Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Sasha Food Court

584, Colombo road, Kurana


A one-stop shop on the way to/from airport or to your getaway.



උදේ හයට ඇහැරවල එක්කගෙන ගියානේ... මට නේද, හරිම ආදරේ හිතිල තිබ්බෙ අපේ දිනේශයට. ඒකත් අවුලක් නෑ යන ටිකේවත් පොඩි පන් එකක් තිබ්බ නම්. එහෙමත් නෑනෙ!

“නිගොම්බෙ වීඩියෝ මචං. නිගොම්බෙ වීඩියෝ” කිය කිය ගියේ ඔය. අන්තිමට නිගොම්බොවලට යද්දි අම්බානක වහිනව. වීඩියෝ නෙවෙයි තව පොඩ්ඩෙන් රේඩියෝ වෙන්නෙ.

කොහොමහරි අර ඩ්‍රයිවර් අයියගෙ පිහිටෙන් දෙයියනේ කියල උදේට කෑම ටිකක් බඩට දාගත්තෙ. ඒකත් මීගමුව ටවුන් එකට ඔන්න මෙන්න තියල…

“මෙතන නියම ප්ලේස් එක මල්ලි. සුද්දො එහෙමත් ගොඩක් බහින්නෙ මෙතනට තමයි” අත තියල දිවුරුවෙ නැති එක විතරයි අයිය. එහෙම කියද්දි ඉතින් අපිට පුළුවනයැ බැහැල ගිහින් නොබල ඉන්න. සනිකව බැස්ස තුන් හතරදෙනා වාහනෙන්, කොටින්ම කියතොත් පාර්ක් කරන්නත් කලින්. බැහැල අඩියයි දෙකයි තියන්න හම්බවුණේ... ‘අයියගෙ කටේ මසුරන් දාන්න එපැයි’ මේ ඉන්නෙ කිරි කජු වගේ සුද්දො පෝලිමක් ම.

මම ඉතින් කොයි වෙලෙත් අනිත් අයට ඉඩ දෙන මනුස්සය නිසා, ගත්ත පෝලිමේ පිටිපස්ස ම. අරගෙන ඔන්න ඉස්සරහට යනව ඈ... මුලින්ම ඕඩරේ දාපු සෙනුරි ගත්තෙ කිරි මාළු රයිස් ඇන්ඩ් කරි (රු. 240) එකක්. ඊට පස්සෙ දිනේශ් ගත්ත තෝසෙ (එකක් රු. 120). ඔය අතරට චන්දනත් කල්පනා කරල, කල්පනා කරල බිත්තර රොටියි (එකක් රු. 60) කිරි මාළුයි (රු. 210) ගත්ත. මම ඉතින් දන්නැද්ද, වැඩේ යනව විදිය හොඳට බලලා... දුන්න කෙළින්ම ෂොට් එක ඉඳිආප්පයි, පරිප්පුයි, පොල්සම්බෝලයි, මිරිස් මාළුයි (රු. 320).

ෂෝක් නේ?

ඇත්තම කියනව නම් එතන ඉඳිආප්ප 20ක් තිබිල. හැබැයි බැලූ බැල්මට නම් 10ක් වගේ. මොකද ඒ කරිවල රසත් එක්ක කටට දෙකට ඒ ටික ඉවර වුණානෙ. සුපිරි ම හාල් පිටි ඉඳිආප්ප හොඳේ. ඒ නිසා ම වෙන්න ඕන ඝනකමත් ටිකක් අඩු. හැබැයි ඉතින් රස අතින් නම් පංකාදු පහයි. ඊටත් බලන්න එපැයි පරිප්පු කරිය එහෙම. ෂැහ්! හොඳ හැටි කිරි, අමුමිරිස්, රම්පෙ කරපිංච, තුනපහ ටික ගලපල, ළාවට හින්දලත් එක්ක. හිතන්නකො ඒ වගේ පරිප්පුවක් එක්ක මීගමු මිරිස් මාළු කරියක් සෙට් වුණාම. රස නහර විතරක් නෙවෙයි තොලකටත් එක්ක පිනා යන්නෙ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මිරිස් මාළු නම් අන්න මිරිස් මාළු. ආයෙ අල්ලෙන් බාගයක් ඇති කෙළවල්ලන් කෑල්ල, මිරිස් තුනපහ, ලුණු ඇඹුල් ටිකත් අල්ලල තියෙනව ටොප් එකට ම. ඒ විතරක් නම් බැරියැ, හොද්දත් සුපිරිම ආයෙ. හැබැයි කඳුළු පනිනව, හරියට කෑවොත්. ඒ තරම් සැර!

