Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

හවසට පත්තු වෙන සුපිරිම කොත්තු කඩ! ඕන කොත්තුවක් රු. 500ට අඩුවෙන් කන්න කියාපු කඩ 8ක්

ලට්ට පට් එකතු කරල දවසෙ ඉතුරු හරිය සද්ද බද්ද…

Posted by

ලට්ට පට් එකතු කරල දවසෙ ඉතුරු හරිය

සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය…

මල්ලි, ගෑස් ලිපේ යකඩ තැටිය

රත් වෙද්දි හදන මේ කොත්තු තියෙනව නේ. ලංකාවෙ ජාතික කෑම වගේ තමයි. වැඩිය ඕන නෑ සුද්දොත් මෙහේ ඇවිල්ල හොයන්නෙ කොත්තු කියන්නකො. ඒ තරම් නම ගිය කෑමක් මේක.

මුලදි මුලදි කොත්තු හැදෙන්න මුල් වුණේ කපාපු ගෝදම්බ රොටි වුණාට අපේ කුක්ස්ලගෙ එකඑක සෙයා ගැනීම් නිසා අද වෙද්දි ඉඳි ආප්ප, නූඩ්ල්ස් වගේ දේවල් දාලාත් කොත්තු ගහනව. ඒ ට්‍රෙන්ඩ් එකේ අලුත්ම සොයා ගැනීම තමයි ඩොල්පින් කොත්තු කියන්නෙ. ගෝදම්බ රොටි වෙනුවට පරාටා දාලා ගහන පට්ට රස කොත්තුවක්. වැඩි දෙනෙක් නොදන්නව වුණාට සමහර කඩවල ප්ලේන් ආප්ප එහෙමත් දාලා කොත්තු ගහනව කියන්නකො.

ම්ම්… ඔය චීස් කොත්තු, මසාලා කොත්තු, පලාන්දි කොත්තු වගේ වෙනස් වෙනස් රසවලට ගහන කොත්තු ගැන නම් ඔයාලා දන්නවත් ඇතිනෙ. වැඩේ කියන්නෙ, කොත්තුවට දාන මස් මාළු ජාතිය වෙනස් කරල ගැහුවාම, කොත්තුවක් නැගල යන නැගිල්ල වෙන නම් වෙන කිසි දෙයකින් ගන්න බෑ. එතකොට ඔය මට්න් කොත්තු, ඉස්සො, දැල්ලො කොත්තු, ඒ හැරුණාම වෙජිටේරියන් කට්ටියට ගහන කොස් කොත්තු වගේ කොත්තුත් හොයාගෙන කන්න වටින කොත්තු තමයි.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔය හැම කොත්තුවක්ම වගේ අතේ තියෙන ගාණට රස බලන්න පුළුවන් කඩ ටිකක් ඔයාලාට කියන්න. හැරත් පඩි එන දවස් ටිකනෙ, ලෝන්ග් වීක්එන්ඩ් එකකුත් නැති නිසා ට්‍රැවල් පැත්තකින් තියල දාමුද පොඩි කොත්තු පාටියක්!

1. Chop Chop Kottu

අපි කියලයි, කාලා බලලයි දැනටමත් ගොඩ දෙනෙක් හොඳ හැටි දන්න කියන කොත්තු කඩයක්. තියෙන්නෙ බොරැල්ල, කාසල් වීදියෙ. කෙටියෙන් කියනව නම් ඔයාලා හීනෙකින්වත් හිතන්නෙ නැති, එක එක රසට හැදෙන කොත්තු ජාති 12කට කිට්ටු වෙන්න මෙයාලගෙ මෙනුවෙ තියෙනව. රස අතින් නම් පංකාදු පහයි. අනික අපිට ඕන විදියට සැර ගතිය, චීස් රස එහෙම කියල වෙනස් කරගන්න පුළුවන් නිසා ආසාවෙන් කන්න පුළුවන්. එළවළු අඩුම කුඩුම ටිකත් එක්ක අමුතුම කොලිටියකට මික්ස් වෙන මෙයාලගෙ කොත්තුවල මස්, මාළුවලින් එන්නෙ පට්ට රසක්. වැඩේ කියන්නෙ ඊටත් එහා කොත්තුවෙ සුවඳ. දැක්කාම ඇති කටට කෙළ උනන්න.

