මස් මාළු විතරක් නෙවෙයි බිත්තර, සොසේජස්, එළවළු පවා, මදි නොකියන්න දාපු රස වෑහෙන ෆ්රයිඩ් රයිස්… වෙන කොහෙන්ද ඉතින්, අපිටම හරියන අපේම, ශ්රී ලංකන් චයිනීස් කඩේකින් මිසක්. අනික ඉතින් අතේ තියෙන ගාණට බඩේ ගිනි නිවන්න අපිට ඉන්නෙත් ඔය චයිනීස් අයියල ටික විතරයිනෙ.
කොහොම වුණත් ඉතින් ගැඹුරු තෙලේ බැදල කරල හදපු මස් තොගයක් එක්ක සෝස් රසවල් ගැළපිලා, එළවළුත් එක්ක මික්ස් වෙලා, තාච්චියෙ පිච්චිලා එන රයිස් එකක තියෙන ගැම්ම වෙන දේකින් ගන්න බෑනෙ. වැඩේ කියන්නෙ එහෙමයි කියල දකින දකින කඩවලින් රයිස් කන්නත් බෑ. ඇයි අප්පේ… මොන මළදානයක් දානවද දන්නෙ නෑනෙ.
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ…
මහන්සි වෙලා ගෙදර යද්දි එන බඩගින්න නිවාගන්න, නැත්නම් යාළුවෙක් දෙන්නෙක් කෑමකට යන්න කතා කළොත් එයාලත් එක්ක යන්න, එහෙමත් නැත්නම් පොඩි අඩියක් ගහන්න බයිට් එකක් ගන්න වගේ වුණත්, කියාපු ම රයිස් කඩ ටිකක් කියන්න. නැතත් ඉතින් ඔය තනි පංගලමෙ බඩ ගින්නක් නිවාගන්න වුණත් මේ තැන් අවුලක් නෑ. මොකද හැම තිස්සෙ ම කස්ටියත් එක්ක යන්න කියල එකක් නෑනෙ.
හ්ම්ම්… එහෙනම් ගොඩ වෙලා බලන්නකො! බාගෙ වෙලාවට මේ තැන් ඔයාලත් දන්නව ඇති ඉතින්.
1. Thejan Hotel
ෂප්පේ… මතක් වෙද්දිත් කටට කෙළ උනන රයිස් තමා ඈ. ආයෙ, නැති දෙයක් නැති තරම් මෙයාලගෙ රයිස් එකේ. චිකන්, බීෆ්, ඉස්සො, දැල්ලො, මාළු, සොසේජස්, බිත්තර… එතකොට චිකන් ඩෙවල් නම් එහෙමයි, බීෆ් ඩෙවල් නම් එහෙමයි. ඒ විතරක් නෙවෙයි මෙයාල ළඟ තියෙනව කියන්නකො බැදපු මාළු ෆ්රයිඩ් රයිස් එහෙමත්. ඔක්කොමත් හරි, හදිස්සියෙවත් ඔයාට හිතුණොත්… ඔයා ආස දේවල් දාලා රයිස් එකක් ගහ ගන්න, ඒකත් මෙයාලා කරල දෙනව. අනික ඉතින් රු. 400-500ට මේසෙට එන මේ රයිස් එකක් පැහැදිලිවම දෙන්නෙක්ට බඩ පැලෙන්න තියෙන නිසා පොකට් එකටත් අවුලක්ම නෑනෙ.
2. Dineinn
ඔය අතරෙ කාට හරි හිතුණොත්, වෙනසකටත් එක්ක ඉන්දියන් ෆ්රයිඩ් රයිස් එකක් රස බලන්න ඕන කියල. අන්න එයාට පුළුවන් කෙලින්ම වැල්ලවත්ත, ඩුප්ලිකේෂන් එකේ ඩයින් ඉන් එකට යන්න. තඩි රෝස්ට් චිකන්, තන්දුරි චිකන් නැත්නම් කරි චිකන් පළුවක් එක්ක මේසෙට එන සුපිරි ෆ්රයිඩ් රයිස් එකක් තියෙනව මෙයාලා ළඟ. ඒ විතරක් නෙවෙයි තඩි ඉස්සො, දැල්ලො දාපු සීෆුඩ් ෆ්රයිඩ් රයිස් එහෙමත් තියෙනව. හැබැයි ඉතින් ඔය කොයි එකත් මසාලා රහට තමයි හැදෙන්නෙ. එහෙමයි කියල ඒකට දාන එළවළු, අඩුම කුඩුමවල අඩුවක් වෙන්නෙ නෑ. අනික ඉතින් එක රයිස් එකක් දෙන්නෙක්ට ඇති වෙන්න තියෙන නිසා බජට් ප්රශ්නයක් වෙන්නෙත් නෑනෙ.
3. Navro Beach Restaurant
ඕන ජාතියකින්, අතේ තියෙන ගාණට රයිස් කන්න කියාපුම තැන. තියෙන්නෙ පානදුර බීච් එක කෙළවරේ ම. මෙයාලගෙ රයිස්වල තියෙන විශේෂත්වය තමයි කන කටක් කටක් ගානෙ එන සුපිරි නැවුම් බව. අනේ මන්දා වචනවලින් කියන්න තේරෙන්නෙ නෑ ඒක… දාන ගෝවා, කැරට් කෑල්ලෙ ඉඳන් ලූණු ටිකයි ඉස්සො, දැල්ලො, චිකන් ටිකේ පවා ඒ නැවුම් ගතිය එලෙසින්මනෙ. වැඩේ කියන්නෙ වෙන තැන්වල වගේ නෙවෙයි බීෆ්, පෝර්ක් ගත්තත් සුපිරියටම තියෙනවනෙ. මම හිතන්නෙ කෝකියගෙ අත්ගුණේ වෙන්න ඕන.
ඔක්කොමත් හරි දෙන්නෙක්ට නෝර්මල් එකේ කන්න පුළුවන් ඒ රයිස් එකක් රු. 400-500යි කිව්වාම! පිස්සු හැදෙනවනෙ ඉතින්.
4. The Colombo Food Court
ඔන්න ආයෙත් තියෙනව අපේ චයිනීස් රහට ෆ්රයිඩ් රයිසක් කන්න කියාපු තැනක්. හැබැයි රෝස්ට් චිකන්, ඩෙවිල් චිකන්, කරි චිකන් වගේ ඒවයින් විතරයි මෙතන රයිස් හැදෙන්නෙ. ඒත් ඒවයෙ රස සුපිරි නිසා ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ. එළවළු, බිත්තර අඩුම කුඩුම ටිකත් හොඳ හැටි දාලා සෝස්වලින් රස පදම හැදිලා උණු උණුවෙ මේසෙට එන මේ රයිස් එකක් දෙන්නෙක්ටත් ඇති ගානයි. නැතත් ඉතින් එකක් රු. 300-400ක් වගේනෙ වෙන්නෙ. කොහොම වුණත් ෆුඩ් කෝට් රයිස් එකේ සැර ගතිය හදාගන්න නම් කාට කාටත් චිලිපේස්ට් ටිකක් එකතු කරගන්න වෙනව.
5. Kushmi Foods
මෙන්න රයිස් කඩ කිව්වලු. ලොකු ලොකු දේවල් නෑ. තියෙන්නෙ ෆ්රයිඩ් චිකන්, ඩෙවල් චිකන් වගේ ඒවා විතරයි. හැබැයි රයිස් එක දානව ඇඬෙන්න. කීරි සම්බා හාලෙ බත අරගෙන මදි නොකියන්න ලීක්ස්, කැරට්, ගෝවා දාලා චිකන් කෑලිත් හීනියට ලියල මික්ස් කරල තමයි මෙයාලගෙ රයිස් එක මේසෙට එන්නෙ. අනික ඒකෙ සෝස් අඩුම කුඩුම පදමත් නියම ගාණටනෙ. ඊටත් බත් ඇට තාච්චියෙ පිච්චිලා පුදුම රසක් තියෙන්නෙ. අවංකයෙන්ම රු. 250-350ට සුපිරි රයිස් එකක් කනව නම් දෙහිවල, ගාලු පාරෙ කුෂ්මි එකත් මරුම තැන ආ…
6. Kamrose Restaurant
ලැයිස්තුවෙ අන්තිමට දැම්මට මොකද කඩේ සුවපහසුවත් හැදුණ නම් වෙන චයිනීස් එකකට කිට්ටු කරන්න බැරි වෙනව. ඇත්තටම කැම්රොස් එකේ කොයි රයිස් එකත් පංකාදු පහයි. ඒකට හේතුව තමයි කෝකි අයිය. සුපිරිම වැඩ්ඩෙක්. රෝස්ට්, ඩෙවල්, තන්දුරි, සිංගපෝර්, මැලේ වගේ රස වර්ග 5, 6කට හැදෙන චිකන් ජාති ඕන එකකින්, කැම්රොස් එකට යන ඔයාට ෆ්රයිඩ් රයිස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්සො, දැල්ලො, මාළු වර්ගත් රස තොගයකින් මෙයාල ළඟ තියෙනව. කොටින්ම කියනව නම් රු. 400-500 අතරෙ යන කැම්රෝස් රයිස් ටිකේ… බුල්සායි, සොසේජස් පවා තියෙනවනෙ. හැරත් ඒ එකකින්, දෙන්නෙක්ගෙ බඩවල් ගේමක් නැතුව පුරවන්නත් පුළුවන් නේ!
ඔන්න ඔහොමයි අපි දන්න කඩවල් ටික.
තව කඩ තිබ්බට මොකද මේ වෙලාවෙ හරියන්නෙ නෑනෙ. මොකද ඒවා ටිකක් පොෂ්!
ඒත් ඔයාලට අවස්ථාව තියෙනව ඔයාලා දන්න කඩ අපිට කියන්න. ඔය හැන්දෑවට හැන්දෑවට රයිසක් කන්න, ගොඩවෙන කඩවල් එහෙම…
ඔයාලටත් ඇතිනෙ නේ?