ට්‍රෙකින්ග් කියයි, හයිකින්ග් කියයි, බැක් පැකින්ග් කියයි, සමහර උදවිය කන්දකට දෙකකට පයින් ගිහින් ‘අහවල් මවුන්ටන් ඇඩ්වෙන්චර් ටුවර්’ කියයි අනේ මන්දා ඉතිං නේ… වැඩේ කියන්නෙ අපේ උන්ගෙ ඒ නොදැනුවත්කම් ටිකටම මාර්කටින්ග් පාරක් දාලා විකුණන් කන තව සෙට් ඉන්නවනෙ, ඔය එක එක නම්වලින්. හැරත් ඔෆිස් අස්සෙ හිර වෙලා, හිර වෙලා ඉඳල එළියට පහළියට බැස්සාම හයිකින්ග්, බැක් පැකින්ග් කෙසේ වෙතත් ට්රිපින්ග් ඇන්ඩ් ඩ්‍රින්කින්ග් නම් ලෙසටම සිද්ධ වෙනව.
හැබැයි බලන්න එපැයි ඒ අතරට පිටරටකින් බැහැපු රියල් බැක්පැකර් කෙනෙක් සෙට් වුණාම
“අඩෝ පට්ට නේ බං. බලපංකො උන්ගෙ ජියර්ස් සෙට් එක. තනියම කොහොම යනවද මන්දා?”
අනේ, අර බුකියෙ දාන ලොකු සීන් ඔක්කොම හේදිලා යනව.
ඔන්න ඔය වගේ කාරණා නිසා තමයි අපි කල්පනා කළේ බය නැති උදවියට තනියම හයික් කරන්න පටන් ගන්න පොඩි පොටක් පාදල දෙන්න. ඒ හැටි හිතන්න දෙයක් නෑ. මොකද වැඩේ තරමක් ලේසි පහසුයි. ඒ වගේම තමයි නිදහස්, ප්‍රයෝජනවත් හයික් එකක් බවට පත් කරගන්නත් පුළුවන්. පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ පොටා් ගහන්න විතරක් නෙවෙයි හීන් සීරුවට ගස් වැල්, සතා සීපාවා, කුරුලු කොබෙයියො අධ්‍යයනය කරන්න, තමන්ගෙම සිතැඟිවලට සොබා දහමත් එක්ක දඟ කරන්න දෙන්න, කොටින්ම කියනව නම් තරු පිරිච්ච අහසක් යට හිතේ හැටියට හුදකලාව රස විඳින්නත් පුළුවන් වෙනව.
එහෙනම් ඉතිං ලෑස්ති වෙන්නකො, ලංකාවෙ උසම කන්දෙන් පටන් අරගෙන රියල් බැක්පැකින්ග් ලයිෆ් එකකට මුල පුරන්න. ඔන්න පහළින් තියෙනව විස්තරේ.
1. Piduruthalagala (2524m)
බය නැතුව වැඩේ පටන් ගන්න කියාපු තැන. නුවර එළිය ටවුන් එකෙන් බැහැලා කාගෙන් හරි අහන්නකො පිදුරුතලාගලට යන්නෙ කොහොමද කියල, බොක්කෙන්ම පාර කියයි. කණගාටුවෙන් වුණත් කියන්න ඕන මේ පා ගමන වැටිල තියෙන්නෙ තාර පාරක් දිගේ. දුර කිලෝමීටර 11ක් වගේ වෙනව. කන්ද නිසා, මුලු ගමනට පැය 4ක් වගේ යාවි. හැබැයි මහන්සියක් නම් නොදැනෙන තරම්. මොකද සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙන් පිරුණු සුන්දර පරිසරයක් තමයි හතර වටේටම තියෙන්නෙ. විශේෂයෙන්ම ගෝන්නු එහෙම හොඳ හැටි දැක බලා ගන්න පුළුවන්. දේශගුණයත් හොඳ හැටි සෞම්‍යයි. හැබැයි එකක් මතක තියා ගන්න ආරක්ෂක හේතු මත, ඔයාට කඳු මුදුනටම නම් යන්න බැරි වේවි.
2. Kirigalpoththa (2388m)
එහෙමයි කියල අවුලක් ගන්න එපා. ආයෙත් ටවුමට ඇවිත් පට්ටිපොල බස් එකේ පට්ටිපොලට යන්න. එතන ඉඳන් හෝර්ටන් තැන්නට පිවිසුමට කිලෝමීටර 11ක් වගේ තියෙනව. පා ගමනින් ගියත් පාඩු නෑ, මොකද ඝන පයිනස් කැලේ කුරුල්ලො එහෙම පිරිලා. අනික එතන ඉඳන් කිරිගල් පොත්තට තියෙන්නෙත් කිලෝමීටර 5ක වගේ දුරක්. ඒ ටික තනිකරම හෝර්ටන් තැන්න මැද්දෙන් වැටිලා තියෙන නිසා හිතේ හැටියට ගෝන්නු, උරග විශේෂ එහෙම අධ්‍යයනය කරන්නත් පුළුවන්. හැරත් කඳු මුදුනට යන්න ගත වෙන්නෙත් පැය 5ක වගේ කාලයක්නෙ.
3. Thotupala (2357m)
‘කලින් කියන්නට තිබුණා’ ඒත් කියන්න බැරි වුණාට සමාවෙන්න කිරිගල්පොත්තට යන ගමනෙ, මගදි හමුවෙන තොටුපළ කන්දටත් ගොඩ වෙලා ගියා නම් තමයි මරු. මොකද ඒ ගමනට ගත වෙන්නෙ පැය 2ක වගේ කාලයක්. පට්ටිපොල පිවිසුමෙන් පිවිසිලා කිලෝමීටර 6ක් වගේ තමයි පයින් යන්න තියෙන්නෙ. හැබැයි මේ ගමනෙදි සතා සීපාවා එහෙම නම් ලොකුවට දකින්න ලැබෙන එකක් නෑ. ඒත් වටින කියන දෙයක් තියෙනව, නිකමට හොයල බලන්නකො මේ කන්දට නම වැටුණ හැටි. බාග වෙලාවට ඒකම ඇති වෙයි ගමනෙ රසවත් බව දෙගුණ තෙගුණ කරන්න.
4. Kudahagala (2320m)
දැන් ඉතින් ගූගල් එකේ ඔය නම ගහල හොයන්න එපා. මළාට හොයා ගන්න වෙන්නෙ නෑ. මොකද මේ කන්දෙ අන්තර්ජාතික නම තමයි Agrabopath. කවුරුත් නොදන්නව වුණාට මේක පිහිටල තියෙන්නෙත් හෝර්ටන් තැන්නෙමයි. හරියටම ප්‍රධාන පිවිසුමේ ඉඳන් කිලෝමීටර 5ක වගේ දුරක්. පැය දෙකකින් වගේ කඳු මුදුනට ළඟා වෙන්න පුළුවන්. කිරිගල් පොත්තට සමාන හයික් එකක් වුණාට තරමක් ඝන කැලෑ සහිත පරිසරයකින් එගොඩ වෙන්න තියෙනව. ඒ නිසාම ජෛව විවිධත්වය අධ්‍යයනය කරන්නත් ගොඩක්ම ලේසියි. කඳු මුදුනට දිස්වෙන පුළුල් දර්ශන පථය නිසා හිතේ හැටියට රිලැක්ස් වෙන්නත් පුළුවන්.
5. Sri Padaya (2243m)
නල්ලතන්නි පාරෙන් යන්න පුළුවන්. අවාරෙට ගියොත් ලොකු උභය ජීවි ජෛව විවිධත්වයක් අධ්‍යයනය කරන්නත් පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන්නෙ ඒ පාර නෙවෙයි. ඒ වගේම ළඟින් යන වෙන, ලස්සන පාරක්.
මේක හරිම ලේසි හැබැයි කැලෑ පාරක්. මුලු ගමනටම තියෙන්නෙ කිලෝමීටර 6ක් විතර උපරිම පැය 3ක් ගතවේවි. යන්න තියෙන්නෙ මරේ වත්තෙ උඩම හරිය, රජමලේ හරහා කිලෝමීටර 2ක විතර දුරක්. එතනදි මුණ ගැහෙන ලොකු ගල් තලාව, සඳගල තැන්නට ගොඩ වෙලා තව කිලෝමීටරයක් විතර ගියාම නල්ල තන්නි පාරෙ මහගිරි දඹේට පොඩ්ඩක් පහළට වැටෙනව. ඒ කිට්ටුවම තමයි ඔය හොයා ගත්ත කියන දිවා ගුහාව තියෙන්නෙත්.
6. Kikiliyamana (2240m)
ලංකාවෙ උසින්ම පිහිටල තියෙන ගම, නුවර එළිය ශාන්තිපුරට යන පාරෙන් තමයි කිකිළියමානට පිවිසෙන්න තියෙන්නෙ. ටවුන් එකේ ඉඳන් පයින් ගියත් පැය 4ට වගේ යන්න පුළුවන්. ටවුන් එකේ ඉඳන්ම දුර කිලෝ මීටර 10ක් වගේ. ඕන නම් ශාන්ති පුර බස් එකේ ගිහින් යන්නත් පුළුවන්නෙ. කිකිලියමාන පැත්තට වෙන්න හොඳ ගෝන ගහණයක් තියෙන නිසා හිතේ හැටියට ගෝන්නු බලන්න කියාපු තැන. එතකොට කුරුලු විශේෂත් එමටයි. හැබැයි වන ගහණය තරමක් වැඩි නිසා පාර මාර්ක් කරගෙන යන්න අමතක කරන්න එපා හොඳද.
හරියට ගත්තොත් ඔය කඳු ටික, නයිට් 2කේ ටුවර් 2කින් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සෙ නගින්න ඕන කඳු ටික අපි ලබන සතියෙ කියන්නම්. වැඩේ පොඩ්ඩක් නැගල ගියාට පස්සෙ බලමුකො තෙත් කලාපෙ ඝන කැලේ පැත්ත. හරියටම ගත්තොත් නම් එහේ තමයි වැඩේ තියෙන්නෙ. ලෑස්ති පිට ඉන්න හොඳ්…