2. Yacht Cabin

අපේ විශ්වි ළඟදි හොයා ගත්තු සුපිරි කඩයක්. තියෙන්නෙ වැල්ලවත්ත, මරීන් ඩ්‍රයිව්, ස්ටේෂන් ඇවිනියු එකේ. රොටිවලින් දාන කොත්තු තමයි මෙයාලා නියමෙටම දාන්නෙ. ඒ හැරුණාම නූඩ්ල්ස්, ඉඳි ආප්ප කොත්තු එහෙමත් ඇති, හැබැයි වැඩිය ප්‍රසිද්ධ නෑ. කොහොම වුණත් මෙයාලගෙ බීෆ් කොත්තුවයි, රෝස්ට් චිකන් කොත්තුවයි, ඕනම ජාතිය චීස් කොත්තුයි තමයි නැගල යනව කියන්නෙ. ලෝකල් ටයිප් එකට දාන නිසා සැර අඩු වැඩිය නම් කියාපු ගාණට. අනික එළවළු එහෙමත් ලෝබ නැතුව දාලා හැදෙන කොත්තුනෙ. පංකාදු පහයි.

3. Pilawoos

පිලා එකේ කොත්තු ගැන අමුතුවෙන් කියන්න ඕන නැති නිසා මෙයාලා ගැන පුංචි රස කතාවක් කියන්නම්. පහුගිය දවසක අපේ යාළුවෙක් පිලා කොත්තු බාස්ට කියල පාන් කොත්තුවක් දාගෙන ආවා කියන්නකො. පාන් පොඩියට කපල, රස පදමට එළවළු, රෝස්ට් චිකන් ටික දාලා, චීසුත් පොඩ්ඩක් වෙන්න දාලා පංකාදු පහයි. කොටින්ම කියනව නම් ගමකට කතහැකි. ඒ වගේම තමයි මෙයාලගෙ ඉඳි ආප්ප චීස් කොත්තුවත්. හැබැයි මතක ඇතුව සැර පොඩ්ඩක් වැඩි කරල ගහන්න කියන්න. ගොඩ දෙනෙක් දන්නෙ නැති වුණාට පිලා එකේ ඩෙවිල් කොත්තු එහෙමත් තියෙනව. කොහොම වුණත් මෙයාලගෙ කොත්තු සයිස් එකෙනුත් ලොකු නිසා නෝර්මල් වෙලාවකට දෙන්නෙක්ට වුණත් බඩ කට පිරනේන කන්න පුළුවන්.

4. Nana’s

පිලා වගේම නම ගිය ශ්‍රී ලංකන් චයිනීස් කඩයක් තමයි මේ ගෝල් ෆේස් නාන්ස්. දයියා කොත්තු රස බලන්න කියාපු තැන. දන්න විදියට මෙයාල ලඟ ඉඳි ආප්ප කොත්තු නම් නෑ  හැබැයි ඩොල්ෆින් කොත්තු, නූඩ්ල්ස් කොත්තු, වගේ කොත්තු නම් තියෙනව. හැබැයි නානාස් කොත්තු බාස්ට කියල ඩෙවිල් කොත්තුවක්, ඉස්සො කකුළුවො කොත්තුවක් එහෙම වුණත් දා ගන්න පුළුවන්. මෙයාලගෙ කොත්තුවල එළවළු අඩුම කුඩුම ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. නියම ගාණට තියෙනව.

5. Mithuro Cafe

ඕන කොත්තුවක් ඕන විදියට කියල දාගන්න පුළුවන් මිතුරො ටිකක් ඉන්න තැනක් තමයි මිතුරෝ කැෆේ කියන්නෙ. තියෙන්නෙ බම්බ, ඩුප්ලිකේෂන් පාරෙ. මෙයාලගෙ ඉඳි ආප්ප කොත්තුවත් පට්ට රසයි. ඒ හැරුණාම සමහර දවස්වලට කිරි මාලු කොත්තු එහෙමත් තියෙනව. කොහොම වුණත් මෙයාලගෙ ඩොල්පින් කොත්තුව තමයි නැගලම යන්නෙ. ආ… ඒක නෙවෙයි මෙයාලා ලඟ ඔය පෝර්ක්, බීෆ් එහෙම නෑ හොඳද. අනිත් එක තමයි හිටපු ගමන් කොත්තු බාස් මාරු වෙන නිසා කොත්තුව හොඳ පැත්තට වගේම නරක පැත්තට වුණත් යන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට හොඳද.

6. Eat Right

එක එක ජාති ගොඩක් නැති වුණාට තිඹිරිගස්යාය, ලයාර්ඩ්ස් පාරෙ තියෙන ඊට් රයිට් එකේ චිකන් කොත්තුවයි, වෙජි කොත්තුවයි පට්ට රසයි. එයාලගෙ තියෙන්නෙ වොක් කොත්තු ටයිප් එකට හැදෙන කොත්තු. ඒ නිසා පොඩි වේලිච්ච ගතියක් එක්ක එන අමුතුම රසක් තමයි තියෙන්නෙ. හැරත් මෙයාලා කොත්තුවට එකතු කරන එළවළු, අඩුම කුඩුමවලත් හොඳ කොලිටියක් තියෙනව. ශ්‍රී ලංකන් චයිනීස් ටයිප් එකෙන් ටිකක් එළියට ගියපු කොත්තුවක් නිසා පැහැදිලි වෙනසක් එක්ක රස බලන්න පුළුවන්.

7. Grand Solis

තුන්දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් රස වෑහෙන තඩි පෝර්ක් කොත්තුවක් තමයි නාවල සෝලිස් එකේ තියෙන්නෙ. අඩියක් ගහන්නත් කියාපු. සාමාන්‍යයෙන් හොඳ පෝර්ක් කොත්තු හොයා ගන්න අඩු නිසයි මෙයාලගෙ කොත්තුව ගැන කියන්න හිතුවෙත්. සෝලිස් කොත්තුවට එකතු කරන එළවළු වගේම ඉඟුරු සුදුළූණුවලත් රස නියමෙට තියෙනව. ඒ හැරුණාම පෝර්ක්වලටම ගැලපෙන මරු ගම්මිරිස් සැරකුත් තියෙන නිසා තලු මර මර කන්න පුළුවන්. ගාණ රු. 1000ක් වගේ වුණාට කට්ටිය සල්ලි දැම්මාම නම් වැඩේ සෑහෙන ලාබයි.

8. Hotel de Plaza

කොල්ලුපිටිය ගාලු පාරෙ තියෙන ප්ලාසා හෝටලය කියන්නෙ කොත්තු විමානයක්. මස් මාළුවලින් ගත්තොත් බීෆ්, කිරි මාළු, ඩෙවිල් කොත්තු එහෙමත් තියෙනව. එතකොට ඉඳි ආප්ප කොත්තු, නූඩ්ල්ස් කොත්තු, ඩොල්ෆින් කොත්තු වගේම මසාලා කොත්තු, පලාන්දි කොත්තු, චීස් කොත්තු වගේ ඒවත් එමටයි. මෙතන කොත්තු බාසුත් හොඳ නිසා, එයාට කියල සැර අඩු වැඩිය චීස් පදම එහෙමත් අපිට ඕන විදියට හදා ගන්න පුළුවන්. හැබැයි එකක් මතක තියා ගන්න, කොත්තුවත් එක්ක එයාලගෙම ලයිම් එකක් හරි මයිලෝ එකක් හරිත් ගියා නම් මරේ මරු.

ඔය ටික හැරුණාම ඉතින් තව මේ වගේ කොත්තු කඩ ඕන තරම් තියෙන්න පුළුවන්, අපි නොදන්න ඔයාලා දන්න. ඉතින් ඒ කඩ අපේ යාළුවන්ටයි, අපිටයි දෙගොල්ලන්ටම දැන ගන්න කමෙන්ට් කඑන එක ඔයාලගෙ යුතුකම හොඳද.

Leave a comment