අපේ රටේ හුඟ දෙනෙක්ගෙ ප්‍රවාහන මාධ්‍යය තමයි පොදු බස් රථ සේවාව කියන්නෙ. ප්‍රවාහනය හැරුණාම සුළුතරයකගෙ රැකියා අවශ්‍යතා සපුරන්නත් බස් රථ සේවාවට පුළුවන් වෙලා තියෙනව. අවුරුදු ගාණක් තිස්සෙ බස්වල ගමන් බිමන් යන උදවිය අතරෙ ඉඳල හිටල නැත්නම් හදිස්සියකට බස්වලට ගොඩවෙන අයත් අපි අතරෙ ඕන තරම් ඉන්නවනෙ. ඉතින් ඒ හැමෝටම දැන ගන්න මට හිතුණා උදේ හවහ බස් එකේ යද්දි එද්දි හමුවෙන ‘ඇණ’ දහයක් ගැන ඔයාලට කියන්න. බලන්න මෙයාලව ඔයාලටත් මුණ ගැහිල තියෙනවද කියල.
1. සල්ලි හොරු
ගොඩක් වෙලාවට කොන්දොස්තරල තමයි මේ සවුත්තු වැඩේ කරන්නෙ. මගීන්ගෙ රුපියලට, දෙකට, රුපියල් පහට විදින්න උපන් හැකියාවක් තියෙන මේ වගේ කොන්දොස්තරල වැඩි දෙනෙක්ම ඉන්නෙ කෙටි දුර ධාවන බස් වල. මාරු සල්ලි ටික සාක්කුවෙ දාගෙන රුපියල් පහේ, දහයෙ කාසි විතරක් අතේ තියාගෙන ”මාරු නෑ, මාරු නෑ” කියන්න මෙයාල හරි දක්ෂයි. හැබැයි ඉතින් හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියල කොන්දොස්තරටත් කොලේ වහන මගීනුත් නැතුව නෙවෙයි. සෙනඟ වැඩි වෙලාවට අඩුම ටිකට් එක අරන් වැඩිම දුරක් යන මේ මගීන්, අර කොන්දොස්තර හොරුත් එක්ක තකට තක පෑහෙන්න කියාපු කට්ටියක්.
2. සීට් පෙරේතයො
හූනෙක් වගේ ඉඳගෙන කකුල් දෙක අවාන වගේ පළල් කරගෙන සීට් එකෙන් තුනෙන් දෙකක් විතර අයිති කරගෙන ඉන්න හැටි. අනිත් මනුස්සය වාඩි වෙන්නෙ ඔළුව උඩින්ද දන්නෑ. අනික ඒ විදියට වීදුරුව පැත්තෙ වාඩි වෙලා හිටියාම වාඩි වෙන අනිත් කෙනාගෙන් භාගයක් විතරම සීට් එකෙන් එළියෙ. හිටගෙන ඉන්න අයටත් හරිම කරදරයි.
3. දුර කථිකයො
ජංගම දුරකථනයට එන, යන දුරකථන ඇමතුමේ අනෙක් පැත්තෙ රැඳිල ඉන්නෙ පුද්ගලයට ජංගම දුරකථනය නැතුව වුනත් ඇහෙන තරම් සද්දෙට කතා කරන කට්ටිය ඔයාලටත් මග තොටේදි හමුවෙලා ඇති. මුළු බස් එකම හැරිල බැලුවත් මෙයාලට නෑනෙ ගාණක්. සමහර වෙලාවට දුරකථන ඇමතුම් ආවේගශීලී වුනාම මෙයාලත් ඒ එක්කම ආවේගශීලී වෙලා බස් එක ඇතුලෙ කෑ මොර දීලා අත පය විසි කර කර හැසිරෙන්නෙ, ඉන්න කොහෙද කියල වත් මතක නැතුව. මේ වගේ කට්ටියගෙ ලඟ වාඩි වෙලා ඉන්න අයට මේ සිද්ධි ටිකක් කරදරකාරී වුනාට බස් එකේ යන අනිත් අයට නම් මේ වැඩේ හරිම විනෝජනකයි.
4. දොයිය බබාලා
බස් එකේ නිදා ගන්න එක වැරදියි කියන්න බැරි වුනත් සැප නින්දෙ ඉඳල එක පාරටම නැගිටලා ගාල කඩා ගත්ත හරකෙක් වගේ කකුල් පාග ගෙන, බෑග් මූණෙ වද්දගෙන, හිට ගෙන ඉන්න මිනිස්සු පෙරලගෙන බස් එකෙන් බහින එක නම් ලොකු වැරැද්දක්.
5. වැම්පයර්ලා
දවල්ට බස් එකේ අව්ව වැටෙන පැත්තෙ සීට් පේලියෙ ජනේල පැත්ත ඉඩ තියල බස් එකේ ඇතුල් පැත්තට වෙන්න වාඩි වෙලා ඉන්න මෙයාලගෙ හමට අව්ව වැටුණොත් සෑහෙන්න අවුල්.
6. හිටින්නෝ
මෙයාලා තමයි සාමාන්‍යෙයන් නැග්ග තැනම හිටින්නෙ. දොර ලඟින් අල්ලගෙන මුළු බස් එකම හිර කරන්නෙ. කාටවත් නගින්නත් බෑ. බහින්නත් බෑ. ඉස්සරහට යන්නෙත් නෑ. යන්න දෙන්නෙත් නෑ. එහෙම ඉඳල කොන්දොස්තර ආවට පස්සෙ තමයි පොඩ්ඩක් හරි ඉඩ දෙන්නෙ. ඒත් නිකන් නෙවෙයි. අඩුම තරමෙ සැර වචන දෙක තුනක්වත් එළියට එන්න ඕන.
7. හිටංලා
සීට් තියෙද්දිත් හිටගෙන ඉඳලා හදිස්සියෙ බ්රේක් පාරක් ගැහුවාම විසික් වෙලා ගිහින් කොහේ හරි වැදිලා මූණ තලාගන්න ආස කට්ටියක් තමයි මේ. හැබැයි මේ දවස් වල නම් ගොඩක් දෙනා හිටං යන්නෙ දාඩිය දැම්මාම සීට් වලට ඇඳුම් ඇලිලා සවුත්තු වෙන නිසා. වැස්ස දවස් වලටත් මේ ප්‍රශ්නෙ එනව. තෙමීගෙන ඇවිත් බස් එකට නැගලා වාඩි වෙන්න බෑනෙ. ඉතින් වතුර බේරෙනකම් හිටං ඉන්න අයත් ඉන්නවා. ඒ හැරුණාම වෙනස්ම හිටංල කට්ටියකුත් ඉන්නව. අයිනෙ පේලියක් අල්ලගෙන සීට් එකකට හේත්තුවක් දාගන්න මේ හිටංලා හිටං ඉන්නෙ හරස් අතට නිසා කාටවත් එතනින් එහාට මෙහාට යන්න බෑ. කොන්දොස්තර ඇවිත් සුද්ද සිංහලෙන් කියල තේරුම් කරනකම් ඔහේ ඉන්නව.
8. ජැක්සන්ලා
නම ඇහෙද්දි දන්නවනෙ කවුද කියල. පික් පොකට් කාරයො හැරුණාම බස් වල යන දරුණුම මිනිස්සු කොට්ඨාශයක් තමයි ජැක්සන්ලා. නිවිහැනහිල්ලෙ බස් එකට ගොඩවෙන මෙයාලා නිවිහැනහිල්ලෙම ගෑණු කෙනෙක් ඉන්න තැනක් බලල එතනට කිට්ටු කරන්නෙ නිවිහැනහිල්ලෙ එයාලගෙ ලිංගික ආශාවන් පිරිමහ ගන්න. සෙනඟ පිරුණු බස්වලට නැගල කාටත් හොරෙන් වැඩේට සෙට් වෙන්න මෙයාලට තියෙන්නෙ පුදුම හැකියාවක්. ඒ විතරක් නෙවෙයි, වැඩේ වැරදීගෙන වගේ එනව තේරුණොත් හරි අපූරුවට ඉරියව්ව වෙනස් කරන්නත් මෙයාල දන්නව. හැබැයි පුතෝ අහුවුනොත් නම් කන්න වෙන්නෙ රජ කෑමක්. ආශා නිරාශා වෙනකම් ගුටි කත හැකි.
9. ඉබ්බෝ
ලඟදි සමාජෙට ආපු විලාසිතාවක් හින්ද සිද්ධ වුනු වින්නැහියක්. මේ ප්රශ්නය ඇති කරන්නෙ කර මළු පැළඳීම ගැන හරි හැටි නොදන්න තරුණ කොළු ගැටවු. බෙල්ල ලඟට හිර වෙන්න පිටට තද වෙන්න කර මල්ල දාගන්න මේ කට්ටිය බස් එකට ගොඩ වෙන්නෙත් ඒක පිටින්මයි. උර පටි උපරිම තද කරල හිරට දාගත්තාම හදිස්සියකට ගලව ගන්න බෑ. හරියට කට්ටෙන් එළියට ආපු ඉබ්බො වගේ. ඉතින් මේ විදියට බස් එකට ගොඩ වුනාම තව මනුස්සයෙක් ඉන්න ඉඩ එහෙම පිටින්ම ඇහිරිලා. සුද්දො කඳවුරු බඳින්න ගෙනියන කර මළු ගොඩක් බර නිසා ඒව පිටට තද වෙන්න දාගන්නෙ ඇවිදීමේ පහසුවට. අපේ එවුන් පොතක් දෙකක් දාගෙන මෙලෝ බරක් නැතුව ඒක පිටට තද කරගන්නෙ අහවල් එහෙකටද මන්දා. එදා ඉඳන්ම අපේ ඈයො සුද්දො කරන දේවල් හරි හැටි නොදැන කරන්න ගිහින් ඇණ ගත්තු එකේ අද ඒ ගැන මොන කථාද?
10. වවුල්ලු
බස් එක ඇතුලෙ ඉඩ තියෙද්දිත් පා පුවරුවෙ එල්ලිලා යන තරුණ කොලු ගැටව් තමයි මේ මෝඩ වැඩෙත් කරන්නෙ. එහෙම ඉඳලා බ්‍රෙක් පාරකට වීසි වෙලා ගිහින් පාරට වැටිල වෙන වාහනයකට චප්ප වුනාම මේ වවුල හැර අනිත් හැමෝම අමාරුවෙනෙ. දැන් දැන් නම් ඔය වවුල්ලුන්ට නම් කොන්දොස්තරලගෙන් කිසිම සමාවක් නෑ. එක පාරක් සිංහලෙන් කියනවා. දෙවනි පාර සුද්ද සිංහලෙන් කියනවා. අන්න එතකොට වවුලට තේරෙනවා. එක්කො වවුල බස් එකෙන් බහිනවා. නැත්නම් උඩට නගිනවා.
මේ කට්ටිය හැරුණාම ඔය ගෑණු ළමයින්ට තමන්ගෙ දුරකථන අංකය දෙන්න අප්‍රමාණ උත්සාහයක් දරන අනංගයො, එතකොට වයසක මනුස්සයෙක් නැගපු ගමන් නින්ද ගිහින් ලස්සන ගෑණු ළමයෙක් නැගපු ගමන් ඇහැරිලා සීට් එක දෙන සුපිරි පැණියොත් බස් වල පේන්න නැතුවමත් නෙවෙයි. ඒ කොහොම වුනත් ගොඩක් නරක අය අතරෙ ඉන්න හොඳ මිනිස්සු කීප දෙනෙක් ගැනත් ලඟදිම ඔයාලට කියන්නයි YAMU අපේ බලාපොරොත්තුව. අනිත් කාරණේ තමයි ඔයාලත් ඉන්නෙ නරක ගොඩේ නම් අදින් පස්සෙවත් හොඳ ගොඩට එන්න. එතකොට අපි ඊලඟට ලියන ‘බස් වල යන මහත්වරු’ ලිපියෙ ඔයාලත් ඉඳීවි.