Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Sulthan Palace

45A, C W W Kannangara Mawatha, Colombo 7


Sulthan Palace (formerly Rahumania) is a great spot at the Town Hall hub to get a delicious, cheap range of biriyanis, meats and even Sri Lankanized Chinese.



උණක් හදාගෙන මහ ඉස්පිරිතාලේ නවත්තලා ඉන්න අපේ එකෙක් ව බලන්න ගිහින් එලියට බහිද්දි යන්තමින් දවල් එක පහුවෙලා ඇති. මායි මගේ යාළුවටයි දෙන්නට ම තිබුණේ අලි බඩගින්නක්. ඉතින් ඔන්න දෙන්නත් එක්ක පර්ස් ඇදලා බැලුවා. කෑමට කීයක් දෙන්න පුළුවන්ද කියලා බලන්න. හ්ම්ම්,..යන්තන් තියෙනවා 2000ක්.  

කෑම කඩයක් හොයා හොයා ටවුන් හෝල් ඔඩෙල් එකත් පහු කරගෙන අපි ඉස්සරහට ගියා. කාලෙකට ඉස්සර රහුමනියා විදියට හඳුන්වපු, දැන් සුල්තාන් පැලස් කියලා හඳුන්වන ඉන්දියානු රෙස්ටෝරන්ට් එක අපි දැක්කේ මෙන්න මේ වෙලාවේ.

වාතාවරණය

කිව්වත් වගේ මේක තියෙන්නේ ටවුන් හෝල් එකේ වම් අත පැත්තේ. ඔඩෙල් එක පහුකරගෙන ආවොත් වැඩි ම වුණොත් මීටර් 50ක්, 60ක් වගේ ඇති. පොඩ්ඩක් සැලකිල්ලෙන් සුල්තාන් පැලස් කියන බෝඩ් එක බලාගෙන එන්න වෙනවා. මොකද මේකේ ම කොටසක් විදියටනේ මලර් කැෆේ එක තියෙන්නේ. ඒ නිසා මාරු වෙලා ඒකට යන්නත් පුළුවන් (බොරු කියන්නේ මොකටද, අපිත් තව ඩිංගෙන් යන්නේ ඒකට).

කොහොමින් කොහොමහරි නියම රෙස්ටෝරන්ට් එකට ආවයි කියමුකෝ. මේකේ තට්ටු දෙකයි. යට තට්ටුව ඒසී කරලා නැහැ. ෆෑන් විතරයි තියෙන්නේ. ඒසී එකේ ඉඳගෙන කන්න ඕනේ නම් යන්න උඩ තට්ටුවට. පාර අයිනේ ම වගේ තියෙන නිසාදෝ හෝ පහළ තට්ටුවේ කලබලේ වැඩියි. ගොඩක් කට්ටිය යන එනවත් එක්කනේ. හැබැයි උඩ තට්ටුවේ තියෙන්නේ නිස්කලංක ගතියක්.

කෑම බීම

සුල්තාන් පැලස් එකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ ඉන්දියානු සහ අරාබි රසට හදපු කෑම. ඒ හැරුණා ම, ස්පැගටි, චයිනීස් කෑම වර්ගත් කීපයක් තියෙනවා. බීම විදියට තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස්, මිල්ක්ෂේක්, ලැසී, තේ, සහ කෝපි වර්ග.

අපි ස්ටාටර් එක විදියට ගත්තේ “චිකන් 65” (රු.360) එකක්. මේ චිකන් 65 කියන්නේ චෙන්නායි නගරේ උපත ලබපු කෑමක්නේ. ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, ඉඟුරු, සුදුලූණු වගේ කුළුබඩු ජාති කීපයක් එකට එකතු කරලා මිශ්‍රණයක් දවටලා තමයි මේක හැදෙන්නේ. ආසිෆ් බිරියානි එකේ තරම් නැතත්, සුල්තාන් පැලස් එකේ අපි කාපු චිකන් 65 එකේ  සෑහෙන්න හොඳ රසක් තිබුණා. කරස් ගාලා හැපෙන්නේ. දවටනයේ රස චිකන් එක ඇතුළටත් බැහැලා නිසා මරු. මතක ඇතුව මේකත් එක්ක එන දෙහි බෑය මිරිකලා, රටලූණු කෑල්ලකුත් එක්ක කන්න හොඳද. එතකොට තමයි නියම ගතියට රස එන්නේ.

ඊළඟට අපි ගත්තේ “චීස් නාන්” (රු.140) එකකුයි, “බටර් නාන්” එකකුයි (රු.70). ඒ එක්ක ම මේවා කන්න “බටර් චිකන්” (රු.360) එකකුත් ඕඩර් කළා.

චීස් නාන් එක මරු. වටේ දාරෙන් කරස් සද්දෙට හැපෙන තරමට බැදිලා. මැද්දෙන් තමයි චීස් රස එන්නේ. බටර් නාන් එකේ නම් කියන්න තරම් විශේෂ රසක් නැහැ. හැබැයි උණු උණුවේ ම මේසෙට ආව නිසා කාගෙන යන්න පුළුවන්.

