යාපනය..
යාපනය කියපු පමණින් අපිට මතක් වෙන්නේ යුද්ධය. යුද්ධය මතක් නොකර යාපනය ගැන කතා කරන්න අපිට පුරුද්දක් නෑ. ඒත් යාපනය කියන්නේ යුද්ධයකට වඩා විශාල නගරයක්. ලංකාවේ තියන ඉහළ ම ඓතිහාසික වටිනාකමකින් යුතු, ඒ වගේ ම ආකර්ෂණීය ම තැන් රාශියකින් නිර්මාණය වුණු නගරයක්.
ඉතින් අපි මේ හදන්නේ යුද්ධය මතක් නොකර යාපනය ගැන කතා කරන්න. මේ ලැයිස්තුවේ තියෙන්නේ යාපනේ සංචාරය කරද්දි ඕගොල්ලන්ට බලන්න යන්න පුළුවන් ලස්සන ම තැන් 20ක්. දවස් හයක හතක සංචාරයක් ගියොත් ඇරෙන්න එක ගමනකින් මේ හැම තැනක් ම කවර් කරන්න අමාරුයි. කීප සැරයක් ම යාපනේ ගිහින් තියන නිසා මට නං මෙතනින් තැන් දෙක තුනක් ඇරෙන්න අනික් හැම තැනක් ම බලන්න පුළුවන්කම ලැබුණා. නිතර යැවෙන ප්‍රදේශයක් නෙවෙයි නිසා ඕගොල්ලොත් ගිය වෙලාවක පුළුවන් තරං ඇවිදින්න. වෙනස් ම පරිසරයක අලුත් අත්දැකීම් ගොඩක් ලබන්න පුළුවන් වෙයි.
නල්ලූර් කියන නම හැදිලා තියෙන්නේ නල්ල + ඌර් කියන වචන දෙක එකතු වෙලා. දමිළ භාෂාවෙන් නල්ල කියන්නේ යහපත් කියන අදහස. ඌර් කියන්නේ ගම. උතුරු පළාතේ අතීතයේ පටන් පැවත එන කුල ක්‍රමය අනුව උසස් යැයි සැලකෙන කුලවල පුද්ගලයන් වාසය කරලා තියෙන්නේ නල්ලූර් ආශ්‍රිතව. ඒ නිසා උසස් පුද්ගලයින් වාසය කරන ගම, නැතිනම් යහපත් ගම කියන එක තමයි නල්ලූර් නමේ තේරුම. පෞරාණික යාපනය රාජධානියේ අගනුවර වෙලා තියෙන්නෙත් නල්ලූර් නගරය. නල්ලූර්වල තියන සුවිශේෂ ම තැන නල්ලූර් කන්දස්වාමි කෝවිල. ශ්‍රී ලාංකික හින්දු ජනතාව මහත් භක්තියෙන් යුතුව වන්දනා කරන පුදබිමක්.
කන්කසන්තුරේ නගරයේ, බොහෝ හාස්කම් සහිත කෝවිලක් වශයෙන් සැලකෙන නගුලේශ්වරම් කෝවිල ආසන්නයේ පිහිටලා තියන කීරිමලේ පොකුණ අලංකාර ගල් බැම්මකින් වට කරපු ස්වභාවික දිය පොකුණක්. මෙයින් ස්නානය කළාම රෝග සුව වෙන බවට ඇති විශ්වාසය නිසා බොහෝ දෙනෙක් මේ පොකුණ කරා ඇදී එනවා.
යාපනේ කියන්නේ අර්ධද්වීපයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ම නොවුණත් වැඩි වශයෙන් ජලයෙන් වට වුණු නගරයක්. අපි සාමාන්‍යයෙන් දකින කොළඹ සහ දකුණු වෙරළ තීරයන්ට වඩා යාපනේ වෙරළ තීරයන් වෙනස්. නිශ්චල ගතිය සහ පිරිසිදුකම තමයි උතුරු වෙරළ තීරයේ විශේෂත්වය. කන්කසන්තුරේ වෙරළ ඊට හොඳ ම උදාහරණයක්.
යාපනය ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව කන්කසන්තුරේ කෙටියෙන් හඳුන්වන්නේ KKS නමින්. ඉතින් යාපනේ යන වෙලාවක කන්කසන්තුරේ වෙරළ තීරයේ ඇවිදින්න අමතක කරන්න එපා. හැබැයි අර කියපු නිශ්චල සහ පිරිසිදු ස්වාභාවික පරිසරයට හානි නොකර..
ලංකාව උතුරු දෙසින් අවසන් වෙන තැන තමයි පේදුරු තුඩුව. පේදුරු තුඩුව නගරයට දමිළ භාෂාවෙන් කියන්නේ පරුතිතුරෙයි කියලා. එහි තේරුම ‘කපු වරාය’. මේ නම වැටිලා තියෙන්නේ සියවස් ගණනාවක් තිස්සේ දකුණු ඉන්දියාවට කපු අපනයනය කළ වරාය පේදුරු තුඩුවේ පිහිටා තිබීම හේතුවෙන්.
ඒ විතරක් නෙවෙයි, පේදුරු තුඩුවේ ඇති ප්‍රදීපාගාරයත් එහි සංචාරය කරන ඔබට නැරඹිය හැකියි. ලංකාවේ අවසන් කොන සලකුණු කරන මෙතන, අපේ රටේ විවිධත්වයේ එකමුතුව සංකේතවත් කරන ස්මාරකයකුත් ගොඩනඟල තියනවා.
යාපනේ සංචාරයක දී පොළ අමතක කරන්න බෑ. කර්තකොලොම්බන්, කොට්ටකෙලෙංගු, තල් හකුරු, සීනි මුරුක්කු, බූන්දි වගේ ජාති ගන්න යන්න කියාපු තැන තමයි පොළ. ඒ ගියාම පොළේ ඉන්න වෙළෙන්දෙක් දෙන්නෙක් එක්ක ආගිය තොරතුරු කතාබහ කරල යාළු වෙන්නත් බැරියෑ..
නල්ලූර් නගරයේ පිහිටලා තියන මේ ගොඩනැඟිල්ල යාපනය රාජධානියේ රජ කළ සංගිලියන් රජතුමාගේ අමාත්‍යවරයෙකුගේ නිවස බවට සැලකෙනවා. දැනට එතන ඉතිරි වෙලා තියෙන්නේ නටබුන් වුණු ගොඩනැඟිල්ලක්. මෙහි තියන ලී කැටයම් සහ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පය නිසා වගේ ම, නගරයේ තියන පෞරාණික ම ගොඩනැඟිල්ලක් නිසා මෙය විශේෂත්වයක් උසුලනවා.
1933 වසරේදි විවෘත කළ යාපනය පුස්තකාලය යාපනය නගරයේ තියෙන වැදගත් ම සහ වටිනා ම තැනක්. 1981 මැයි 31 දා ගිනි තබා විනාශ කෙරෙන්නට පෙර, මේ පුස්තකාලය පොත් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතව, ආසියාවේ විශාලතම පුස්තකාල කිහිපයෙන් එකක් වෙලා තිබුණා.
2001 වසරේදි ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාලය නැවත විවෘත කෙරුණත්, ගිනි තැබීමට කලින් තිබුණු තත්ත්වයට පුස්තකාලය නැවත ගෙන එන්න කවදාවත් පුළුවන්කමක් ලැබෙන එකක් නෑ. මොකද මෙහි තැන්පත් කර තිබුණු තල්පත් සහ දමිළ ඉතිහාසය අඩංගු දුර්ලභ පතපොත සියල්ල ම ගින්නෙන් විනාශ වෙලා ගියේ සදහටමයි.
දමිළ දේශපාලන රැලියකදී සිංහල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීමෙන් පස්සේ, ඉන් කුපිත වුණු සිංහල දේශපාලන කණ්ඩායමක් විසින් මේ ගිනි තැබීම සිදු කළා. ඉන් නොනැවතුණු ඔවුන් කඩ, කෝවිල්, කාර්යාල සහ නිවෙස් කඩා බිඳ දමමින් තවත් පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කළා.
පුස්තකාලය ආසන්නයේ ම පිහිටලා තියන ඔරලෝසු කණුව, යාපනය නගරයේ තියන ඔබ දැකිය යුතු ම විශේෂ ස්මාරකයක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. වේල්සයේ කුමරා ඇල්බට් එඩ්වඩ් 1875 දී ලංකාවට පැමිණීම සමරන්න තමයි මේක ගොඩනඟල තියෙන්නේ.
යාපනේට ම ආවේණික රසක්. වැල්ලවත්තෙත් රියෝ එකක් තිබුණට නියම රියෝ අත්දැකීම ලබන්න නං යාපනේ රියෝ එකට ම යන්න ඕන. මේක දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන, සරු බිස්නස් එකක්. රියෝ එක පිහිටලා තියෙන්නේ යාපනේ නගර මධ්‍යයේ. ගිය වෙලාවක අනිවාර්යයෙන් ම ගොඩ වෙලා එයාලගේ එක එක රහ අයිස්ක්‍රීම් රස බලන්න අමතක කරන්න එපා.
ඕන ම සංචාරයකදි අපි සංචාරය කරන ප්‍රදේශයේ කෑමබීම මිස් කරගෙන බෑනේ. යාපනේ නගරයේ තියන පරණ ම රෙස්ටොරන්ට් එකක් මලයන් කැෆේ. යාපනේට ම විශේෂිත කෑම වර්ග, කෙසෙල් කොළේ උඩ තියාගෙන රහට කන්න මෙතෙන්ට ගියොත් පුළුවන්. අවුරුදු ගණනාවක් එක ම රහට කෑම හදන මේ කෑම කඩේ මෙච්චර කල් පවතින්නේ ජනතාව එයාලා ගැන තියල තියන විශ්වාසය නිසාමයි.
හැන්දෑවට යාපනේ ඉර බහිනවා බලන්න යන්න හොඳ ම තැන යාපනේ කොටුව. මේක හදල තියෙන්නේ ලංකාව ආක්‍රමණය කරපු පෘතුගීසි ජාතිකයන් විසින් 1618 දි. ඉන්පස්සේ 1658 දි මේ කොටුව ලන්දේසීන් අතටත්, 1795 දි ඉංග්‍රීසීන් අතටත් පත් වුණා. පෘතුගීසි සමයට අයත් ආණ්ඩුකාරයාගේ නිවස, රැජිනගේ නිවස, පල්ලිය, ක්‍රීඩා පිටිය, පොලිස් නිල නිවෙස් ආදී ගොඩනැඟිලි රැසක් කොටුව ඇතුළේ පිහිටා තිබුණා.
මණ්ඩතිවු කියන්නේ යාපනේ ඉඳන් කයිට්ස්වලට දිවෙන පන්නයි පාරේ මඳ දුරක් ගමන් කළාම හම්බෙන ලස්සන ගමක්. සංචාරක කුරුල්ලන් ගැවසෙන ප්‍රදේශයක් විදිහට මේ හරිය ප්‍රසිද්ධයි. ඒ වගේ ම වෙරළ තීරයට ගියොත් ජලජ පක්ෂීන් එහෙමත් දැකගන්න පුළුවනි.
යාපනේ තියන සැඟවුණු පුදුමයක් විදිහට මෙතන හඳුන්වන්න පුළුවන්. මනල්කාඩු කියන්නේ වැලිතලාවක්. හරියට කාන්තාරයක් වගේ. මෙතෙන්ට ගියාම දැනෙන්නේ මැද පෙරදිග රටක ඉන්නවා වගේ. එක පැත්තකින් සුසාන භූමියකිනුත් තවත් පැත්තකින් සාන්ත අන්තෝනි පල්ලියේ නටබුන්වලිනුත් වට වෙලා තියන මේ වැලිතලාව හරි ම ආකර්ෂණීයයි. එහි පිහිටීමත් පුදුම සහගතයි.
බෞද්ධ බැතිමතුන් වන්දනාමාන කරන්න යන නාගදීප විහාරය වගේ ම, හින්දු බැතිමතුන් වන්දනාමාන කරන්න යන නාගපූශනී අම්මාන් කෝවිල තියෙන්නෙත් නයිනතිවු දූපතේ. නාගදීපයේ චූලෝදර මහෝදර නා රජුන් අතර පැවති ගැටුම සංසිඳවන්න බුදුන් ලංකාවට වැඩිය බවට බෞද්ධයන් විශ්වාස කරනවා. නාගපූශනී අම්මාන් කෝවිල නාගපූශනී හෙවත් පාර්වතී දේවිය සහ ශිව දෙවියන් වෙනුවෙන් කැප කරන ලද කෝවිලක් බව හින්දූන් විශ්වාස කරනවා. නයිනතිවු යනවා නම් කුරිකට්ටුවාන් ජෙටියේ ඉඳන් බෝට්ටුවෙන් තමයි යන්න ඕනේ.
නෙඩුන්තිවු හෙවත් ඩෙල්ෆ් දූපත යාපනේ සංචාරයේ සුවිශේෂ ගමනාන්තයක්. මේක වර්ග කිලෝමීටර් 50ක පුංචි දූපතක්. බලන්න තැන් කීපයක් ම මේ දූපතෙත් තියනවා. එකක් තමයි හත්වෙනි සියවසේ අරාබි වෙළෙන්දන් පැල කරපු විශාල බයෝබැබ් ගහ. ඊට අමතරව වැවෙන ගල, පෘතුගීසි කොටුවේ නටබුන්, පෝනි, පරෙවි කූඩුව, කොරල් තාප්ප, යෝධ පා සලකුණ වගේ ඩෙල්ෆ්වලට ම විශේෂ තැන් රැසක් තියනවා.
ඒ වගේ ම ඩෙල්ෆ්වල වෙරළ තීරය හරි ම සන්සුන්, නිහඬ, නිශ්චල තැනක්. ඉතින් ඕගොල්ලොත් ගිහින් බලන්න. ඉන්දියන් සාගරය හරහා පැයක කාලයක් පුරා ඩෙල්ෆ්වලට යන බෝට්ටු ගමන එහෙම අමතක නොවන අත්දැකීමක් වෙයි.
යාපනය අර්ධද්වීපයට අයිති තවත් දූපතක් කයිට්ස්. යාපනය නගර මධ්‍යයේ ඉඳන් පන්නයි පාරේ දිගට ම ගියාම කයිට්ස්වලට යන්න පුළුවන්. මේ පන්නයි පාරත් සාමාන්‍යයෙන් ලංකාවේ වෙන කොහෙවත් දකින්න ලැබෙන්නේ නැති විදිහේ පාරක්. මේක මුහුද මැදින් දිවෙන පාරක් නිසා පාර දෙපැත්තේ ම තියෙන්නේ මුහුද. ඒත් මේ මුහුද හරි ම නිහඬයි. ඉර බහින හැන්දෑවක මේ පාර අයිනට ගියොත් හරි ම සන්සුන්, සාමකාමී වටපිටාවක් විඳගන්න වගේ ම ලස්සන දර්ශනයක් දැකගන්නත් පුළුවන්.
අතීතයේ වරායක් විදිහට පාවිච්චි වුණ දඹකොළපටුනේ දැන් නම් තියෙන්නේ විහාරයක්. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කළේ මේ වරායෙන් බවට වන විශ්වාසය තමයි ඒකට හේතුව. මුහුදට මායිම්ව පිහිටලා තියන නිසා මේ විහාරයේ පිහිටීම ඉතා ම ලස්සනයි.
1916 දි බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කෙරුණු කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය මීටර් 25-30ක පමණ උසින් යුක්තයි. මේ ප්‍රදීපාගාරය දැනට පවතින්නේ අක්‍රියවයි. මීට මායිම්ව පිහිටලා තියන, වැඩි දෙනෙකුගේ ඇස නොගැටුණු වෙරළ තීරයත් හරි ම සුන්දරයි.
මේ වෙරළ තීරයත් පිහිටල තියෙන්නේ කරෙයිනගර්වල. ඒ කියන්නේ යාපනේ නගරයේ ඉඳන් කිලෝමීටර් 20ක විතර දුරින්. මේ වෙරළට මේ නම වැටිලා තියෙන්නේ වෙරළ දිගට වැවුණු කැසුරිනා ගස් නිසා. යාපනේ තියන ලස්සන ම බීච්වලින් එකක්. බොහෝ දුරක් යනකන් මුහුද නොගැඹුරු නිසා, වෙරළේ ඉඳන් මුහුද මැදට යනකන් හුඟක් ඈතට ඇවිදන් යන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.
කරෙයිනගර්වල තියන හැමන්හිල් කොටුව තියෙන්නේ ගොඩබිමින් එහාට වෙන්න තියන දූපතක. අතීතයේදි මේක භාවිත කරලා තියෙන්නේ සිර කඳවුරක් විදිහට. විශේෂ ගෘහ නිර්මාණ ශිල්පය සහ පිහිටීමේ වැදගත්කම නිසා මෙතනට සංචාරකයන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. මේක බලන්න ගියොත් එතන ම තියන ෆෝට් හැමන්හිල් රිසෝට් එකේ සුන්දරත්වයත් විඳගන්න පුළුවන්.
Day outing packages available in and around Colombo.
The 2021 edition of buffets in Colombo.
Post-lockdown high tea seshs in Colombo.
Where, how, and why to find love in the paradise island.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Delete Comment