මේකයි ඉතින්, ඇවිදිනව කියල හැම වීක්එන්ඩ් එකේම ඇවිදින්නත් බෑනෙ. ගෙදරදොර අස්පස් කරන වැඩ කටයුතු, වත්ත පිටිය සුද්ද කරන වැඩ කටයුතු, එතකොට පවුලෙ අයගෙ වැඩ කටයුතු එහෙමත් තියෙනවනෙ. අනික මාසෙකට සැරයක්වත් ගෙදර අයත් එක්ක විනෝදෙන් ගත කළේ නැත්නම් එයාලගෙ හිතටත් හරි නෑ, ඔයාලගෙ හිතටත් හරි නෑ.
ඒ නිසා, අපෙ යාළුවො මේ සතියෙ ගෙදර ඉමු. ගෙදර ඉඳගෙන… ට්‍රැවල් නැති අඩුපාඩුව මැකෙන්නත් එක්ක කරමු පොඩි වෙනසක්.
වැඩේ ඒ හැටි අමාරු නෑ. හැබැයි උදෙන්ම නැගිටල පොළට යන්න වෙනව. ගිහින්, ගමේ රහට දවල් කෑමවේල හදන්න ඕන කරන අඩුම කුඩුම ටික ගේන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින්, ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරෙ අම්මටත් පොඩි සපෝට් එකක් දෙන්න.
මොකද ගමේ රහට, ගෙදරදිම හදපු සුපිරි කෑම වේලක්, උණු උණුවෙම, කෑම මේසෙට එන්නනෙ යන්නේ…
1. කෙකටිය තෙම්පරාදුව
ඡායාරූපය: එස්. ආර්. ජයසිංහ
රෙසිපිය කියන්න කලින් කියන්න ඕන, කෙකටිය ගන්න නම් ටවුමෙ පොළටම යන්න වෙනව. මොකද ඔය සුපර් මාර්කට් කියන ඒවයෙ, මේ වගේ සුපර් බඩු නෑ. අනිත් එක ඕව පොළට ගෙන්නෙත් සෑහෙන අඩුවෙන්නෙ. ඒ නිසා ටිකක් හොයන්න වෙයි.
කොහොම වුනත්, කෙකටිය ටික ගෙනාවට පස්සෙ මලත් එක්ක දළු ටික කඩල වෙන්කර ගන්න. ඊලඟට දඬු ටිකේ මෝරපු හරිය කඩල අයින් කරල ළපටි ටිකත් ගන්න. මල් ටික හැර, අනිත් ටික හීනියට ලියා ගත්ත නම් වැඩේ තවත් ලේසියි. පස්සෙ, ඔක්කොම ටික එකට දාලා, ඒකට ලුණු, කෑලි මිරිස්, හීනියට ලියපු තක්කාලි, උම්බලකඩ ටිකක් එහෙමත් එකතු කරල කලවම් කර ගන්න. ඒ අතරට ඇතිලියක් ලිපේ තියල තෙල් ටිකක් කර වෙන්න අරින්නත් ඕන. තෙම්පරාදුවට අබ, කරපිංච, රම්පෙ, සුදු ලූණු පදම අපි කියන්න ඕන නෑනෙ. අන්තිමට, කෙකටිය ටික එකතු කරල වතුර ගතිය හිඳෙනකම්ම තෙම්පරාදු කර ගත්ත නම් හරියමට හරි.
2. කෙසෙල් බඩ මාළුව
මේක නම් ලේසි වැඩක් නෙවෙයි. මොකද කෙහෙල් බඩ හොයා ගන්න ටිකක් අමාරුයිනෙ. බාග වෙලාවට පොළේ එහෙමත් ෂුවර් කරන්න බෑ. කෙසේ වෙතත්, අමාරුවෙන් හරි හදාගත්තතොත් ගොඩ. රස වගේම ගුණ අතිනුත් සෑහෙන්න ඉහල කෑමක්. මොකද කෙඳි සහිතයිනෙ.
හොයා ගන්න අමාරු වුණාට මේක හදා ගන්න ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කෙහෙල් බඩේ හීනියට ලියාගන්න එක. ඊට පස්සෙ ඒකට ලුණු, කහ, මිරිස් කුඩු, අමු තුනපහ, ගලේ අඹරපු බැදපු පොල්, අබ, ගොරක, සුදු ලූණු ගුලියක් එකතු කරල හොඳට අතගා ගන්න ඕන. එහෙම කරල, ටිකක් වෙලා පදම් වෙන්න තිබ්බත් කමක් නෑ. කොහොම හරි, මිශ්‍රණය මැටි ඇතිලියක ලිපේ තියල, බාගයක විතර වතුර දාලා තම්බ ගන්න. තැම්බිලා, වතුර හිඳීගෙන එද්දි හීනියට ලියා ගත්තු ලූණුයි, දියකිරියි දාන්න. දියකිරිත් නටාගෙන එද්දි තමයි මිටිකිරි එකතු කරන්න. හැබැයි මිටිකිරි නම් ඒ හැටි නටන්න දෙන්න එපා. මොකද කැටි ගැහුණොත් ලෙඩේ. අනික, ඇතිලිය බාලත් ටිකක් හැඳි ගාන්න මතක තියා ගන්න හොඳද.
3. කතුරුමුරුංගා මල් පපඩම්
කතුරුමුරුංග මල් නම් ඔය වත්තෙත් තියෙන්නෙ.
ගන්නකො ටිකක් නටුවෙන් වෙන් කරල. හැබැයි පෙති තලන්න, ගලවන්න යන්න එපා. හෙමිහිට හෝදල කරල, වතුර බේරෙන්න තියන්න. තියල වෙනමම භාජනයකට පොල් කිරි, කෝන් ෆ්ලා, කහ, ලුණු, රස පදමට දාලා මිශ්‍රණයක් හදාගන්න. හැබැයි ගොඩක් ඝනකමට නෙවෙයි, ටිකක් බේරෙන ගාණට. ඊට පස්සෙ තෙල් තාච්චිය ලිපේ තියල, තෙල් රත්වෙන අතරට කතුරුමුරුංගා මල්, එක එක මිශ්‍රණයෙ ගිල්ලන්න. තෙල් රත් වුන ගමන්, පටස් ගාලා දාලා බැද ගන්න තියෙන්නෙ.
බැදලා, කාලා බලන්නකො! පංකාදු පහයි ඈ…
4. බ්ලැක් මෂ්රූම් කරිය
තකහනියක් දවල් කෑමට මස් ගේන්න යන්න ඕන නෑ. මේං තියෙනව මස්වලට වඩා සුපිරි කෑමක්. ආයෙ බ්ලැක් මීට් කරියක් වගේම තමයි.
කරන්න තියෙන්නෙ හතු ටිකක් අරගෙන දඬු වෙනමයි මල වෙනමයි කපාගන්න එක. ඒවත් ආයෙ, ඇඟිලි පුරුකක සයිස් එකට කපාගෙන ගැඹුරු තෙලේ ලාවට බැද ගන්න. ඊට පස්සෙ මැටි වළඳක් ලිපේ තියල, තෙල් චුට්ටක් රත් වෙන්න ඇරලා අබ, රම්පෙ කරපිංච, ළුෑණු, සුදු ලූණු දාපු තෙම්පරාදුවකුත් හදාගන්න. තෙම්පරාදුවෙ පදම හරියාගෙන එද්දි තමයි හතු ටික එකතු කර ගන්න ඕන. ඒ ක්ෂණිකවම මිරිස් ගම්මිරිස් කුඩු, කහ කුඩු, බැදපු තුනපහ, මස් කරි පවුඩර් ටිකකුත් එකතු කළා නම් නියමයි. අන්තිමට ඉතින් දියකිරෙන් නටන්න ඇරලා, මිටිකිරෙන් බාගෙට හින්දල බා ගත්ත නම් හරි.
ආයෙ බත් කන්න නෙවෙයි පාන්, පිට්ටු, රොටි ඕන දේකට ඔට්ටුයි ඉතින්.
5. කොල්ලු මාලුව
හප්පේ, වේලක් කෑවොත් හේනක් කොටයි තනියම. කිව්වට විශ්වාස කරන්න යාළු ඒ තරම් හයිය කෑම වේල.
හදාගන්න ඕනකරන්නෙත් හුණ්ඩුවක විතර කොල්ලුයි, කුස්සියෙ තියෙන සාමාන්‍ය තුනපහ, අඩුම කුඩුම ටිකයි විතරයි. හැබැයි කොල්ලු ටික රැයක් එළිවෙනකම් වතුරෙ දාලා තියන්න ඕන. පහුවෙනිදට පොතුඇරලා, පියලි වෙන් කරල අරගෙන වතුරයි, ලුණු චුට්ටකුයි දාලා මැටි ඇතිලියක තම්බ ගන්න. වතුර හිඳීගෙන එද්දි දියකිරි එකතු කරලා, ඒ එක්කම වගේ ලුණු, රම්පෙ කරපිංච, අමු තුනපහ, කහ කුඩු, ගම්මිරිස්, මිරිස් කුඩු, උමබලකඩ කෑල්ලක් එහෙමත් එකතු කරල බාගෙට හිඳෙන්න අරින්න. ඒ අතරට වෙනමම ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියල, ලූණු, සුදුලූණු, අමු මිරිස් දාලා තෙම්පරාදුවක් හදාගෙන, ඒකට කොල්ලු ටික එකතු කරල මිටි කිරෙන් හින්ද ගන්න.
වැඩිය ඕන නෑ, බත් පිඟන් දෙකක් ගින්නක් නැතුව කෑහැකි.
“ඈ…, තව ඕනද?”
ඉන්නකො ඉන්නකො, ලබන සතිය දිහාවට තව ගමේ කෑම ටිකක් කියන්නම්, හොඳද!