අපි ගත්ත බටර් චිකන් එක, නාන් එක්ක කන්න තකට තක. තද ගඩොල් රතු පාටට දිලිසෙන මේ බටර් චිකන් කරිය ඇත්තට ම පට්ට රසයි. සුපිරි මසාලා රසක් මේකේ තිබුණා. හොද්දත් නියම ගාණට උකුයි. ලොකු චිකන් කෑලි පහ හයක් ම දාලා. අඩුවැඩි නොවෙන තරමට කුළුබඩුත් හොඳ පදමට. අපි නාන් ටික විතරක් නෙවෙයි, අර ඕඩර් කරපු බිරියානි එකටත් වගකිව්වේ මේ හොද්දත් එක්ක. කිව්වට විශ්වාස කරන්න මහත්තයෝ මේක තුන්දෙනෙක්ට වගකියන්න තරමට ඇති.

ඉන්දියානු රස තියෙන මෙහෙව් රෙස්ටෝරන්ට් එකකට ඇවිදින් බිරියානි එකක් නොගත්තොත් ඒ ගමනත් අසම්පූර්ණයිනේ. ඒ නිසා අපි “ප්‍රෝන් බිරියානි” (රු.430) එකක් ගත්තා. දෙන්නෙක්ට ෂේප් එකේ ඇති. මොකද බත් තොගයක් තිබුණනේ. හොඳට කන කෙනෙක්ට නම් මේ මුළු බත් හට්ටිය ම ඕනේ වෙයි. තඩි ඉස්සෝ පස් හය දෙනෙක් මේකේ ගිලිලා හිටියා. කහ පාටට තිබුණු මේ බිරියානි බත ගානට තැම්බිලා. හොඳ ගිතෙල් රසක් මේකෙන් ආවා. ෂහ්!බටර් චිකන් එකේ හොද්දත් එක්ක මුසු වුණා ම ඉතින් කන්නද බැරි?

බීම විදියට අපි ගත්තේ ස්වීට් ලැසී (රු.160) එකක්. මේකත් මරු. හොඳ යෝගට් රසක් වගේ ම, මීකිරි රසකුත් ආවා. අපේ මහන්සිය කොහේ ගියාද දන්නේ නැහැ. රස්නේ දවසට නියම බෙහෙත.

මෙච්චරත් රස කෑම වේලක් කාපු එකේ, ඩෙසට් එකක් නොකා ගියොත් හරි නෑනේ. ඒ නිසා ම අපි කැරමල් පුඩිමක් (රු.120) එකක් ඕඩර් කළා. මෙන්න මෙතැනදී තමයි අපේ ඔළුව පොඩ්ඩක් අවුල් වුණේ. මොකද මේක පෙනුමෙන්වත් කැරමල් පුඩිමක් වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් මේ කැරමල් පුඩින් තියෙන්නේ කැරමල්වල බස්සලානේ. මේකේ ඒවා මුකුත් නැහැ. පාටත් ලා කහ පාටයි. නියම වැඩේ කියන්නේ මේකේ තිබුණේ වටලප්පන් රස. කොටින් ම කිව්වොත් අර බිත්තර එහෙම හොඳට දාලා හදන ඔරිජිනල් වටලප්පන්වල රස තමයි මේ පුඩිමේ තිබුණේ. සරලව ම ගත්තොත් මේක කහ පාට වටලප්පමක්!

කැරමල් පුඩින් කන්න දත කට මැදගෙන ඉඳපු අපට මේ වෙච්ච දේ ගැන නම් සෑහෙන්න දුකයි. ඒ වෙනුවට මේකේ වටලප්පන් කියලා ලේබලේ ගහලා තිබුණා නම් පොඩ්ඩක් හරි හිත හදාගන්න තිබුණා.

සර්විස් එක

ලොකු ඕඩරයක් දුන්නත්, වරද්දන්නෙ නැතුව ඒවා ටික ගානට නූලට මේසෙට එවන්න සුල්තාන් පැලස් එකේ උදවියට පුළුවන්. ලොකු සුහදශීලී බවක් ඒ හැමොගෙන් ම පේන්න නැතත්, පටපට ගාලා කෑම බීම ටික පිළිගැන්වුණා. අපේ කෑම ටික මේසෙට එන්න ගියේ විනාඩි 15ක් වගේ කාලයක්.

අවසාන වශයෙන්

අපේ මුළු බිල ආවේ රුපියල් 1832ක්. ඒ ඒසී එකේ ඉඳපු එකට ගෙවපු රුපියල් 192ත් එක්කයි. හැබැයි දෙන්නත් එක්ක මදි නොකියන්න කෑවා. සුල්තාන් පැලස් එකේ තියෙන විශේෂත්වය ඒකයි. එයාලගේ කෑම පෝෂන් සෑහෙන්න ලොකුයි. ගෙවන ගානට උපරිම වටිනාකම මේ කෑමවලින් ලැබෙනවා. පෝෂන් සයිස් එක විතරක් නෙවෙයි කෑමවල රසත් හොඳයිනේ. අතේ ලොකු ගාණක් නැති වුණත්, හොඳට බඩ පුරවගන්න යන්න පුළුවන් තැනක් තමයි මේක.


TIP

Although all of their dishes are full of promise, ask what their specials are. They pay great attention to a few dishes that are mind-blowing. Try not to walk out of there without a slice of muscat.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

45A, C W W Kannangara Mawatha, Colombo 7

Directions

It's almost opposite the Dewatagaha Mosque.

Contacts

Report Inaccuracy
Similar Places

User Reviews
See 19 Comments