Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

5/5

Nil Diya Pokuna

Amba Estate Road, Karandagolla, Ella


'නිල් දිය පොකුණ' ඇසූ සැණින් සිරිලක බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව ඇත්තේ රාවණ පුරාවෘත්තයට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් ලෙසිනි.



ප්‍රවාදයත් පුරාවෘත්තයත් යනු මුළුමනින්ම වෙනස් වූ අර්ථයන් දෙකකින් හෙබි වචන දෙකකි. පෙර මා ලියූ රාවණ කථා වස්තූන් පුරාවෘත්තයන් ය. නමුදු අද මා පවසන්නට තැත් කරනුයේ අතීත පුරාවෘත්තයන්හි අභාශයෙන් වර්තමානය ගොඩ නැගූ ප්‍රවාදයක් පිළිබඳව ය.

'නිල් දිය පොකුණ' ඇසූ සැණින් සිරිලක බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව ඇත්තේ රාවණ පුරාවෘත්තයට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් ලෙසිනි. මන්ද යත් එදා මෙදා තුර මෙරටින් මතුවූ විශාලතම භූගත ගල් ගුහාවත් එහි එක් අවසානයක පිහිටා ඇති විනිවිද පෙනෙන තරමේ සුපිරිසිදු ජලයෙන් පිරුණු පොකුණත් නිසාවෙනි. ඒ හැරුණු කොට ශෛලමය උමං මුඛය ඔස්සේ භූගත ගල් ගුහාව වෙත යායුතු මාර්ගයෙහි අඩියක් අඩියක් පාසා ඇති මර්මස්ථානයන් නිසාවෙන් හැඟෙන භීතියත් එහි අවසානයෙහි ගොඩ වැදෙන කෑලි කැපෙන ඝන අඳුරෙහි ගිලුණු සුවිසල් ගල් ගුහාවත්, පිටත සිට ඒ දෙස බලන්නන් වෙත දනවන ගුප්තීය හැඟීමද බොහෝ දුරට නිල් දිය පොකුණෙහි විශේෂත්වයට තුඩු දුන් හේතුවකි.

රාවණ පුරාවෘත්තය ඔස්සේ අතීතය පිරික්සන අප හට ඇල්ල, වැල්ලවාය ප්‍රදේශයන් අත්හැර කතා බහ කිරීමට නොහැක. මන්ද යත් එතරම් වූ සාක්ෂි සාධකයන්ගෙන් පිරී පවතින මෙම ප්‍රදේශයෙහි දිනෙන් දින මතු වෙමින් පවතින තව තවත් වූ අනේක විද සාක්ෂි සාධකයන් නිසාවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙසින් මීට වසර කිහිපයකට ප්‍රථම සොයා ගත් කරඳගොල්ලේ රාවණා උමඟ නැතිනම් නිල් දිය පොකුණෙහි පිවිසුම් මං පෙතෙහි පුනර්විකාශනය හැඳින්විය හැකි ය. නව අරුතකින් කරලියට එන රාවණා උමඟ එනමින් පටබැඳෙනුයේ කෙලෙසදැයි යන්න සාක්ෂි සාධක සහිතව කියා පෑමට සමත් කෙනෙකු මුණ නොගැසුනද ගමන ආරම්භයෙහි දීම ඒ බැව් හැඟෙන්නට වීම නම් අතිශයින්ම ආශ්චර්යමත් ය.

ඇල්ල සිට වැල්ලවාය දක්වා වන මාර්ගයෙහි කිලෝමීටර 13කට ආසන්න දුරකින් පිහිටා ඇති 'අඹ' වතු යායෙහි පිවිසුම් මං පෙත ඔස්සේ කිලෝමීටර 3ක පමණ දුරක් ගමන් කළ පසුව කිසිදු සටහනක් නොමැති ස්ථානයකින් වනය තුළට පිවිසීම සිදුවනුයේ නිතැතියෙන්ම මාර්ගෝපදේශකයෙකු අවැසි බැව් අඟවමිනි. එතැන් සිට වන වනගත අඩි පාර ඔස්සේ කිලෝමීටර භාගයකට ආසන්න දුරක් ගමන් කළ පසුව එම අඩි පාර ද මග හැර වනය තුළට පිවිස තවත් කෙටි දුරක් කඳු බෑවුම ඔස්සේ පා නැගිය යුතුය. ඉදින් දක්නට ලැබෙනුයේ රාවණ උමඟෙහි පිවිසුමයි. උමං මුඛය පිහිටා ඇත්තේ උස් ගල් කුළු දෙකකට මැදිව ය. ගමනට අත්‍යාවශ්‍ය දෑ පමණක් ම මළු තුල ඉතිරි කර ගනිමින් ද එක් අයෙකුට එක් අතකට බැගින් වන විදුලි පන්දම් ගනිමින් ද ගමනට සූදානම් වීමට ඇති එකම ස්ථානය එය වේ.

උස් ගල් කුලෙන් බැස ගල් දෙබොක්කාවෙන් රාවණ උමඟට පිවිසෙනවාත් සමඟම දැල්වෙන විදුලි පන්දම් සෑම අඩියක් පාසාම ගමන් මං පෙතෙහි භූමිය දෙපස නිරන්තරයෙන් එළිය කළ යුතු ය. මන්ද යත් ඉදිරියට තබන සෑම අඩියක්ම ගිලගැනීමට මුව අයා සිටින අනන්ත වූ ප්‍රපාතයන්ගෙන් රාවණ උමඟ සමන්විත බැවිනි. ගමන් කණ්ඩායම අවම වශයෙන් 4දෙනෙකුවත් සිටීමත් සියළු විදුලි පන්දම් විභව හෝ බැටරි ශක්තියෙන් පරිපූර්ණ වීමත් මෙම ගමන සුභදායකව නිම කිරීමට උපකාර වනු ඇත. කිලෝමීටරයකට ආසන්න වූ මෙම උමං මාර්ගයෙහි අවසානය පිවිසෙනුයේ ඉමක් කොනක් නොපෙනෙන භූගත ගල් ගුහාවකට ය. හූ හඬක දෝංකාරය තත්පර කිහිපයක් යන තුරු ම රඳා පවතින තරම් විශාල වූ මෙම ගල් ගුහාව වවුල්ලුන්ගේත් වැහිලියන්ගේත් රජ දහනකි. එක් පසෙකින් ඇසෙන ජලය බැස යන හඬ සිතෙහි ඇති කරනුයේ ගුප්තීය කුතුහලයකි. දේශගුණික විපර්යාසයන් හමුවේ ඉහල ප්‍රදේශයන්ගෙන් සහ ලෙන් වහලයෙන් කඩා වැටුණු විසල් ගල් කුට්ටි ගුහාව තුල ඇති අතිශය අනතුරුකාරී බව හොඳින් අඟවද්දී එතැන් සිට නිල් දිය පොකුණ දක්වා යායුත්තේ කිනම් දිශාවටදැයි යන්න නම් කිසිසේත්ම සිතා ගත නොහැක. මග පෙන්වන්නාගේ අගය දෙවැනි වතාවටද දැනෙනුයේ එවිට ය.

ගුහාවෙහි ඉදිරියෙන් වන බෑවුම ඔස්සේ ප්‍රපාතයට ගමන් කොට දකුණු දෙසට ගිය තැන්හි හමුවන විසල් ලෙන් මුල්ලෙහි දක්නට ලැබෙනුයේ සැබවින්ම දෙනෙත් අදහා ගත නොහැකි දසුනකි. එය මුළුමනින්ම පාහේ ශේෂ ව ගිය විසල් කාමරයක හැඩ ගති. ඒ හැරුණු කොට කාලාන්තරයක් තිස්සේ ලෙන් වහලයෙන් කාන්දු වන ජලයෙහි අඩංගු ක්ලෝරීන්, කැල්සියම් ඇතුළු නොයෙක් ඛණිජ ද්‍රව්‍ය බන්ධනයෙන් නිර්මාණය වූ ඉතා අලංකාර ප්‍රිස්ම හැඩැති වස්තූන් විශාල ප්‍රමාණයක් එම ස්ථානයෙහි අපූර්වත්වය තව තවත් ඉස්මතු කරනු ලබයි. විදුලි පන්දම් ආලෝකය පරාවර්තනය කරමින් සිත්ගන්නා සුළු අලෝක රටාවන් නිර්මාණය කරන මෙම ප්‍රිස්ම වස්තූන්ගේ උල් පහතට සිටින සේ පිහිටා ඇති අයුරු දෙස තරමක් ඈත සිට බලන්නෙකුට ගුප්තීය මනස්කාන්ත භාවයක් හැඟෙනු නිසැක ය.

එතැන් සිට භූගත ගුහාවෙහි පිවිසුම තෙක් ආපසු පැමිණ එහි වම් පස බෑවුමේ තරමක් මැද්දට වන්නට පිහිටා ඇති පටු මාර්ගය ඔස්සේ නිල් දිය පොකුණට පිවිසීම ආරම්භ කළ යුතු ය. බෑවුම ඔස්සේ ඇති ගල් කුට්ටි මතට පා තබමින් විත් දකුණු පස විසල් ගල් කුළු දෙකකට මැදිව ඇති අරය අඩි 3කට නොවැඩි භූමි මුඛයෙන් ඇතුළුවූ පසු යළිත් හමුවනුයේ ගමන ආරම්භයෙහි පැමිණියා මෙන් වූ විසල් ප්‍රපාතයකින් හෙබි  බෑවුම සහිත පටු මං පෙතකි. එහි වම් පසින් වන ප්‍රපාතය ඉමක් කොනක් නොපෙනෙන තරම් ය. කොයි මොහොතක හෝ බෑවුම ඔස්සේ රූටා යැයි සිතෙමින් අඩියෙන් අඩිය පහලට ඇදුණු අප කෙටි වේලාවකින් නිල් දිය පොකුණට ලඟා වී සිටියෙමු.

පොකුණට බැසීමට ඇති අඩි පාරට මෙපිටින් වූ ගල් කුලක් මත හිඳ ගත් අප අවට පිරික්සීම පසෙකලා විදුලි පන්දම් ආලෝකයෙන් නිල් පැහැ ගැන්වුනු නොසෙල්වෙන දිය දහර දෙස නෙත් නොපියා බලා හිඳින්නට වීමු. සැබවින්ම එය මනස්කාන්ත ය. අප සතු එකම අඩු පාඩුව වූයේ විසල් ආලෝක ප්‍රභවයක් නොමැති වීමයි. මඳ වේලාවකින් දණක් වතුරෙහි බැසි අප අවට පරීක්ෂා කලෙමු. දකුණු පසින් පොකුණෙහි මායිමක් පෙනෙනුයේ අප සිටි තැන සිට අඩි 40කට ආසන්න දුරකිනි. වම් පසින් ද බොහෝ දුරට ඊට සමාන ය. ඉදිරියෙන් වූ ගල් කුල පොකුණත් ලෙන් වහලයත් යා කරන්නක් විය. එය ඉවුරෙහි සිට අඩි 15ක පමණ දුරින් පිහිටූවකි. එලෙසින් වූ ගල් කුලෙහි බිත්ති වම් පසටත් දකුණු පසටත් විහිද යමින් මායිම් බිත්ති යා කරන්නට වුවද පොකුණ මධ්‍යයට වන්නට පිහිටා ඇති මෙම ගල් බැම්මෙන් එපිටට ද පොකුණ පිහිටා ඇති බැව් පොකුණෙහි දකුණු පස පිවිසුමෙහි හිඳ බැලූ විට පෙනිණි.

ඉවුරට ආසන්නයේ  පොකුණු පත්ල මුළුමනින්ම කළු ගල් කුට්ටිවලින් හෙබි වුවද අඳුරින් වැසී ගිය ප්‍රදේශයේ පත්ල ගල් තලාවකින් නිමව ඇති බව නිගමනය කළ හැක. මන්ද යත් එක් තලයක් ලෙසින් ලෙන් වහලෙයෙහි සිට පොකුණෙහි ජල මට්ටම දක්වා පිහිටා ඇති විසල් ගල් පවුර නිසාවෙනි. පොකුණෙහි ජලය තරමක් කැලතූ විට මතුවන ධූලි අංශු රාශියකින් පොකුණ බොර වුවද මඳ වේලාවකින් පෙර වූ සුපැහැදිලි ජල තලය මතු වනුයේ එම ධූලි අංශූන් මුළු මනින්ම පාහේ කළු ගල් ක්ෂයවීමෙන් පතිත වූ බර අංශූන් බව සනාථ කරමිනි. පොකුණෙහි වටපිටාව පිරික්සූ විට දක්නට ලැබෙන තවත් පිවිසුම් මාර්ගයක් ඇති නමුදු එය විසල් ආනතියකින් යුත් එකක් විය. ඒ හැරත් මෙම පොකුණ කාගේ හෝ නිර්මාණයක් බැව් පැවසීමටද ප්‍රමාණවත් සාක්ෂීන් අවට දක්නට නැත. දැනට දක්නට ලැබෙන පිවිසුම් මාර්ගය මෙහි සැබෑ පිවිසුම් මාර්ගය නොවන බැව්ද ඉවුරෙහි සිට බැලූ විට වැටහේ. එනම් පොකුණට පිවිසි විටම පාහේ අඩි කිහිපයකින් ගැඹුර හමුවන බැවිනි.

රාවණ පර්යේෂකයින්ගේ මතය පරිදි නිල් දිය පොකුණ සීතා දේවිය ජල ස්නානය කළ ස්ථානයත් එපිටින් වූ විසල් ගල් ගුහාව රාණ රජු සීතා සඟවා තැබූ ස්ථානයත් වෙයි. එය එසේ පැවසීමට සෘජු සාක්ෂි දැකගන්නට නොමැති වුවද මීට තරමක් සමාන ලොව අනෙක් භූගත ගුහාවන් දෙකක් වන 'නිව් මෙක්සිකොවෙහි ලෙචුගිල්ලා' ගුහාවත් 'චෙකොස්ලෝවැකියාවේ ඩොමිනිකො' ගුහාවත් සමඟ සැසඳීමේදී කරඳගොල්ලේ මෙම ගුහාව අතිශය සුවිශේෂී වේ. මන්ද යත් එම ගුහාවන්හි ඇති ජලයේ දක්නට ලැබෙන අධි සාන්ද්‍ර සල්ෆර් ප්‍රමාණයන් නිල් දිය පොකුණෙහි ජලයේ දක්නට නැත. පානය කිරීමට අතිශයින්ම සුදුසු නිල් දිය පොකුණෙහි ජලය පිටතට ගෙනැවිත් හිරු එළියට යොමු කොට නිරීක්ෂණය කල අප හට දක්නට ලැබුණේ ඒවා මුළු මනින්ම පාහේ දැක්මෙනුත් රසයෙනුත් භූ මතු පිට ජලයට සමාන බැව්ය. එමගින් නිල් දිය පොකුණ භූ ගත උල්පතින් පෝෂණය වන බවට කිසිදු සැකයක් නැත. අනෙක් කාරණය වනුයේ ලෙචුගිල්ලාවෙහි හෝ ඩොමිනිකෝවෙහි පොකුණු පත්ලේ ඇති ඛණිජමය භූමිය වෙනුවට නිල් දිය පොකුණ පත්ලේ දක්නට ඇත්තේ කළු ගල් කුට්ටි වීමත්ය.

එබැවින් මෙම සුවිශේෂී පොකුණත් භූගත ගල් ලෙනත් අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළ යුතු ව ඇත. මන්දයත් එම සුවිශේෂීභාවය හමුවේ හෙළිදරව් වීමට තැත් කරන පෞඪ ඉතිහාස කතාවක් අපට ඉඟි කරන බැවිනි. මේ හේතුවෙන්ම නිල් දිය පොකුණ රාවණ ඉතිහාසයෙහි එක් සන්ධිස්ථානයක් වී හමාරය. ඒ අතරතුර බොහෝ දෙනා නිල් දිය පොකුණ නැරඹීමට එනුයේද රාවණා රජුගේ මොන යම් හෝ පහසක් ලබා ගැනීමේ අරමුණෙන් වීදම එක් හොඳ හෝ නොහොඳ කරුණක් ව ඇත. එය එසේ සිදුවද්දී රාවණ රජුට සබැඳි ලබැඳි යැයි කියා ගනිමින් මෙම ස්ථානයන් තමන්ගේ ජනප්‍රිය භාවය වැඩි දියුණු කර ගැනීමටත් නොබෝ විට ආදයම් මාර්ගය කර ගැනීමටත් තැත්කරන පුද්ගලයින්ද නැතුවා ම නොවේ. එබැවින් බුද්ධිමත් ජනතාවනි, අපගේ හෙළ ඉතිහාසයෙහි සත්‍ය යටගියාවත් ඊට පදනම දැමූ බලි, තරු, රාවණ වැනි රජවරුනගේ ඉතිහාසයනුත් පිරික්සීමේදී විවෘත මනසින් බලනුයේ නම් එය ඉතා පිරිසිදු ඉතිහාස පොතක මුල් පිටුවට පදනමක් වනු නිසැකය.


TIP

Bring light as much as you can.

Address

Amba Estate Road, Karandagolla, Ella

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
5
Ambience Rating
5
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment