩවී ඇති අතර අප සිට ගන්නා ස්ථානයෙහි සිට අඩි 20කට පමණ ආසන්න උසක් වන තුරු රූප සටහන් දක්නට ලැබීම අතිශයින්ම විශ්මය දනවන කරුණකි. මන්ද යත් එවන් උසකට නැගීමට එම ස්ථානයෙහි වන කිසිදු අධාරකයක් නොමැති අතර අනුමාන කල නොහැකි අයුරේ ක්‍රම වේදයක් ඒ සදහා භාවිතා කොට ඇත. අදටත් ලෝක පුදුමයන් ලෙසට පත්ව ඇති බොහොමයක් දෑ මෙගලිතික යුගයේදී නිර්මාණය වූ ඒවා බැවින් වර්තමාන ලෝකයෙහි පවතිනුයේ සාපේක්ෂ මද දියුණුවක් බැව්ද මෙමගින් මනාව පැහැදිලි වේ. ඒ හැරත් මෙම කුරුල්ලන් ගල කඳු පන්තිය ස්වාභාවික භූ විපත් වලට ගොදුරු වීමෙන් ගල් කුළ කඩා වැටීමක් සහ යම් කිසි නාය යාමක් සිදුව ඇති බැව්ද භූමියෙහි පිහිටීම මැනවින් අධ්‍යයනය කල පසු වැටහෙනු ඇත.

මෙම සිතුවම් සියල්ලම පාහේ සත්ව රූපයන් වන අතර එකල දඩයම් කරුවනගේ ප්‍රභල ආයුධයක් වූ භූම රංගයට සමාන හැඩ තල කිහිපයක්ද පවුරේ වම් පසට වන්නට දක්නට ඇත. ඒ හැරුණු කොට දුන්නක් යැයි සැලකිය හැකි රූපයක්ද සිතුවම් අතර වේ. සත්ව රූපයන් අතුරින් පැහැදිලිවම දැක ගත හැකි වනුයේ මොණර, සෙබඩ සහ උකුසු කුලයට අයත් පක්ෂීනගේ රූපත්, කිඹුලකු යැයි අනුමාන කල හැකි උරගයකුගේ රූපත්, ගෝනකුගේ හෝ මුවෙකුගේ රූපයත් පමණි. මේ අතුරින් සුවිශේෂී සත්ව රූපයක් වනුයේ හිස පෙදෙස හරි හැටි හඳුනාගත නොහැකි වනසේ මැකී ගිය උල් සහිත පිටක් සහ වලිගයක් ඇති උරග රූපයයි.

තවද මෙම සිතුවම් දෙස වෙන් වෙන්ව බැලූ කල්හි එක් එක් සත්ව රූපයන් ඇඳි පරිමාණයන් සියල්ල සජීවී සතුනගේ පරිමාණයනට බොහෝ දුරට සමාන බැව් වැටහෙනු ඇත. ඒ අනුව ගත් කල ඇක්සිපිට්‍රිෆෝමෙස් කුලයේ යැයි නිසැකවම කිව හැකි, කොණ්ඩ කුස්සකු බවට අනුමාන කල හැකි පක්ෂි රූපයක් සහ තාරා හෝ පාත්ත කුලයට අයත් පක්ෂියකුගේ රූපයක් ඇතුළුව තවත් බෝහෝ හඳුනාගත නොහැකි උරග, ක්ෂීරපායී සහ කුරුළු රූපයන්ගෙන් කුරුල්ලන් ගල සිතුවම් පවුර සමන්විත වේ. සතුන්ගේ ශරීර මතු පිට, චතුරස්‍ර, වෘත්ත, ත්‍රිකෝණ ඇතුළු නොයෙක් විද හැඩ තල සහ රටා භාවිතා කරමින් එම රූපයන් තව තවත් විස්තර කිරීමට සහ අලංකාර කිරීමට තරම් පරිණත වූ මෙම සිතුවම් කරුවා සැබවින්ම සහජ හැකියා ධාරියෙක් බැව් නිසැකවම කිව යුතුය.     

