Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Senkada Salaka Restaurant

466, Union Place, Colombo 2


සුහදශීලි සේවක මඩුල්ලක් ඉන්න නිසා වෙලාව නාස්ති කරගන්නෙ නැතුව රස කෑම වේලක් කන්න නම් පුරහල සෙන්කඩ සලාකා අවන්හල හොඳ තැනක් කියලා කියන්න පුළුවන්.



කොළඹ නගරය ඇතුලෙ එක එක හංදිවල තියෙන ප‍්‍රසිද්ධ අවන්හල් හොයාගෙන යන මට ඊයේ පුරහල (Town Hall) ගිය වෙලාවේ ඒ හරියේ තියෙන අවන්හලකට ගොඩ වෙන්න හිතුණා. පාර තොටේ ඉඳපු අයගෙන් අහල බැලුවාම දැන ගන්න ලැබුණෙ කොල්වින් ආර් ද සිල්වා පාරට හැරෙද්දිම තියෙන සෙංකඩ සලාකා අවහන්හල තමයි මේ පැත්තෙ ප‍්‍රසිද්ධ කියලා.

වාතාවරණය

කොළඹ නගරයේ කාර්යය බහුල පාරක් ඉස්සරහ තියෙන මේ අවන්හලේ වාහන නවත්වන අංගය නම් තියෙන්නේ අවන්හලේ පිටි පස්සට වෙන්න. පුරහල හංදියෙන් කොල්වින් ආර් ද සිල්වා පාර පැත්තට හැරෙන්නේ නැතුව කෙලින්ම පුරහල පැත්තට මීටර් 50ක් විතර යන කොට දකුණු අත පැත්තෙ ඉස්සෙල්ම හමුවෙන පොඩි පාරෙන් තමයි වාහන නවත්වන අංගනයට යන්න තියෙන්නේ. එතැන වාහන නවත්වන අයට අවන්හලට ඇතුල් වෙන්න පිටුපස පැත්තෙන් වෙනම දොරකුත් තියෙනවා. ඉස්සරහ ලොකු පුවරුවක රතු පාටයි කහ පාටයි අකුරු වලින් SENKADA SALAKA කියලා ගහල තියෙන නිසා මේ අවන්හල ඈතට අඳුන ගන්න නම් හරිම ලේසියි.

අවන්හලට ඇතුල්වෙන්න තියෙන පොඩි පඩි පෙල නැගලා යාලුවයි මමයි ඇතුලට යනකොට දවල් කෑම කන්න ආපු අය තිහක් තිස් පහක් විතර භෝජනාගාරය ඇතුලේ හිටියා. ඇතුල්වෙන දොර ළඟම පොඩි ඉඩක් වෙන්කරලා පාරිභෝගිකයන්ට පේන්නම තමයි මෙයාලා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ආප්ප වගේ කෑම වර්ග හදන්නේ. ඊට ටිකක් පැත්තට වෙන්න වීදුරු වලින් වෙන් කරපු තවත් කොටසක මැටි වළං වල දාපු බත් සහ ව්‍යංජනත් ඇල්මිනියම් භාජන වල දාපු නාසිගුරාන්, බිරියානි, නූඩ්ල්ස් වගේ කෑම වර්ගත් හොයලා බලලා තෝරගන්න පුළුවන් වෙන්න පිළිවෙලට තියලා තියෙනවා. විදුලි පංකා හය හතක්ම දාලා වායු සමනය කරලා තිබුණ අවන්හලේ ඇතුල සැරසිලි දාලා ගොඩක් ලස්සන කරලා නැති වුණාට හරිම පිරිසිදුයි.

ආහාර සහ සේවාව

ඔන්න ඉතින් යාළුවයි මමයි මේසෙක වාඩි වෙන්න හදන කොටම වගේ භෝජනාගාර සේවකයෙක් ඇවිල්ලා අපේ අතට මෙනුවකුත් දීලා මොනවද සර් ගේන්නේ කියලා ඇහුවා. මෙනුව පෙරලලා බලපු මම බැදපු කුකුල් මස් චීස් කොත්තුවක් (රු.300) ඇණවුම් කළා. යාළුවා නම් මුහුදු ආහාර මොංගෝලියන් (රු.400) එකක් තමයි ඇණවුම් කළේ. කෑම කන ගමන්ම බොන්න දෙහි යුෂ (රු.150) එකකුයි මිශ‍්‍ර පළතුරු යුෂ (රු.180) එකකුයිත් අපි ඒ එක්කම ගේන්න කිව්වා.

සලාකා අවන්හලේ භෝජගානාගාරය නම් ටිකක් ලොකුයි වගේ. මොකද කියනවනම් හතර දෙනෙක් වාඩි වෙන්න පුළුවන් මේස විස්සකට වැඩිය භෝජනාගාරය ඇතුලේ දාලා තිබුණා. විනාඩි දහයක් විතර යනකොට සේවක මිත‍්‍රයා අපි ඉල්ලපු කොත්තුවයි මොංගෝලියන් එකයි මේසෙට ගෙනාවා. හෙමිහිට කොත්තු පිඟාන ළං කරගත්ත මම චිලී පේස්ට් ටිකකුත් උඩින් දාගෙන රස බලන්න පටන් ගත්තා. කන්න ආස හිතෙන හොඳ සුවඳක් එන කුකුල් මස්, චීස් කොත්තුව මගේ බඩගින්න දෙගුණ තෙගුණ කරලා තිබුණා. කොත්තුවක තියෙන්න ඕන සැර ගතිය නම් සලාකා කුකුල් මස් කොත්තුවේ හොඳටම තියෙනවා. ළූණු, ලීක්ස්, කැරට් වගේම ලොකු බැදපු කුකුල් මස් කෑලි තුන හතරකුත් දාලා හදලා තිබුණ මේ කොත්තුවේ රොටී වල ඇලෙන ගතිය නම් ගොඩක් අඩුයි. කටවල් දෙක තුනක් කන කොට තමයි මට මතක් වුනේ මම ඉල්ලුවෙ චීස් කොත්තුවක් කියලා. වැඩේ කියෙන්නේ මට ගෙනාපු කොත්තුවෙ නම් චීස් පොඩ්ඩක්වත් ගෑවිලා තිබුණෙ නෑ. කොහොම හරි කොත්තුවෙ තිබුණ නියම රස නිසා කටවල් හත අටක් කාලා මම ඒක පැත්තකට කළා.

ඒක දැකපු යාළුවා එයාගේ මොංගෝලියන් එකෙන් කටක් දෙකක් කන්න කියලා මට කිව්වා. ඉතින් හැන්ද අතට ගත්ත මම මොංගෝලියන් ටිකක් මගේ පිඟානට දාගෙන හිමිහිට රස බලන්න පටන් ගත්තා. ඒක නම් පට්ට. මොංගෝලියන් වලට ආවේණික කුළු බඩු රස හොඳට දැනෙන්නත් කුකුල් මස්, ඉස්සෝ, දැල්ලෝ වගේම ළූණු කොළ, කැරට් වගේ එළවළුත් දාලා තමයි මේ මොන්ගොලියන් එක හදලා තිබුණේ. ඇත්තටම සලාකා අවන්හලේ මොංගෝලියන් එක නම් හිතේ සන්තෝසෙන් කන්න පුළුවන් කෑම එකක් කියලා මට කියන්න පුළුවන්.

බඩ පැලෙන්න කන්න තරම් කෑම ටික හිතට ඇල්ලුවෙ නැති නිසා මමයි යාළුවයි මෙසේට ඇවිල්ලා තිබුණ දෙහි යුෂ එකෙයි මිශ‍්‍ර පළතුරු යුෂ එකෙයි රස බලන්න පටන් ගත්තා. දෙහි යුෂ එක නම් දෙහි ගෙඩි දෙක තුනක් විතර දාලා නියම දෙහි රස දැනෙන වෙන විදියට තමයි හදලා තිබුණේ. ඒත් ඒකෙ තිබුණ පැණි රස ගතිය මට නම් ටිකක් වැඩියි. මිශ‍්‍ර පළතුරු යුෂ එකෙත් සීනි ගතිය ටිකක් වැඩි වුණාට නියමෙට දැනෙන අඹ රසයි අන්නාසි රසයි මැද්දෙන් එන ඇපල් රස නිසා යාළුවා පට පට ගාලා බීම එකට වැඩේ දුන්නා.

දවල් කෑම වේල ගැන එච්චර සතුටු නැති නිසා පළතුරු යුෂ වලින් බඩ පුරව ගන්න හිතපු මම භෝජනාගාර සේවකයාට කියලා කොමඩු යුෂ (රු.150) එකකුත් ගෙන්න ගත්තා. විනාඩි පහකින් විතර මේසෙට ආපු කොමඩු යුෂ එකේ කොමඩු වලට ආවේණික පැණි රස නම් හොඳටම දැනෙනවා. ටිකක් ඝනව හදලා තිබුණ කොමඩු යුෂ එක උගුරට දෙකට බීලා දාපු මම බිල ගෙවන්න කලින් විනාඩියක් දෙකක් අවන්හල් සේවකයා එක්ක කතා කලා. එතකොට තමයි මම දැන ගත්තේ සලාකා අවන්හලේ උඩ තට්ටුවෙ දවල් කෑමට බුෆේ ක‍්‍රමයට දාපු බත් සහ ව්‍යංජනත් පළතුරු සලාද, වටලප්පම්, යෝගට් වගේ අතුරුපසත් තියෙනවා කියලා.

අනුමිතිය

දවල්ට කන ගමන් තමන්ට අවශ්‍ය කාර්යාලීය වැඩ ඒ කියෙන්නේ ෆොටෝ කොපි, ෆැක්ස් වගේ දේවල් කරගන්නත් කාර්යාලීය උපකරණ මිලදී ගන්නත් මේ අවන්හල ඇතුලේ තියෙන පුංචි පහේ සාප්පු ටික නම් අනිවාර්යයෙන්ම උදව් වෙනවා. සුහදශීලි සේවක මඩුල්ලක් ඉන්න නිසා වෙලාව නාස්ති කරගන්නෙ නැතුව රස කෑම වේලක් කන්න නම් පුරහල සෙන්කඩ සලාකා අවන්හල හොඳ තැනක් කියලා කියන්න පුළුවන්.

 


TIP

Try the Mixed Mongolian

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

466, Union Place, Colombo 2

Directions

Turn right into Union Place from Lipton Circus (near Town Hall). It's almost right at the start, on your left. Parking is available but super limited.

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment