3/5

The Fab (Moratuwa)

No. 635, Galle Road, Rawathawaththa, Moratuwa


යන එන ගමන් ගොඩවෙලා නිදහසේ කතා බහක යෙදෙන අතරෙ රසම රස ක්ෂණික ආහාර වේලක් රස බලන්න නම් මොරටුව ෆැබ් එක අපූරු තැනක්.



ගෙදරින් ගෙනාපු බත් එක දවල් 12ට විතර කාපු නිසා හවස හතර පහ වෙද්දි මට ආයෙත් පුංචි බඩගින්නක් දැණුනා. මොරටුව පැත්තෙ ඉන්න යාළුවෙකුත් හමුවෙන්න පුංචි වුවමනාවක් තිබුණ නිසා මම හිතුවා ඒ පැත්තටම ගිහින් පුංචි වෙනසකටත් එක්ක මොනව හරි අතුරු ආහාර ටිකක් බඩට දාගන්න. ඉතින් මම YAMU කාර්යාලය ඉස්සරහින්ම බස් එකට ගොඩ වුනේ මොරටුවට යන්න. දවස පුරාම වැටෙන වැස්ස නිසා පාරේ වාහන තදබදයත් වැඩියි. කොහොම හරි බම්බලපිටියේ ඉඳන් මොරටුවට යන්න මට විනාඩි 45ක් විතර ගියා.

මම මොරටුව, රාවතාවත්තෙ වේල්ස් කුමාර ඉස්කෝලෙ ඉස්සරහින් බහින කොට යාළුවත් එතැනට ඇවිල්ලා. ඒ වෙනකොටත් වැටි වැටි තිබුණ පුංචි වැහි පොද නිසා අපි දෙන්න ඉක්මණට එතැන තිබුණ ෆැබ් එකට ගොඩවුණා. ‘‘එපා වෙනව නේ බං දවසම වහින කොට. ඉතිං මොනව හරි කන ගමන්ම කයියක් දාමු’’ මම යාළුවගෙන් ඇහුවා. ‘‘හ්ම්... ඒක හොඳයි මමත් වැස්ස නිසා පොඩි බඩගින්නක හිටියේ’’ යාළුවා උත්තර දෙන ගමන්ම කොටස් වලට බෙදලා තිබුණ දිග ෂෝ කේස් එකේ අතුරු ආහාර තියෙන තැනට ඇහැ යැව්වා.

වාතාවරණය

මොරටුව ෆැබ් එක ගොඩක් ලොකු නැති වුණාට එක පාර වාහන තුන හතරක් නවත්වන්න පුළුවන් අංගනයයි ලස්සන මල් පිපෙන වැල් වර්ගයක් යවලා හදලා තියෙන තාප්පෙයි නිසා අමුතු ලස්සනක් තියෙනවා. ඉස්සරහ වීදුරු බිත්ති දාලා හදලා තියෙන ෆැබ් එකේ ඇතුල, හතර දෙනෙකුට විතර වාඩිවෙන්න පුළුවන් නව පන්නයේ හැඩ තියෙන මේස තුනක් තියලා හරිම පිළිවෙලයි. ඒ විතරක් නෙවෙයි, දකුණු පැත්තේ ටිකක් අයිනට වෙන්න මැද්දෙන් ස්ටූල් එකක් තියලා වටේට ලොකු කුෂන් පුටු හතරක් දාලා තියෙන තැන නම් ව්‍යාපාරිකයින් පිරිසකට එයාලගේ වැඩ කටයුතු කතා කරන ගමන් පොඩි ක්ෂණික ආහාරයකුත් රස විඳින්න නියම තැනක්. බිත්තිවලත් එක එක හැඩ තල කපලා, ලස්සන වීදුරු බඳුන් තියලා හැඩ කරපු ෆැබ් එකේ භෝජනාගාරයේ ලී වලින් හදපු සිවිලිමට නම් මම හරිම කැමතියි. විශේෂයෙන්ම කියන්න ඕනෙ යාළුවනේ ෆැබ් එකේ භෝජනාගාරය විතරක් නෙමෙයි වැසිකිලයත් පිරිසිදුකමෙන් නම් උපරිමයි.

