Artwork for U Pay Oct 2018

5/5

The Woods, Beragala

Sembuwatte state, Nikapotha, Haputale


A beautiful cottage hotel that provides the genuine jungle experience nestled in the wilderness of Beragala.



‘කලින් පාර දියළුම උඩට නැගපු වෙලාවෙත්, හෙලට වෙන්න හරි අමුතු ප්ලේස් එකක් පෙනුනා. මෙදා පාරත් ඒක එලෙසින්ම පේනව කියන්නකො. පොඩ්ඩක් හොයල බලන්න ඕන මොකක්ද කියල. මොකද බැලූ බැල්මට තනි ‘එකෝ කොටේජ්’ එකක් වගේ.’

හදිස්සියෙ ගියපු වැල්ලවාය ටුවර් එකකදි මගේ හිතට අල්ලපු තැනක්, දෙවනි වතාවටත් හොඳ හැටි තහවුරු වෙච්ච වෙලාවෙ, මම හිතාගත්තා කොළඹට ගොඩ බැහැපු ගමන් ඒක හොයල බලන්න. ඒත් ඉතින් තිබ්බ හදිස්සිය නිසා මම උඩවලව පාරෙ එනකම්ම කලේ ‘බෙරගල කොටේජස්’ කියල ගගහ අන්තර්ජාලය පුරා සැරිසරපු එක. හැබැයි ඒකෙන් පාඩුවක් නම් වුණේ නැහැ. මොකද පැල්මඩුල්ල හරියට එනකොටම මම ඒකෙ නම හොයගත්ත.

‘ද වූඩ්ස්’.

ෆොටෝ ටික බැලුවාම යාළු, පිස්සු හැදෙනව යාළු. එයාලගෙ එෆ් බී. පේජ් එකත් හොඳටම කරගෙන යනව. ඒකෙ තමයි ඔය කෑම බීම, කාමර සුවපහසුකම් එතකොට නයිට් ෆන්ෂන්වල ෆොටෝ එහෙම දාලා තිබ්බෙ. ඊටත්, ඒ කොටේජ් හදල තියෙන්නෙ තනිකරම ලී, මැටි, වීදුරු වලින්. ලක්ෂරි කොටේජ් එකේ බැල්කනි විව් එක දාලා තිබුණා… මුළු මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක 2ම පේනවද කොහෙද.

මේකට නම් පුතේ අද හෙටම යන්න වෙනව!

ගෙදර ඇවිල්ල දවස් 2කට විතර පස්සෙ තමයි මම ද වූඩ්ස් බුකින්ග් එකක් දාන වැඩේට බැස්සෙ. සුද්දොන්ට දාපු ගණන් වලට අපි යන්න ඕන නෑනෙ කියල, මම බුකින්ග්.කොම් එකෙන්, ඒකෙ නොම්මරේ හොයාගෙන කෝල් එකක් ගත්ත. පොඩි හරි ෂේප් එකක් දාගන්න බැරි වෙන්නෙ නෑනෙ. මොකද ඉතින් අපි අපිනෙ!

“හලෝව්… මිස්ට රාජ්?”

“යර්ස්, කැන් අයි හෙල්ප් යූ…”

අප්පට හුඩු දෙබස එංගලන්තෙට යන සීන් එකක් තියෙන්නෙ. දැන් මොකද කරන්නෙ? ඉඳාන්කො,

“ආ… මිස්ට, මම මේ කතා කරන්නෙ ඔයාලගෙ කොටේජ් එකේ බුකින්ග් එකක් දාගන්න. සාමාන්‍යයෙන් ලෝකල්ස්ලට ප්‍රසයිස් කොහොමද?”

“සර්, අපේ බංග්ලෝ එක ගන්නව නම් 19කට වගේ දෙන්න පුළුවන්. අකමඩේෂන් විතරක්. ඒකෙ 12කට ඉන්න පුළුවන්… එහෙම නැතුව අපේ වූඩ්න් කොටේජ් එක හරි විලා කොටේජ් එක හරි ගන්නව නම් 9, 10 වගේ ගණන් වලට දෙන්න පුළුවන්. ඒ හැරුණාම අපි කුක් කෙනෙකුත් දෙනව, සර්ලට කැමති දෙයක් හදාගෙන කන්නත් පුළුවන්.”

“නෑ..! නියමයිනෙ. අපෙත් ඉන්නව 10ක්, 12ක් විතර. එහෙනම් මට මේ වීක් එන්ඩ් එකේ බන්ග්ලෝ එක බුකින් දාන්න?

