Artwork for Sampath Top - November
Artwork for Kingsbury Sunday

4/5

Thejan Hotel

201 Galle road Bambalapitiya

  • Open until 10:00 PM


A great place to eat rice & curry and tasteful Sri Lanka Chinese.



එදා සිකුරාදනෙ. ඔන්න ඉතින් අපි රෑ වෙනකම් වැඩ හොඳේ. වෙලාව 6 වුණා 7 වුණා, හැබැයි 8 වගේ කිට්ටු වේගෙන එද්දි කට්ටිය පොඩ්ඩක් ඇඹරෙන ගතියක් පෙන්නුම් කළා. මම ඉතින් ගණන් ගත්තෙ නෑ, කොහොමත් දවසම වැඩ කරල මහන්සියට එහෙමනෙ. හැබැයි තත්වෙ ටිකක් දරුණුයි කියල මට තේරුම් ගියේ දේශානිගෙ ඇඬියාව ඇහෙන්න පටන් ගත්තාම.

“බුද්ධික… මට බඩගිනියි නේ…” හරියට මම එයාගෙ වැඩ කාරය වගේ.

අර මනුස්සයෙක් බඩගිනියි කිව්වාම බලන් ඉඳල පුරුද්දක් නැති නිසා ඇහුවා මිසක් නැත්නම් ඉතින්… අනික කෑ ගැහිල්ලෙත් එන්න එන්නම වැඩියක් මිසක් අඩුවක් නෑනෙ. කරන්න දෙයක් නැතිම තැන තමයි මම කල්පනා කළේ ඔන්න ඔහෙ ළඟම තියෙන තේජාන් එකටවත් එක්කගෙන යනව කියල. ඊට පස්සෙ චන්දනටත් කතා කරල බැලුවා. තනියම යන්නත් කම්මැලියිනෙ.

කොහොම හරි කට්ටියම එක පයින් වැඩේට කැමතියි. ඉතින් අපි හෙමින් සැරේ බඩු මුට්ටු ටික අකුලගෙන ගමන පටන් ගත්ත.

කට්ට කළුවරේ තුන්දෙනා බම්බ විසාකා පාරෙන් ගාලු පාරට හැරුණා විතරයි, මාර දෙයක් කියන්නකො දැක්කෙ. තේජාන් එක වෙනස් කරලා. හැබැයි බෝඩ් විතරයි. ‘චයිනීස් රෙස්ටුරන්ට්’ කියල අළුත් බෝඩ් එකක් ගහල. කඩේ ඇතුළට ඔළුව දාලා බැලුවාම තමයි මට තේරුණේ පොඩි බොරුවක් දාලා තියෙන්නෙ කියල. මොකද ඇතුළ තිබ්බ විදියටම තියෙනවනෙ.

රෑ කෑම වෙලාව නිසා කඩේ සෙනඟ නම් ටිකක් වැඩියි වගේ. එහෙමයි කියල නොකා ඉන්නත් බෑනෙ. හෙමින් සැරේ වට පිට බලපු අපි කඩේ ඇතුළට ගිහින් මුල්ලට වෙන්න තිබ්බ මේසයකින් වාඩි වුණා. අනේ කියන්න සන්තෝසයි යාළු, වාඩි වෙන ටිකට සේවක මල්ලි කෙනෙක් අපේ මේසෙ ළඟ.

“සර්, මොනවද ගේන්නෙ”

“හ්ම්ම්… අපිට ගේන්නකො චිකන් රයිස් ඇන්ඩ් කරි එකකුයි (රු. 160), බීෆ් චීස් කොත්තුවකුයි (රු. 480)

ඒ චන්දන උඔට මොනවද?” මම, මගේ ඕඩරේ දාලා චන්දනගෙන් ඇහුවා.

“මට… රෝස්ට් චිකන් රයිස් එකක් (රු. 230) ගෙන්නකො” චන්දනත් ඕඩරේ දැම්මා. ඒත් මල්ලිට යන්න අවසර නෑ. මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මැන්ටලේ මෙන්න කිරි තේ එකක් (රු. 40) ඉල්ලනව.

කොල්ල එතනින් ගියේ ඔළුව කස කස. ෂුවර් එකට ඉල්ලපුව මීටර් වෙන්න නැතුව ඇති.

කොහොම හරි මම ඉල්ලපු චිකන් රයිස් ඇන්ඩ් කරි එක මේසෙට එන්න විනාඩි 5ක් විතර ගියා. වැඩේ කියන්නෙ ඊටත් විනාඩි 5කට විතර පස්සෙ තමයි උණු උණු චීස් චිකන් කොත්තුව මේසෙට ආවෙ.

හෑ… චීස් චිකන්! මළා, කොල්ලට වැඩේ නාලා. අපි ඉල්ලුවෙ චීස් බීෆ් කොත්තුවක්, ඒත් අවෙ චීස් චිකන්.

“අවුලක් නෑ මල්ලි. රයිස් එක බීෆ්වලින් දාන්නකො” කාගෙත් හිත් සතුටු වෙන විදියට මම වැඩේ ෂේප් කළා. නැත්නම් දේශානිගෙන් කනක් ඇහෙන්න නැති වෙනවනෙ. ඔය අතරට මට මතක් වුනා තේජාන් එකේ චිකන් ලිවර් ඩෙවිල් (රු. 400) තියෙනව කියල. බලබල ඉන්න දෙයක් නෑනෙ. කන එකේ බඩ පැලෙන්නම කනව කියල හිතපු මම දැම්මා එයින් එකකුත් ඒ ඕඩරේටම.

ඊට පස්සෙ ඉතින් තව විනාඩි 5ක් 6ක් හිටියා රයිස් එකයි ඩෙවිල් එකයි මේසෙට එනකම්. හැබැයි ආවට පස්සෙ නම්… ෂප්පේ සුවඳටම කටට කෙළ උනලා. කටක් රස බලනකම් ඉවසිල්ලක් නැති ගානයි.

රයිස් ඇන්ඩ් කරි එක කොයි වෙලාවෙ කන්න බැරිද? හැන්දක් අතට ගත්තු මම ඉස්සෙල්ලම කළේ චන්දනගෙ බීෆ් රයිස් එකෙන් කටක් දෙකක් රස බලපු එක. ෂහ්! ටොප් ආ... අවංකයෙන්ම, කනව නම්, අන්න රයිස්. ආයෙ මේං කියල අඩුවක් නෑ. විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස් එකක තියෙන්න ඕන රයිස්, ෆ්‍රයිඩ් වෙච්ච රස එහෙම නියම ගානට. එ් හැරුණාම කැරට්, ලීක්ස් කෑලිත් එමටයි. රස පදමට බිත්තරයක් එහෙම කැරලි වෙන්න දාලා, සැර හිටින්න මිරිස්, ගම්මිරිස් ටිකකුත් දාලා නිසා තවත් මරු. අනික ඇඟිලි පුරුකක් සයිස් විතර බැදපු බීෆ් කෑලිත් 8ක් 10ක් තියෙනවනෙ. ඔය අතරට චිලී පේස්ට් පොඩ්ඩකුත් එකතු කරගත්තාම පංකාදු පහයි.

රයිස් එක එච්චර රස වෙලා චීස් කොත්තුව ඊටත් වඩා රසයි කිව්වොත් කොහොමද?

ඕං අහගන්නකො ඒක. කොත්තුවෙ තිබ්බ ෆ්‍රයිඩ් චිකන් කෑලිවල ෆ්‍රයිඩ් රසට එහා ගියපු පොඩි ස්පයිසි ගතියකුත් පැහැදිලිවම තිබ්බ. හරියට තන්දුරි චිකන් වගේ. ඒ නිසා චිකන්, චීස් එක්ක එකතු වෙලා එද්දි රස නහර පිනා යන රසක් සෙට් වෙන්නෙ. අනික කොත්තුවට මාළු මිරිස්, ලීක්ස්, කැරට් කෑලි එහෙමත් මදි නොකියන්න දාලනෙ. ඒත් කොත්තුවට ගම්මිරිස් එකතු කරල තියෙන්නෙ අඩුවෙන් නිසා සැර ගතිය නම් සෑහෙන්න අඩුයි.

ඒ සැර ගතිය හදා ගන්න කියල හිතාගෙන ඔන්න මම චිකන් ඩෙවිල් ටිකක් දාගත්ත පිඟානට. හප්පේ ඒක නම් ටිකක් අවුල් පාටයි. වෙන දෙයක් නෙවෙයි, චිකන් ලිවර් කියල තිබ්බෙ කෑලි දෙකයි. අනිත් ඔක්කොම බෙලි, කටු අනම් මනම්. හැබැයි කටු වුණත් රස නම් මරු ඈ… බයිට් එකකට නම් සුපිරි. ලූණු, මාළු මිරිස් එහෙම හොඳ හැටි දාලා සෝස් රසත් ගානට නිසා තලු මර මර කන්න පුළුවන්. ඒ වගේම තමයි සැර. ඩෙවිල් දෙපිටින් යන්න සැර නම් තියෙනව, දිව පුපුරු ගහන්න.

ඒකට බලන්න එපැයි රයිස් ඇන්ඩ් කරි එක. චිකන් කෑල්ලම ඇති බඩගින්නෙන් බාගයක් ඉවර වෙන්න. හොඳ පදමට මිරිස් තුනපහ එහෙමත් දාලා නිසා හායි හූයි ගගා කන්න පුළුවන්. අනික පරිප්පු කරියත් චිකන් එකටම කියාපු. හොද්ද ඝනකමට තියෙන නිසා බත් කෙසේ වෙතත් පාන් ගෙඩියකට වගකියන්න නම් කියාපු. තෙල් දැමුමකට කියල බත් එකේ තිබ්බෙ බණ්ඩක්කා තමයි. ඒකත් ටිකක් සැරයි, හැබැයි රස හොඳයි. ඒ හැරුණාම ගමේ රහට හැදුණු කලවම් පලා මැල්ලුමකුත් තිබුණා. ඒක නම් බත් එකට කියාපු. පොල් ගාලා දාලා, ලාවට මලවල එහෙම අරගෙන නිසා රස පදම නියමෙට. කිරි රහට තිබ්බ කැකිරිද පිපිඤ්ඤද ව්‍යංජනයත් බත් එකේ ගතිය ඩබල් ත්‍රිබල් කරන්න ලොකු සපෝට් එකක් දෙනව. ඊටත් වඩා වැඩේ නැගල යන්නෙ බත් එකට දෙන බැදපු කාරල්ල කූරියගෙන් තමා. ආයෙ රස පදමට සෙට් වෙන ලුණු, කරවල බැදුම් රසත් එක්ක නම්… අවංකයෙන්ම දෙපාරක් බෙදාගෙන කන්න පුළුවන් ගානයි.

වැඩේ කියන්නෙ එච්චර කාලත් බඩේ අහුමුලු ටික පුරව ගන්න ඩෙසට් එකක් කන්න බැරි වුණා කියන්නකො. වෙන දෙයක් නිසා නෙවෙයි, කෑමවල රස නිසා ඒ ගැන කතා කර කරනෙ හිටියෙ.

ආ… ඒක නෙවෙයි, දේශානි ගෙන්නපු කිරි තේ එක තියෙනවනේ, ඒකෙ නම් පුදුම රසක් යාළු තියෙන්නෙ. ආයෙ, බොරුයි කියල හිතෙනව නම් ගිහින් බීලා බලන්නකො. ඒ අතරට වැරදිලා හරි දවල් කෑම එකක් එහෙමත් කාලා බැලුවොත් නම් ඉතින් හැමදාම, තේජාන්ම හොයයි ඉතින්!


TIP

Try rice & curry.

Artwork for Sampath Content Sep generic
Similar Places

Leave a comment