ආහාර සහ සේවාව

මම ඉතිං වට පිට බල බල ඉන්න අතරේ යාළුවා එයාට ඕන කෑම ටික තෝර ගෙන තිබුණා. දිග ෂෝ කේස් එකේ කෙලවරෙන් පටන්ගත්තාම ලොකු කේක්, කේක් කෑලි, වෙනත් අතුරු පස, ක්ෂණික ආහාර වගේම, රස කැවිලි වර්ගත් වෙන වෙනමම තියලා තියෙනවා. ඊට පිටිපස්සෙන් පළතුරු යුෂ, අයිස් කෝපි වගේ බීම තියෙන ශීතකරණයකුත් තියලා තියෙනේනේ ඕනම කෙනෙකුට තෝරලා බලලා ගන්න ලේසි වෙන්න. යාළුවාට ඕන කියපු කි‍්‍රස්පි කුකුල් මස් බිත්තර රෝල් (රු. 80), මාළු පෆ් (රු. 70), කොත්තමල්ලි මාළු පේ‍ස්ට්‍රි (රු. 70) වගේම බොන්න ගත්ත අයිස් කෝපි (රු. 80) වලින්ම මමත් එක ගාණේ ඇණවුම් කළා. ඇණවුම් කරපු කෑම එවලේම ලැබෙන නිසා අපි කෑම ටිකක් අරගෙන පැත්තකට වෙන්න තිබුණ මේසෙකට ගිහින් වාඩි වුණා.

අපි දෙන්නගේ පෞද්ගලික කතා බහ අතරේ මුලින්ම රස බැලුවෙ කි‍්‍රස්පි කුකුල් මස් බිත්තර රෝල් දෙක. කන්න ආස හිතෙන ලා දුඹුරු පාටක් තියෙන මේ රෝල් එකේ වටේ තියෙන ඇතිරුම නම් කර කර ගාලා හොඳට හැපෙනවා. මැද්දෙ පිරවුම චීස්, කුකුල් මස් සහ ගී‍්‍රන් පීස් දාලා තමයි හදලා තිබුණෙ. හොඳ පදමට බේක් වෙලා තිබුණ මේ රෝල් එකේ නියම චීස් රස වගේම කුකුල් මස් රසත් නියමෙටම එනවා. ඒ විතරක් නෙවෙයි, සෝස් ටිකක් ගා ගත්තාම පදමට ගැලපෙන පුංචි සැර ගතියත් එක්ක කරස් ගාලා රෝල් කෑල්ලක් හැපෙන කොට දැනෙන රස නම් උපරිමයි.

ඒ අතරේ ඉතිං මම අයිස් කෝපි උගුරකුත් බීලා බැලුවා. ‘‘ෂහ්... හරිම රසයි’’ ෆැබ් එකේ අයිස් කෝපි එක ගැන නම් කියන්න කිසිම අඩුවක් නෑ. කිරි රස මැද්දෙන් හොඳ සීතල ගතියක් එක්ක එන කෝපි රසත් කෝපි රසට ආවේණික පුංචි තිත්ත ගතියත් නියමෙට ගැලපිලා තිබුණා.

රෝල් එක කාලා ඉවර කරපු අපි කොත්තමල්ලි මාළු පේ‍ස්ට්‍රිය රස බලන්න පටන් ගත්තා. පේ‍ස්ට්‍රි වලට ආවේණික පිටත ඇතිරුම පදමට බේක් වෙලා තිබුණට පොතු ගැලවෙන ගතිය නම් ටිකක් අඩුයි. හැබැයි ඒකේ උඩ පැත්තෙ තිබුණ ඉරි ඉරි හැඩය නිසා කන්න ආස හිතෙනවා. ඇතුලේ තිබුණ මාළු කොත්තමල්ලි මිශ‍්‍රණය අපිට හුරු පුරුදු කුළු බඩු රස වගේම සැර ගතියත් හොඳමට එන්න හදලා තිබුණ නිසා මම නම් මේ පේ‍්‍රස්ටි එක කටට දෙකට කාලා ඉවර කලා.

මාළු පෆ් එකේ නම් පේ‍ස්ට්‍රි වලට ආවේණික පොතු ගැලවෙන ගතිය අඩුවක් නැතිව තිබුණා. හැබැයි ඒක මැද්දෙ තිබුණ මාළු, ළූණු, ගී‍්‍රන් පීස් සහ අල එකතු කරලා හදපු පිරවුමට නම් මගේ ලොකු කැමැත්තක් නෑ. මොකද අපි හැමදාම කන මාළු පාන් වල මැද්දේ තියෙන පිරවුමේ රසට සමාන රසක් තමයි ඒකෙත් තිබුණෙ. ඊට පස්සේ පොඩි අතුරු පසකුත් රස බලන්න හිතපු අපි ඩබල් චොක්ලට් චිප් මෆින් (1ක් රු. 140) දෙකකුයි පළතුරු ටාර්ට් (1ක් රු. 140) දෙකකුයි ගත්තා.

මෆින් වලට ආවේණික තරමක් ඝන උඩ චොක්ලට් ඇතිරුමයි ඇතුලත මෘදු කේක් එකයි දැක්කාම නම් මගේ කටට කෙළත් උණනවා. වැඩි වෙලාවක් නම් ඒක දිහා බලන් බෑ. මම මෆින් කෑල්ලක් කඩාගෙන රස බැලුවා. චොක්ලට් රසයෙන් අනූන පිටත ඇතිරුමට යටින් තිබුණ මෘදු කේක් එක මැද්දට පුංචි චොක්ලට් කෑලි ගොඩක් එකතු කරලා. ම්... මට නම් තව මෆින් එකක් කන්න පුළුවන්. චොක්ලට් රසෙන් උපරිම චිප් මෆින් දෙක, අතුරු පස ගැන අපේ හිතේ තිබුණ අදහස නියමෙටම සම්පූර්ණ කළා.

ඒත් පළතුරු ටාර්ට් එක නම් මට හරි ගියේ නෑ. මොකද ඒකේ තිබුණ පළතුරු කෑලි ඔක්කොම වගේ සීනි දියවරවල දාලා පදම් කරලා තමයි තිබුණෙ. පිටි වලින්ම හදපු වැනිලා රස තියෙන පුංචි කෝප්පයක් යටට අයිස් කී‍්‍රම් දාලා ඊට උඩින් දොඩම්, චෙරි, අන්නාසි වගේ පළතුරු වර්ග හතර‍ක පහක පදම් කරපු කෑලි ටික දාලා තමයි මේ අතුරු පස හදලා තිබුණේ. යාළුවා නම් රස කර කර කාපු නිසා මගේ එකත් යාළුවටම කවලා අපි කතා බහ ඉවර කළේ ඈතින් ආයෙත් ලොකු වැස්සක් එනවා දැකපු නිසා.

අනුමිතිය

ආදරණීයයන් එක්ක හරි යාළුවෙක් එක්ක හරි ව්‍යාපාරික සගයෙක් හරි එක්ක වුනත් යන එන ගමන් ගොඩවෙලා නිදහසේ කතා බහක යෙදෙන අතරෙ රසම රස ක්ෂණික ආහාර වේලක් එක්ක පුංචි අතුරු පසකුත් රස බලන්න නම් මොරටුව ෆැබ් එක අපූරු තැනක් තමයි.


TIP

Try the crispy chicken & egg roll

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

No. 635, Galle Road, Rawathawaththa, Moratuwa

Directions

The Fab's on Galle Road, right across from the main gates of Prince of Wales Collage, Moratuwa

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments