No. 71/1/1, Main Street, Kalutara South.
Open until 11:00 PM
හොඳට වායු සමනය කරල තියෙන භෝජනාගාරයේ ඇතුලෙන් බාර් එකේ පිවිසුම තියෙන එක නම් ඒ තරම්ම ගැලපෙන්නෙ නැති වුනත්...
පහුගිය සෙනසුරාදා ගල්කිස්ස වෙරළෙ තිබුණු 'හිපි' පොළ ඉවරවෙලා මම කෙලින්ම ගියේ කළුතර යාළුවෙක්ගෙ ගෙදර. ගල්කිස්සෙන් අම්බලන්ගොඩ බස් එකකට ගොඩ වුන මම කළුතර ටවුන් එකෙන් බහිනකොට වෙලාව රෑ 8ටත් කිට්ටුයි. හොඳටම බඩගිනි වෙලා ඉඳපු නිසා බස් එකෙන් බැහැපු ගමන්ම මම කලේ යාළුවට කෝල් එකක් දීලා බඩ පිරෙන්න කෑම වේලක් කන්න පුළුවන් තැනක් ගැන අහගන්න එක. ඒ ගමන්ම යාළුටත් රෑ කෑමට එන්න කියපු මම කළුතර පොලිසියයි කඩ පේලි ටිකයි පහුකරන් ඉස්සරහට ගියේ යාළුවා කියපු 'Pelican Restaurant' එක හොයාගෙන.
පෙලිකන් අවන්හල තියෙන්නෙ කළුතර පොලිසිය එක්ක පේලියට තියෙන කඩ ටික පහුකරගෙන ඉස්සරහට ගියාම හමුවෙන සාරානන්ද මාවතට හැරෙන තැන තියෙන ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවෙ. එළියෙන් බැලුවාම නම් එතන අවන්හලක් තියෙනවද කියලවත් පේන්නෙ නෑ. පොඩි පඩිලෙකින් තමයි උඩ තට්ටුවට යන්න තියෙන්නෙ. හැබැයි බලන්න එපැයි පඩිපෙළ නැග්ගාම අවන්හලට ඇතුල්වෙන තැන තියෙන හැඩ. එතන නිතරම තියෙන අඳුරු ගතිය හොඳටම ප්‍රයෝජනයට අරන් අඩු එළියක් තියෙන විදුලි බුබුළු දෙක තුනකින් එළිය කරල තියෙන අවන්හලේ පිවිසුම ලස්සන සිමෙන්ති පිළිම දෙකකිනුයි චීන චිත්‍ර ටිකකිනුයිත් තමයි හැඩ කරල තියෙන්නෙ.
හොඳට වායු සමනය කරල තියෙන භෝජනාගාරයේ ඇතුලෙන් බාර් එකේ පිවිසුම තියෙන එක නම් ඒ තරම්ම ගැලපෙන්නෙ නැති වුනත් උස ජනෙල් රෙදි දාලා පසුබිම් බිත්තියත් තරමක් වෙනස් විදියට ලස්සන කරල තියෙන භෝජනාගාරෙ ලොකු අඩු පාඩුවකුත් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන පසුබිම් බිත්තිය හැඩ කරන්න භාවිතා කරපු ලී වෙස් මූණු ටික ගැන. අම්බලන්ගොඩ, වෙස්මූණු වලට ප්‍රසිද්ධම නගරය තියෙන්නෙත් ලඟ පාත නිසා මුළු මනින්ම ත්‍රිමාණව හදපු එක එක පාට පුංචි වෙස්මූණු ටිකක් තමයි වැඩේට අරන් තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි ඒ ඒ වෙස් මූණු කැපිලා පේන විදියට තමයි බිත්තියෙ හැඩ කපලා පාට කරලා තියෙන්නෙත්. හතර දෙනෙක්ට වගේම ලොකු පිරිසකට වුනත් වාඩිවෙන්න පුළුවන් ලොකු ලී මේස පුටු ටික නම් හරිම සැප පහසුයි.
භෝජනාගාරෙ හැඩ බලන අතරෙම කඩිමුඩියෙ එහා මෙහා දුවන සේවක මිත්‍රයෙක් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තු මම මෙනුවක් ඉල්ලගෙන හොඳ කෑම ජාතියක් තෝරන්න පටන් ගත්තා. මොනව තෝර ගන්නද කියල හිතා ගන්න බෑ. දන්න කියන නාසිගුරාන් එකක් ගන්නව කියල හිතාගෙන ඇණවුම් කරන්න යද්දිම තමයි මගේ යාළුව එතනට ආවෙ. ආපු ගමන්ම ඇහුවෙ මම කෑම ඇණවුම් කලාද කියල. වෙලාවට මම නාසි එක ඇණවුම් කරේ නැත්තෙ. පෙලිකන්ලගෙ 'Pelican Special Mixed Fried Rice' එක (රු. 560) හරිම රසයිලු. Small එක දෙන්නෙක්ට කාලා ඉවර කරන්නත් බෑලු. ඉතින් පෙලිකන් ස්පෙෂල් රයිස් එකක් ඇණවුම් කරපු මම බොන්න EGB දෙකකුත් ගේන්න කිව්වා.
අවන්හලෙයි බාර් එකෙයි දෙකේම සෙනඟ නිසා කෑම ඇණවුම් වැඩියිද කොහෙද. අපි ඉල්ලපු පෙලිකන් ස්පෙෂල් එක මේසෙට එන්නත් විනාඩි දහයක් විතර ගියා. හැබැයි ඉතින් කාලෙකට පස්සෙ හමුවුන යාළුවො දෙන්නගෙ කථා බහ නිසා විනාඩි දහය නම් යනව තේරුණේ නෑ. දුම් දදා මේසෙට ආපු රයිස් පිඟාන දැකපු මට කට උත්තර නැතුව ගියා. මේක නම් කොහොමටවත් දෙන්නෙක්ට කාලා ඉවර කරන්න බෑ. හැබැයි රයිස් එකෙන් එන චීන කෑම සුවඳ දැනෙද්දි නම් බැරි වෙන එකකුත් නෑ කියල හිතෙනවා. පිඟාන ලං කරගෙන හැඳි ගෑරුප්පු අතට ගත්තු මට රයිස් පිඟාන වැහෙන්න දාලා තිබුණ ලොකු ඔම්ලට් එක නම් හරිම කරදරයක් වුනා. මෙච්චර ලොකු ඔම්ලට් එකක් රයිස් එකකට එනව මම දැක්කමයි. ඉතින් මම මුලින්ම කලේ ඔම්ලට් එක දෙකට නවල කෑල්ලක් කඩන් කාපු එක.
සුදු මද කහ මද හොඳට මිශ්‍ර කරලා පාට පදම ගැලපෙන්න හීනියට ලියපු කැරට් කෑලියි ළූණු කොළයි දාලා හදපු ඔම්ලට් එක රයිස් එකට නම් කියාපු. හැබැයි තව ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් වැටුන නම් පංකාදු පහයි. ලොකු රයිස් හැඳි දෙකක් විතර පිඟානට බෙදාගත්තාම තමයි මම දැක්කෙ රයිස් එකත් අඩුම කුඩුම අඩුවක් නෑ කියල. තරමක් පොඩි අමු ඉස්සො ගැඹුරු තෙලේ බැදල සුවඳේ බෑ. ඒ විතරක්ද, පොඩියට කපපු තෝර මාළු වලයි කුකුල් මස් වලයි රස. කහ, ඉඟුරු ටිකක් දාලා පදම් කරලා ගැඹුරු තෙලේ රන් වන් පාට වෙනකම් බැදපු කුකුල් මස් කෑල්ලක් හරි මාළු කෑල්ලක් හරි බත් කටට එකතු වුනාම කන්න පුළුවන් බඩ පැලෙනකම්. මදි නොකියන්න කැරට්, ළූණු කොළත් එකතු කරල හදපු කීරි සම්බා හාලේ ෆ්රියිඩ් රයිස් එකේ රස පරාදයි සුවඳට. සාමාන්‍යෙයන් චීන කෑම සැර පදම හදා ගන්න චිලී පේස්ට් එකතු කර ගන්නන වෙනවනෙ. හැබැයි පෙලිකන් එකේ නම් ලංකාවෙ අපිට හුරු පුරුදු සැර පදමට හදලම තමයි රයිස් එක මේසෙට එන්නෙ. වැඩි පුර සැර ඕන නම් චිලී පේස්ට් ටිකක් එකතු කරගන්න පුළුවන්.
කටට සැරට රසම රස ෆ්‍රයිඩ් රයිස් කටවල් එක පේලියට බඩට යද්දි EGB එක නියම කටගැස්මක් වුනා. හායි හූයි කිය කිය රයිස් කෑව මට ඇතියි කියල හිතුණෙ උගුර ලඟටම පිරුණට පස්සෙ. යාළුවත් සෑහෙන්න ප්‍රමාණයක් කාලා තිබුණා. ඒත් රයිස් පිඟානෙන් තුනෙන් එකක් විතර තාම ඉතුරුයි. කාපු තැනම විනාඩි දහයක් විතර ඉඳපු අපි පෙලිකන් අවන්හලෙන් එළියට බහිද්දි රෑ 9ටත් කිට්ටු වෙලා.
තෙල් ගතිය ටිකක් වැඩි වුනත් ලංකාවෙ අපිට හරියන විදියට කටට සැරට චීන කෑම ටිකක් කන්න නම් කළුතර පෙලිකන් අවන් හල කියාපු තැනක්. ගෙවන ගාණට වැඩිය වටින කෑම පිඟානක් පාරිභෝගිකයින්ට පිළිගන්නව මේ අවන්හල පවුලේ පිරිසකට, යුවලකට විතරක් නෙවෙයි හවස් ජාමෙට පොඩි අඩියක් දාන අයටත් නියමෙට ගැලපෙනවා.
Address
No. 71/1/1, Main Street, Kalutara South.
Directions
Pass the Salgadu bakers and keep going about 20m. Pelican will be on your left hand side at the bend of Sarananda mawatha.
Contacts
Report Inaccuracy
Open until 11:00 PM
Cuisine
Chinese Sri Lankan Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Rice Noodles Eggs Meats Seafood Vegetarian Beverages Biriyani Rice And Curry Fried Rice Beef Pork Chicken Fried Chicken Fish Shellfish Cuttlefish Fruit Juice Alcoholic Beer Bites
Ratings Breakdown
The warm reception we received on arriving at Earl's was…
හීනියට ලියල බැදපු…
5/5
shashen ganithage
Rated 5/5