ශාඛ සාරයන් මිශ්‍ර කොට සාදාගත් රතු තීන්ත පමණක් භාවිතා කරමින් ඇඳ ඇති මෙම සිතුවම් බොහොමයක ශීර්ෂයන් පහතට සිටින අයුරින් ඇඳ තිබීමට හේතුව හරි හැටි නීර්ණය කිරීමට නොහැකි වුවද බොහෝ විට එමගින් යම් කිසි කථාවක් නිරූපණය කිරීමට උත්සාහ ගත්තා විය හැකිය. පිටස්තර සිතුවම් කලාවක මුහුම් විමක් කිසි සේත්ම පිළිබිඹු නොකරන කුරුල්ලන් ගල සිතුවම් අතරේ දක්නට ඇති අත්සන් තැබීමේ ක්‍රමවේදය ආජන්ටිනාවෙහි 'කුඑවා දෙ ලාස් මානෝස්' හෙවත් 'අත්සන් ගුහාවෙහි' සහ ඉන්දුනීසියාවේ 'මාරෝස්හි ගුආ ටෙවෙට්', 'ජීවිතයේ ශාකය' නැමති සිතුවමෙහි අත්සන් තැබීමේ ක්‍රම වේදයනට ඉතා සුළු වශයෙන් සමානවේ. එනම් අත්සන් ගුහාවෙහි සහ ගුආ ටෙවෙට්, ජීවිතයේ ශාකයෙහි දක්නට ඇති, වම් අත ශෛල බිත්තිය මත තබා පිටත තීන්ත ගැල්වීම (ස්ටෙන්සිල්) ක්‍රම වේදය වෙනුවට සෘජුවම වම් අතෙහි තීන්ත ගල්වා ශෛල බිත්තියෙහි සලකුණු කර තිබීමයි.

මීට වසර 9,000ක සිට 13,000 දක්වා පැරණි බවට ගණන් බලා ඇති අත්සන් ගුහාවෙහි වන අත්සන් සහ මීට වසර 40,000ක් පමණ පැරණි බවට ගණන් බැලූ ගුආ ටෙවෙට්, ජීවිතයේ ශාකයෙහි වන අත්සන් හැරණු කොට කුරුල්ලන් ගල සිතුවම් කලාවෙහි සිතුවම් රටාවට තරමක් හෝ සමාන සිතුවම් පවුරක තොරතුරු හමුවනුයේ චීනයේ මැලිපෝ කෝරළයෙනි. එනම් එහි වන විසල් ගල් කුලක 'ශ්‍රේෂ්ඨ රජු' තේමාව යටතේ ඇඳි ධැවැන්ත සිතුවමෙනි. එම සිතුවම් පවුරෙහි පිහිටුම බොහෝ දුරට පාහේ කුරුල්ලන් ගල සිතුවම් පවුරෙහි පිහිටුමට සමාන වන අතර ශ්‍රේෂ්ඨ රජු සිතුවමෙහි පහත ප්‍රෙද්ශයේ දක්නට ඇති රටාවන් කිහිපයක් කුරුල්ලන් ගල සිතුවම් අතරේද දක්නට ලැබීම සුවිශේෂී කරුණකි. වසර 4,000 ඉතිහාසයක් කියාපාන ශ්‍රේෂ්ඨ රජ‍ු සිතුවම හැරුණු කොට තවත් එක් සිතුවම් පෙළක පමණක් කුරුල්ලන් ගල සිතුවම් පෙළ සමඟ සැසඳෙන සමාන කම් කිහිපයක් දක්නට ඇත. ඒ වසර 3000ක ඉතිහාසයක් කියාපාමින් තායිලන්තයෙහි 'ඵා ටඑම්' ජාතික උද්‍යානයෙහි ඇති 'ධැවැන්ත මෙකොන්ග් කැට් ෆිෂ්'ගේ රුව ඇතුළු අනෙක් සත්ව රූප කිහිපයෙහි සහ මනුෂ්‍ය රූප කිහිපයෙහි දක්නට ඇති සිතුවම් කරනය සහ වර්ණනය වේ.

ලොව, විවිධ ප්‍රාග් ඓතිහාසික සිතුවම් සමඟ එලෙසින් වූ සුළු සමානකම් පැවතුනද කුරුල්ලන් ගල සිතුවම් මුළු මනින්ම දේශීය ආභාශයකට අනුව නිමවුනා යන්නට කිසිදු සැකයක් නැත. මුහුදු මට්ටමෙහි සිට අඩි 2500කට අධික උසක පිහිටා ඇති මෙම සිතුවම් පෙළ ලොව අනෙක් ප්‍රාග් ඓතිහාසික සිතුවම් පිහිටා ඇති ස්ථානයන් සමඟ සැසඳීමේදී මධ්‍ය ස්ථානයක් දිනා ගනී. නමුදු මෙරටින් දැනට හමුව ඇති සෙල් සිතුවම් අතුරින් මුහුදු මට්ටමෙහි සිට වැඩිම උසක පිහිටා ඇත්තේ කුරුල්ලන් ගල සිතුවම්ය.

ජන වහරෙහි සඳහන් වන 'බහිරව කුරුල්ලා' නැමති විසල් විරූපී කුරුල්ලකුගේ සංකල්පය ඉතා ගුප්ත අයුරින් කුරුල්ලන් ගල ආශ්‍රිතව මුල් බැසගෙන තිබෙනුයේ එම ස්ථානය නිරීක්ෂණය කලවුන්ගේ නොසැලකිල්ල නිසාවෙනි. ඒ හැරත් බොහෝ විට ප්‍රසිද්ධිය තකා එවන් අද්භූත කථාවන් නිර්මාණය කිරීමටද නොයෙක් විද මාධ්‍යයන් උත්සාහ ගන්නා බැව්ද ඔබ අප දුටු කරුණකි. දවස මුළුල්ලේම පාහේ එහා මෙහා සැරිසරමින් නද දෙන 'ශාහින් කුරුළුගොයි' ජෝඩු දෙකක් පැහැදිලිවම දැක බලා ගත හැකි කුරුල්ලන් ගල ගිරි ශිකර මුදුනෙහි අපූර්වත්වය හෙළිදරව් වනුයේ එහි වන සිතුවම් පවුරෙහි ඇඳි කුරුළු ගොයින්ගේ 'වී බෑවීමෙහි' හැඩතලයට බොහෝ දුරට සමාන සිතුවම නිසාවෙනි. එය හොඳින්ම පැහැදිලි වනුයේ අනෙක් සත්ව රූපයන් බොහොමයකගේ හිස් ඇති දිශාවට විරුද්ධව එම රූපය සිතුවම් කොට තිබීමෙන්ය.

මුළු මනින්ම ගත් කල ශේෂ වූ, නොවූ සහ වෙමින් පවතින සිතුවම් 100කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත කුරුල්ලන් ගල සිතුවම් පවුරෙහි කාබන් කාල නීර්ණයක් කිරීම අතිශයින්ම සාධාරණ වනුයේ මෙම සිතුවම්හි ඇති නොඉඳුල් භාවය හමුවේ සාපේක්ෂ යුග නීර්ණනය ඉතා අපහසු බැවිනි. තවද මෙම ස්ථානයෙහි වර්තමාන පිවිසුම පිළිබඳව සහ එකල වූවා යැයි සිතිය හැකි පිවිසුම් පිළිබඳවත්, නොයෙක් විද හේතූන් කිහිපයක් නිසා මා මෙහි සඳහන් නොකල කුරුල්ලන් ගල පාදකව පිහිටා තිබූයේ යැයි අනුමාන කල හැකි රාජධානියක සුළු නටඹුන් කිහිපය පිළිබඳවත් තව දුරටත් පිරික්සිය යුතුය. මෙකී නොකී සියළු සාධකයන් හමුවේ මා සිදු කළ නිරීක්ෂණයන්හි ප්‍රථිඵලයක් ලෙසින් මෙම සිතුවම් පවුර ආසන්න වසර 3,000ත් 7,000ත් අතර හෝ වසර 25,000ට වඩා පැරණි විය යුතු යන්න මාගේ නිගමනයයි.

නිරන්තරයෙන් අව් වැසි වලට ගොදුරු වෙමින් ශේෂව යන මෙම ඓතිහාසික ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා පුරා විද්‍යාඥයිනගේ හෝ අනෙකුත් වගකිව යුතු නිළධාරීනගේ අවධානය යොමුව නොතිබීම නම් සැබවින්ම දෙනෙතට කඳුළු ගෙනෙන කරුණකි. වැළලී ගිය හෙළ ශිෂ්ඨාචාරයෙහි නූතන සම්ප්‍රාප්තියට බියව විදෙස් ගැති ඉතිහාසයකට වන්දනාමාන කරමින් විදෙසයටම කත් අදින මෙරට ගැත්තන්ගේ බිඳුනු පතිවත හෙළි වීම අත ලඟ දැයි විටෙක මා හට හැඟෙනුයේ මෙවන් වූ සොයා ගැනීම් වසන් කිරීමට තැත් කරන එවන්නවුන්ගේ අනේක විද අඳෝනාවන් මාධ්‍යය තුලින් පෙනෙද්දීය.

ස්තූතිය : කරඳගොල්ලේ සුගතරංසි හිමි වෙත.


TIP

Be very careful while climbing.

Artwork for Sampath Content Sep generic

Address

Kurullangala, Karandagolla, Ella, Uva.

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
5
Ambience Rating
5
Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments

Nearby Places