ම්ම්... පොල් සම්බෝලෙ නම් සාමාන්‍යයයි. මිරිස් ටිකක් අඩුවෙන් දාලා, අමු මිරිස්, තක්කාලිත් එක්ක... වැඩේ තියෙන්නෙ උම්බලකඩ පොඩ්ඩක් හරිහැටි වැටිල නැති එක තමයි. ඒත් බලන්න එපැයි කිරි මාළු එකත් එක්ක බිත්තර රොටි ගැළපිලා තිබ්බ විදිය.

චන්දන මරේ කියල දෙසා බාද්දි මට හිතුණ ඒකෙ මොකක්හරි සිද්ධියක් තියෙනව කියල. ඒ නිසාමයි අත දාලා කෑල්ලක් දෙකක් ගත්තෙ. හප්පේ... පොල්කිරි, රම්පෙ කරපිංච, අමු තුනපහ, ගම්මිරිස් පදම සෙට්වෙලා... කෙළවල්ලන් කෑල්ලත් නියමෙටම පදම් වෙලා... උණු උණු බිත්තර රොටියත් එක්ක ගැළපිලා බඩට බහිද්දි යාළු... ගිලින්නමයි හිතෙන්නෙ ඉතින් වටපිට නොබලා!

ඔය අතරෙ මට හිතුණ දිනේශ්ගෙ තෝසෙ එකෙනුත් කෑල්ලක් කාලා බලන්න. එහෙමයි කියල ඉතින් ඉල්ල ඉල්ල හිටියෙ නෑ. දැම්ම අත, ගත්ත බාගයක් මගේ පිඟානට. අරගෙන සාම්බාරු, සම්බල් ටිකකුත් දාගෙන…

ම්... නරකම නෑ හොඳේ. හැබැයි අර සයිවර් ගතියෙන් පොඩ්ඩක් පිට පැනල. සිංහල පැත්තට ටිකක් බර වෙච්ච තෝස, සාම්බාරු එකක් තමයි. සාමාන්‍යයෙන් ඔය අපේ ගෙවල්වල හැදෙන්නෙ. මගෙ හිතේ උලුඳු, මසාලාවල පදම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා වෙන්න ඕන.

වැඩේ වුණේ, ඔක්කොමත් හරි සෙනුරිගෙ බත් එකෙන් කටක් කෑවාමනෙ. සත්තයි, එවෙල හිතුණ මටත් බත් එකක්ම ගන්න තිබ්බ කියල. ඒ තරම් රස යාළු. රතු බතුයි, කිරි මාළුයි, කඩල කරියයි, පරිප්පුයි, බණ්ඩක්කා තෙල් දාලයි. ආයෙ ඉතින් කියන්න ඕන නෑනෙ. කඩල කරිය එහෙම… පිස්සු හැදෙනව ඈ. මිරිස්, තුනපහ දාලා හදල, කිරෙන් හින්දල. වැඩිය ඕන නෑ, ඒකම ඇති බත් ටික කන්න. ඊටත් බණ්ඩක්ක තෙල් දැමුමත් ටොප් හොඳ්. අර ටිකක් කරවෙන ගානට වගේ අරගෙන, ලූණු රම්පෙ කරපිංච එක්ක තෙලට දාලා. හිතන්නකො ඒ අතරට අර පොල් සම්බෝලෙයි, පරිප්පුවයි, කිරි මාළුයි සෙට් වුණාම?

කාලා කාලා අන්තිමට සෙනුරි නිකම් කිඹුල වගේ.

කිව්වට ඉතින්, අපිත් එම ම තමයි. හැබැයි ටී එකක් ගහල ෂේප් කරගත්ත!

ඕං… නිගොම්බො.


TIP

Go for the naans!

Similar Places

User Reviews
M
1

2/5

0

madavi17

The worst service ever. Went for a snack in the evening with family there was nothing at all. So disappointing when compared to the other branches of Sasha which are great.

M
1

2/5

0

madavi17

The worst service ever. Went for a snack in the evening with family there was nothing at all. So disappointing when compared to the other branches of Sasha which are great.

See 1 Comment