හැබෑට ම මොකද්ද මේ බ්‍රන්ච්? දන්නේ නැත්තන් අහගන්නකෝ. බ්‍රන්ච් කියන්නේ උදේ 11ට වගේ කන කෑමට. කොටින් ම කිව්වොත් උදේටයි දවල්ටයි කියලා වේල් දෙකක් නොකා, දෙකට ම හරි යන්න එක සැරේ කන එක තමයි මේ බ්රන්චින් කියන්නේ. දැන් ඉතින් සමහර අයට තමන්ගේ සාමාන්‍ය සති අන්ත දවසක් මතක් වෙනවා ඇති. උදේ 11ට විතර නැගිටලා, ඇල් වෙච්ච තේ එක බීලා, නිවිච්ච පරිප්පු හොද්දක් එක්ක දවල් හදපු බත් එක කන හැටි. හැබැයි මේ කතාව ඒ ගැන නෙවෙයි. මේ කියන්නේ සුද්දගේ තාලේ බ්‍රන්ච් එක ගැන.
ඉස්සර නම් ගොඩක් බ්‍රන්ච් තිබුණේ කොළඹ තියෙන ලොකු පහේ හෝටල්වල. ඒ වුණාට දැන් බ්රන්ච්වලට ම වෙන් වෙච්ච රෙස්ටෝරන්ට් සෑහෙන්න ගාණක් තියෙනවා. අන්න ඒ වගේ ප්ලේස් ටිකක් ගැන කියන්නයි මේ ලෑස්තිය.
1. Blackbird Brekkie and Brunch
මේක තියෙන්නේ කොල්ලුපිටියේ ආකේඩ් එකේ දෙවැනි තට්ටුවේ. “විච් වේ වෙස්ට්” රෙස්ටෝරන්ට් එකේ ම පැත්තක තමයි මේ වැඩේ වෙන්නේ. සුද්දගේ විදියට විතරක් නෙවෙයි, අරාබි රසට වගේ මේ ලංකාවේ අපේ තාලෙට හදපු බ්‍රන්ච් කෑම පෙළකුත් මෙයාලගේ මෙනු එකේ තියෙනවා. කොහොමද හොඳ රස ඇති පොල් රොටි, කිරිබත්, කට්ට සම්බල්, ලුණු මිරිස්, රෝස් පාන් ටිකක් කාලා, තේ එකක් එහෙම බිව්වම? ආයේ දවසට ම මුකුත් ඕනේ නැහැනේ.
2. OneUp All Day Breakfast
මෙතැන ගණන් හිලව් නම් ඩිංගක් වැඩියි. හැබැයි කීයක් දීලා කෑවත් පාඩු නැහැ. ඒ තරම් රසයි මේකේ කෑම. විශේෂයෙන් ම මෙයාලගේ ෆ්‍රයිඩ් චිකන් තියෙන කෑම ජාති ගොඩක් ම හොඳයි. එංගලන්තේ විදියට සුපිරි ලෙවල් එකේ බ්‍රන්ච් එකක් ඕනේ නම්, මේක තමයි පොට් එක. තියෙන්නේ බම්බලපිටියේ ගාලු පාර අද්දරමයි.
3. Let's Brunch
මේකත් තියෙන්නේ බම්බලපිටියේ. Don’s Deli එකේ උඩ තට්ටුවේ. ෂහ්! හරිම අපූරු වටපිටාවක් නේ මෙතැන තියෙන්නේ. නුදුරින් පේන්නේ දවල් වරුවේ අව් රැස් වැටිලා රිදී තරංග වගේ දිලිසෙන රැළි පිරිවරාගත්ත මුහුද. ඒ නිසා මුහුදු හුළඟ වැදි වැදී කෑම ගන්න පුළුවන්. මෙයාලගේ එන්ග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එක තමයි අපට හොඳට ම අල්ලලා ගියේ. කන්න බොන්න විතරක් නම් මදැයි, ලෙට්ස් බ්‍රන්ච් එකේ ඉඳගෙන චිත්‍ර පාට කරන්නත් පුළුවන්නේ! කම්මැලිකමක් නැතුව වරුවක් ගෙවන්න මරු තැන.
4. BakesByBella
කාලයක් තිස්සේ ආකේඩ් එකේ තිබුණු BakesByBella එක, මීට මාස කීපයකට උඩදී කොල්ලුපිටියේ ඇල්ෆඩ් හවුස් ඇවෙනියු එකට ගෙනාව බව ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. මෙහෙ ඉතින් කලින් කිව්ව තැන්වල තරම් ලොකු බ්‍රන්ච් මෙනුවක් නැහැ. හැබැයි බේගල්, සුප්, වොෆල්ස් වගේ කෑම ජාති කීපයක් ම තියෙනවා.
5. Black Cat Café
කොළඹ හතේ තිබුණා කියල නැහැ, බ්ලැක් කැට් කැෆේ එකේ තියෙන්නේ හරි ම නිස්කලංක ගතියක්. මේක ඇත්තට ම ලොකු ඉඩකඩ තියෙන ගෙයක් වගේ. ඉංග්‍රීසි තාලේ බ්‍රන්ච් කෑම අයිටම් කීපයක් ම මේ කට්ටිය ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගහෙන් කඩපු ගෙඩිය බ්ලෙන්ඩරේට දාලා හැදුවා වගේ නැවුම් ගතියට ෆ්‍රෙෂ් ජූස් එහෙමත් මෙහෙන් ගන්න පුළුවන්. ගණනුත් ෂේප්. කන්න බොන්න විතරක් නෙවෙයි, ඕනේ නම් කෝපි උගුරක් තොල ගාන ගමන් පොතක් පතක් කියවන්නත් මෙතැන නියමයි.
6. Life Food
ලයිෆ් ෆුඩ් එකේ කෑම රස බලන්න ඒ දවස්වල යන්න වුණේ ගුඩ් මාකට් එකට. ඒත් දැන් ඒ කරදරේ නැහැ. මොකද කොල්ලුපිටියේ පෙරහැර පාරේ මෙයාලගේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවනේ. බේරේ වැව කිට්ටුව තියෙන ලයිෆ් ෆුඩ් රෙස්ටෝරන්ට් එක වැඩිපුර ම හරියන්නේ අපේ වෙජිටේරියන් කට්ටියට තමයි (වෙජිටේරියන් අයටත් වඩා වීගන් අයට). හරි අපූරු ජූස් වර්ග කීපයකුත් මෙයාලගේ මෙනුවේ තියෙනවා. ගිහිල්ල ම බලන්නකෝ.
7. Cafe Kumbuk
කූල් එකේ ඉඳලා යන්න පුළුවන් නියම තැනක්! ආසියානු සහ යුරෝපිය හුරුවට හැදුණු බ්රන්ච්වලට හරි යන විදියේ මෙනුවක් මේ අය ළඟ තියෙනවා. මේකත් තියෙන්නේ කොළඹ හතේ. හරියට ම කිව්වොත් සුමිත්‍රයෝ ඔෆිස් එක ඇතුල් පැත්තේ. ගිය වෙලාවක මෙයාලගේ රෝස්ට් පාන් සැන්විච් එකක රස බලන්න අමතක කරන්න එපා හොඳද.
8. Kumbuk Kitchen
මේ ඉන්නේ කැෆේ කුඹුක්ගේ වෙජිටේරියන් මල්ලී! කැෆේ කුඹුක් කට්ටිය ම කරගෙන යන කුඹුක් කිචන් එකේ කෑමවල රස බලන්න නම් ගුඩ් මාකට් එකට යන්න ඕනේ. මේ කාණ්ඩෙගේ කෑමත් ගොඩක් ගැලපෙන්නේ අපේ වෙජිටේරියන් සහ වීගන් යාළුවන්ට. බ්‍රන්ච් කෑම විතරක් නෙවෙයි, හරි ම රස ජූස් වර්ග කීපයකුත් කුඹුක් කිචන් මෙනුවේ තියෙනවා.
එහෙනම්, මේ සති අන්තේ ම බ්රන්චින් පාරක් යමුද?