“ඕකේ සර්”

“එහෙනම් කන්ෆර්ම් ඈ…”

“ෂුවර්, තැන්ක් යූ”

බුකිම දාපු අනික් පැත්තට මම කෝල් කලේ අපේ එවුන්ට. අපේ එවුන් කිව්වට අපේ ඌව කැම්පස් එකේ අපේ රොටරැක්ටර්ස්ල සෙට් එකට. කෝල් කරපු සනිකවම එතනින් 8ක් 10ක් කන්ෆර්ම්. ආයෙ ඉතින් බල බල ඉන්න දෙයක් නෑනෙ. අනික රොටරැක්ටර්ස්ල එනව කිව්වාම ඉතින් ෆුල් හැපනින්ග්නෙ. ගිටාර් බොංගො වගේම අනිත් පාර්ටි අවශ්‍යතාත් බොහෝ දුරට හරියනව. කොටින්ම කියනව නම් අන්තිමට මට තිබ්බෙ යන්න විතරයි.

ඉතින් ඔන්න අදාළ දවසෙ මම ටිකක් දවල් වෙන්න අල්ලල කොළඹින් පිටත් වුණා. මොකද අපිට චෙක්-ඉන් එක තිබ්බෙ හැන්දෑවෙ 3න් පස්සෙනෙ. කොහොම හරි මම බෙරගලින් බහිද්දි හැන්දෑවෙ 6ට කිට්ටුයි. බැහැල නිකමට වගේ මිස්ට රාජ්ට කෝල් එකක් ගැහුව. මෙන්න බොලේ එයත් බෙරගල හංදියෙ. මනුස්සයගෙ හිත හොඳකම කියන්නෙ, මාව හම්බවෙලා එතන ඉඳන් කොටේජ් එකටම ට්‍රාන්ස්පෝර්ටුත් දුන්න කියන්නකො. යන අතරෙ වෙච්ච කතා බහෙන් කොහොම කොහොම හරි අපි දෙන්න ෆුල් ෆිට්වුණා. මොකද මාත් ටිකක් ට්‍රැවල් පැත්තට බරයිනෙ.

ඒත් ඉතින් අවාසනාවට, එතනට යද්දි අපේ එකක්වත් ඇවිල්ල නෑ. කෝල් කරල බැලින්නම් සෙට් එක තාම බෙරගල.

“හා හා වරෙන්කො” කියල මම බංගලාව ඇතුලට ගියා, වොෂ් එකක් දාගන්න.

ෂප්පේ… ඒකෙ ලස්සන! වොෂ් දැමිල්ල පැත්තක කියන්නකො? බෑග් එක බිමින් තිබ්බ මම නිකමට වගේ කාමරේකට එබිකම් කරල බැලුවෙ. සැහ්! පිස්සු හැදෙනව ඈ… ආයෙ ඩබල් ඇඳන් දාලා කළුගල් බිත්ති මතුපිටින් මැටි ගාලා… මාරම ගතියක් තියෙන්නෙත්. ඊටත් ඇටෑච් බාත්රූම් එක එහෙම, ආයෙ ලෙව කෑව වගේ. එසී. ඕන නැති නිසා වෙන්න ඕන ෆෑන් දාලා... හැරත් ඒ වෙලාවෙ තිබ්බ සීතලේ හැටියට, මට ඉතින් හිතාගන්න පුළුවන්.

කාමරෙන් එලියට බහිද්දිම තිබ්බෙ පඩිපෙළ. හරි ලස්සන ලී පඩිපෙලක්. ඒක දිගේ මම අඩියට දෙකට උඩට නැග්ග. කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු මල්ලි, ඒ බැල්කනියෙන්... ඈත කඳු සෙට් එක පේනවා. ඒ මදිවට අහස පුරාම තරු. දෙයියනේ මෙතනනෙ ප්ලේස් එක. දුවල ගිහින් පල්ලෙහා කාමරේ තිබ්බ බෑග් එක ගෙනැල්ල උඩ තට්ටුවෙන් තියපු මම තවත් විනාඩි 5ක් 10ක් ඒ හීතල හුළඟෙ, රැහැයි සද්දෙ ආශ්වාදය විඳල තමයි වොෂ් දාන්න ගියේ. ඔයාලට කියන්න, ඒ අතරට බංගලාව ඉස්සරහ මැටි පැළේ, බාබකියු එකකුත් ලෑස්ති වෙනව. සප්පේ… අද නම් හොඳ සප්පායම.

කොහොම හරි, ඔන්න අපේ සෙට් එකත් ඒ වෙද්දිම වගේ ආවා. කැම්පස් එකේ ඉඳන්ම ලෑස්තිවෙලා ආපු නිසාද මන්දා ඇඟපත හේදිලි පැත්තක, කෙලින්ම පාර්ටියට ඇරේන්ජ්මන්ට් එක. මටත් මොකෝ කියල මාත් ගියා පල්ලෙහා කොරිඩෝවට, මොකද වෙන්නෙ බලන්න. සැහ්! මෙන්න බොලේ මේසෙ වටකරගෙන ලස්සන ගෑණු ළමයෙකුයි තව දෙතුන් දෙනෙකුයි කොක්ටේල් දානව. ඊට එපිටින් අනිත් කට්ටිය සංගීත සාජ්ජෙට පුටු ලෑස්ති කරනව. ඒ අතරට මේසෙට රෑ කෑමත් ඇවිල්ල. නූඩ්ල්ස්, තම්බපු බිත්තර එක්ක, චිකන් කරි එක්ක පරිප්පු! ඒ විතරක් නම් බැරියැ බාබකියු කුකුල් කකුල් ටිකකුත්…

කවද බීපු බීමද කියල මමත් ගත්ත කොක්ටේල් වීදුරුවක් අතට. අප්පට බොල! මේක රසයිනෙ. මේ විදියට අරක්කු බොනව නම් ඉතිං ගමකට බොන්න බැරියැ. ඒ එක්කම හෙමින් සැරේ බාබකියු කුකුල් මස් කෑල්ලකුත් රස බැලුව. ෂහ්... ඒකත් ටොප් එකටම තියෙනවනෙ. ආයෙ ලුණු ගම්මිරිස් පදම වගේම බාබකියු සෝස් පදමත් එක්ක නියම ගාණට පිච්චිලා. කොටින්ම කියනව නම් කොක්ටේල් වලටම කියාපු!

ඒ විදියට ටික වෙලාවක් යද්දි ඉතින් ගිටාර් තනු එකින් එක වැයෙන්න පටන් ගත්තා. කට්ටියත් හෙමින් සැරේට තාලෙ අල්ලනව. මම... අහස දිහා බලාගෙන, සිංදුවත් මුමුණ මුමුණ වීදුරුවටම මුල් තැන දුන්නා. අනේ! එච්චරයි කියන්නකො යාළු මතක.

කුළුඳුල් හිරු කිරණ මූණට වැටෙද්දි තමයි මට මීටර් වුනේ කලින්දා පොඩ්ඩක් වැඩි වෙලා කියල. ඔළුව උස්සල බැලින්නම් බෙඩ් ටී එකත් මේසෙ උඩ. කට පොඩ්ඩක් හෝදගෙන සනික තේ උගුරක් බීපු මම කෙලින්ම ගියේ උඩහ කොටේජ් පැත්තට. ඇයි ඉතින් අර ඉන්ටනෙට් එකෙන් දැකල තිබුන ඒව හැබැහින් බලා ගන්න එපැයි.

මුලින්ම මම ගොඩවුණේ කන්දට වෙන්න ගහල තිබ්බ ලී කොටේජ් එකට. ඒකෙ තට්ටු 2යි. හැබැයි තනිකරම මැටි සහ ලී. පල්ලෙහා කාමරේ 4දෙනෙක්ට ඉන්න පුලුවන්. මගෙ හිතේ උඩත් එහෙම වෙන්න ඕන. කෙහොම වුණත් උඩ බැල්කනියට පේන විව් එක නම් සුපිරි ආයෙ. ඈත කඳු පන්තිය වගේම පැත්තට වෙන්න පිහිටපු උකුසු ගලත් හරි අපූරුවට පේනව. ඒ විතරක් නම් බැරියැ, වට පිටාවත් තනිකරම ගස් වලින් පිරිලා. ඒ නිසා කුරුළු කොබෙයියො, සමනල්ලුන්ගෙනුත් අඩුවක් නෑ. ඇත්තටම ‘ද වූඩ්ස්, වූඩ්න්’ කොටේජ් එකේ රැයක් ගතකලා කියන්නෙ නම්… වනගතව, භාවනාවක් කළා වගේ තමයි.

ඊට ටිකක් එපිටින්, බෑවුම අයිනට වෙන්න පිහිටපු ලොකු ගලක් උඩ තමයි අනිත් මැටි කොටේජ් එක හදල තිබ්බෙ. ඒක ඉස්සරහ පොඩි පොකුණක් එහෙමත් තියෙනව. පිවිසීම තියෙන්නෙ ඒ පොකුණ මැදින් වැටුණු පොඩි අඩි පාරකින්. ඉතින් මමත් ඒ අඩි පාර දිගේ ඉස්සරහට ගිහින් හෙමින් සැරේ ගලට ගොඩ වුණා. ගොඩ වෙලා දෙපලු දොර ඇරගෙන කාමරට පොඩ්ඩක් එබිකම් කලා.

කිව්වට විශ්වාස කරන්න යාළු! එ්කෙ විව් එක, අපෙ අප්පෝ... බංග්ලෝ එකටත් වඩා පට්ට කියන්නකො. ඊටත් කාමරේ ඇතුලෙන් එන නැවුම් මැටි සුවඳ. පිස්සු හැදෙනව ඈ… කොටේජ් නම් අන්න කොටේජ් කිව්වලු. ඒකෙත් 4 දෙනෙක්ට ඉන්න හොඳ හැටි ඉඩ තියෙනව. ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට සොබාදහම රස විඳින්නත් මැටි කොටේජ් එක නම් කියාපු.

ඔය ඉන්න අතරට පහළින් ඇහුණු වතුර පාරෙ සද්දෙ නිසයි මම කල්පනා කලේ, වටපිටාවෙ පොඩි රවුමක් ගහල බලන්න. මොකද අපේ කට්ටියත් ඒ වෙද්දි ආගිය අතක් නෑනෙ. මැටි කොටේජ් එක ඉස්සරහ අඩි පාර දිගේ මම පහළට බහින්න පටන් ගත්තා. ඒකෙත් පහලටම යද්දි ඔන්න අපේ කට්ටියගෙ ගෝසාව ඇහෙනව. බැලින්නම් සෙට් එක හුරේ කියල නානව කියන්නකො. එතන හරි ලස්සන දිය ඇල්ලක්. වැඩි උසක් නැති වුනාට 7, 8දෙනෙක්ට එකපාර හොඳ හැටි නාන්න පුළුවන් විදියේ නැචුරල් පූල් එකකුත් තියෙනව. වෙලාවට මට නාන්න කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැත්තෙ. ඒත් ඉතින් හිත නම් කිව්වෙ එතනට වෙලා ටික වෙලාවක් ඉන්න කියලමයි. කරන්න දෙයක් නැතිම තැන, මම වටෙන් ගිහින් ගලකට ගොඩ වුණා. ගොඩ වෙලා හිතේ හැටියට වටපිටාවෙ ආශ්වාදයත් විඳලා… පොඩි බඩගින්නක් එහෙමත් එන ගතියක් තිබ්බ නිසා ගියා කුස්සිය පැත්තට.

යද්දි, මේසෙ පිරෙන්න උදේ කෑම! කට්ටිය තලු මර මර වැඩේ දි දී හිටියෙ බටර් රොටියි කට්ට සම්බෝලයි වලට. හැබැයි මම නම් ගිහින් එතන තිබ්බ හැම එකක්ම බෙදා ගත්ත. මොකද සුදු බතට කියාපු සැමන් මාලුවකුයි, තව මඤ්ඤොක්කා තෙල් දැමුමකුයිත් මේසෙ උඩ තිබ්බනෙ. කිව්වට විශ්වාස කරන්න යාළු බටර් රොටි එක්ක කට්ට සම්බෝලෙටත් වඩා නැගල ගියේ සැමන් මාලුව. ෂප්පේ… ගින්නක් නැතුව මම රොටි 3, 4කටම වග කිව්ව. ඒ වගේම තමයි මඤ්ඤොක්ක එකත් පංකාදු පහයි. ආ… කියන්න බැරි වුණානේ. ඔය අතරට මේසෙට ආවනෙ ද වූඩ්ස් ස්පෙෂල් කොත්තු එකක්. ඒක හදල තිබ්බෙ බටර් රොටියි, එළවළුයි, බිත්තරයි දාලා. ඒ එක්ක චිකන් කරියකුත් ආවා. උණුඋණුවෙ නිසයි මම කටක් දෙකක් කාලා බැලුවෙ.

ෂැහ්! පිස්සු හැදෙනව ඈ… ආයෙ සුපිරිම කොත්තුව. හිතන්නකො බටර් රසත් එක්ක, එළවළු, බිත්තර, චිකන් රස එකතු වෙලා එද්දි?

බඩ පැළෙන්න කාලා කාමරේට ගියපු මම ටික වෙලාවක් ඇඳට වෙලා හිටියෙ 11 කිට්ටු කරලම එළියට බහිනව කියල හිතාගෙන. හැරත් ඒක දාලා යන්න හිත දෙන්නෙත් නෑනෙ. අර බැල්කනියම ගියාම දවස යනව තේරෙන්නෙ නැති ගාණයි.

‘කමක් නෑ, ඔන්න ඔහෙ ආයෙ දවසක එනව අපේවුන් එක්ක, නයිට් 2, 3ක්ම ඉඳල යන්න’ හිතපු මම හෙමිහිට ඇඳුම් ටිකත් පැක් කරගෙන කට්ටියත් එක්කම එළියට බැස්සා. හැබැයි අපිට එහෙමම යන්න අවසරත් නෑ, රාජ් අයියගෙ පිට් එකට පොටෝ එකකුත් ගත්ත. අරගෙන තමයි ‘ද වූඩ්ස්’ නිවාඩුවෙ අවසානය සනිටුහන් කලේ, හ්ම්…!


TIP

Get in to the wooden cottage to get an awesome nature vacation experience.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment