Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Moksha Vegetarian

Piliyandala


Fast and reasonably priced Indian fare with an unintentionally quirky ambience.



මස් මාංශ ප්‍රිය නොකරන අයට වගේම, ඉන්දියන් කෑම ප්‍රිය කරන අයටත් ඔත්තුවක් දෙන්නයි මේ හදන්නෙ. බම්බලපිටියෙ තිබුණ මෝක්ෂා වෙජිටේරියන් රෙස්ටොරන්ට් එක මතකයි නෙ. එයාලගෙ රෙස්ටොරන්ට් එක දැන් තියෙන්නෙ පිළියන්දල. ඉතිං අපි දවසක් ඒ පැත්තට ගොඩ වැදුණා පරණ මෝක්ෂා රහ අලුත් වෙලා ද කියල බලන්නත් එක්ක.

තැන

පිළියන්දල තියන මේ රෙස්ටොරන්ට් එකේ මෝක්ෂා වෙජිටේරියන් කියල ගහල තියන නිල් පාට ලොකු බෝඩ් හින්ද ඈත ඉඳන් වුණත් අඳුනගන්න ලේසියි. පොඩි පාකිං ස්පේස් එකකුත් එක්ක තියන එච්චරම ලොකු නැති පොඩි තැනක් වුණත්, පහළොස් දෙනෙකුට විතර එක පාර වාඩිවෙලා කෑම කන්න පුළුවන් විදිහට පිරිසිදුවට පිළිවෙළට මෙතන සකස් වෙලා තියනවා. ඉස්සරහින්ම තියල තියන ගණදෙවි පිළිමෙ නිසා ඇතුල් වෙද්දිම හින්දු සංස්කෘතිය පිළිබිඹු වෙනවා.

කෑම

සම්පූර්ණයෙන්ම මස්මාළුවලින් තොර වුණත් මේ රෙස්ටොරන්ට් එකේ මෙනු එක හරිම දිගයි. ඒකෙ වේල් තුනට වෙන වෙනම වෙන් කරපු විවිධ වර්ගවල තෝසේ, පරාටා, නාන්, රොටී, සමෝසා, වඩේ, පූරි, චපාති, තාලි, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම ජාති පිරිලා. අපි ගියේ ලන්ච් එකට. ඉතිං අපි තේරුවේ ස්පෙෂල් ඉන්දියන් තාලි එකයි (රු. 550), පනීර් තෝසේ එකයි (රු. 400).

පනීර් තෝසේ එක ලොකුම ලොකුයි! එක්කෙනෙකුට කාල ඉවර කරන්නත් බැරි තරම්. මැද්දට පනීර් මහ ගොඩක් දාපු රන්වන් පාට විසාල තෝසෙ එකක්. පනීර් ෆිලිං එක පෙනුමට වඩා සෑහෙන්න රසයි වගේම සොෆ්ට්. ඒ එක්කම ආපු සම්බෝල වර්ග දෙකයි හොදි එකයි මේකේ රස දෙගුණ තෙගුණ කළා.

ඊළඟට මේ බැබළි බැබළි තියෙන්නේ ස්පෙෂල් ඉන්දියන් තාලි එක. තාලි කියන්නෙ කෑම විදිහට බත් එක්ක සාම්බාරු හොදි සහිත කරීස් කීපයක්, ලුණුදෙහි හෝ අච්චාරු, සම්බෝලයක්, ලොකු පපඩමක්, චපාති කෑලි දෙකක්, උළුඳු වඩේ එකක්, ගුලාබ් ජමුන් එකක් වගේ අතුරුපසක් සහ බීම විදිහට ලැසී එකක් ඇතුළත් වෙන උතුරු ඉන්දියානු නිර්මාංශ කෑම වේලක්.

සූදුරු මාදුරු එහෙම යහමින් දාපු යන්තමින් කහ පාට බතයි, හොඳහැටි කුළුබඩු දාල රස කරපු සාම්බාරු හොදියි එකතු වුණාම රහ හිතාගන්න පුළුවන් නෙ? ඒ මදිවට වඩේ එකයි චපාතියි. නියම උළුඳු රහට තිබුණ වඩේ එක හැපෙනකොට සොෆ්ට්. චපාති එකත් හයිය නෑ පොඩ්ඩක්වත්. නියම ඉන්දියන් රසපදමට අනුව හදලා.

අතුරුපස

මේ ඔක්කොටම වඩා මෝක්ෂා එක අමුතු අමුතු අයිස්ක්‍රීම් ජාති හදන තැනක් විදිහටත් ප්‍රසිද්ධියක් උසුලනවා. තාලි එකේ තිබුණ රසම රස ගුලාබ් ජමුන් එකටත් වැඩේ දීලා, ඊළඟට අපිට ඕන වුණා ඩෙසට් එකට අයිස්ක්‍රීම් රහත් බලන්න. ඔන්න ඉතිං ඒ හින්ද අපි ගත්තා චොක්ලට් ආමන්ඩ් චිප් කුල්ෆි එකයි (රු. 150), ප්‍රිමියම් මලයි කුල්ෆි කෝන් එකයි (රු. 60).

කුල්ෆි කියන්නෙ සාම්ප්‍රදායික ඉන්දීය අයිස්ක්‍රීම් වර්ගයක්. අපි ගත්ත චොක්ලට් ආමන්ඩ් චිප් කුල්ෆි එක දාල තිබුණේ පුංචි මැටි මුට්ටියක. මේ විදිහෙ මැටි මුට්ටිවල හදන කුල්ෆිවලට කියන්නෙ මට්කා කුල්ෆි කියල. අපිට ඉතිං පුරුදු ප්ලාස්ටික් කප්වල හරි ටබ්වල හරි දාපු අයිස්ක්‍රීම් හින්ද මැටි මුට්ටියක දාපු අයිස්ක්‍රීම් කිව්වම ටිකක් අමුතුයි නෙ. ඒ වුණාට මේක අපි නොහිතපු තරම් හරිම රසයි. ඒ වගේම එක්කෙනෙකුට ඉවර කරන්නත් බැරි තරම් ලොකුයි.

මලයි කුල්ෆි එක ආවෙ කෝන් එකක. මේකෙ තියෙන්නේ හරියටම අර Soan Papdi කියන ඉන්දියන් රසකැවිල්ලේ රහ. චොක්ලට් ආමන්ඩ් චිප් කුල්ෆි එකට වඩා, දිව පිනා යන නුපුරුදු මිහිරි රසක් අපිට ලං කරපු මලයි කුල්ෆි එකට වැඩි ලකුණු දෙන්න වෙනවා.

සර්විස් එක

එන අයත් එක්ක සුහදව කතා කරන හොඳ ස්ටාෆ් එකක් මෙතන හිටියා. එයාල අපිට කෑම තෝරන්නත් උදව් කළා. ඒ වගේම ඕඩර් කරලා විනාඩි දහය පහළොවක් ඇතුළත කෑම සර්ව් කරපු එකත් අගය කරන්න ඕන.

අවසාන වශයෙන්

ඉතිං අපි මෝක්ෂා එකෙන් එළියට ආවෙ හොඳටම බඩකට විතරක් නෙමෙයි හිතත් පුරෝගෙන. ඕගොල්ලොත් නියම ඉන්දියාවෙ රහ ලංකාවෙදි ම අත්විඳින්න, මෝක්ෂා එකට ගිහින් බලන්න..!


Similar Places

See 1 Comment