Artwork for U Pay Oct 2018

වැස්ස දවසෙ! රස මස් හොද්දයි, ආප්ප රොටි එක්ක උණු උණු ප්ලේන්ටියයි; ගහන්න කියාපු කඩ 7ක්

වැස්ස දවස්වලට යකෙක් කන තරම් බඩගිනියිනෙ. …

Posted by

ඇත්තනෙ ඉතින්, වැස්ස දවස්වලට යකෙක් කන තරම් බඩගිනියිනෙ. අනික ඒ බඩගින්නට ඔය පොඩි පොඩි දේවල් කාලා හරියන්නෙත් නෑනෙ. කටට සැරට හදාපු හොඳ කොත්තුවක්, රයිස් එකක් නැත්නම් මස් හොද්දක් එක්ක රොටි, අඩුම තරමෙ උණුඋණු බිත්තර ආප්පයක්වත්, නේ…

ඒක කාලත් ඉතින් නිකම් බෑ. දිවේ සැර ගතිය කැපිලා යන්න හොඳ ඉඟුරු ප්ලේන්ටියක්, වැඩි කහට ටී එකක්වත් තියෙන්න එපැයි නේ. අන්න ඒ නිසයිඅපි කල්පනා කළේ, මේ දවස්වල හැන්දෑවට වැඩ ඇරිලා යන ගමන් කට්ටියට එන යක්ස බඩගින්න නිවාගන්න, ගොඩවෙන්න හොඳ අපේ ටයිප් කඩවල් ටිකක් කියන්න. වැහි සීතල අස්සෙ හායි හූයි ගෑවෙන්න ශ්‍රී ලංකන් චයිනීස් ටිකක් කාලා කෝපියක්, ටී, ප්ලේන්ටියක් එහෙම ගැහුවා කියන්නෙ ඉතින්…

එහෙනම් ඔන්න, පහළින් තියෙනව කඩ ටික. යන ගමන් ගොඩ වෙලා බලන්නකෝ!

1. Thejan Hotel

මිරිස්, කරපිංච, ලූණු රස පදමට දාපු සුපිරි පොල් රොටියක් එක්ක තලු මරමර බීෆ් කරියක් රස බලන්න, යන්න බම්බ ගාලු පාරෙ තේජාන් එකට. ඇත්තටම හැන්දෑවට එතන මාර වැඩ ටිකක් යන්නෙ. පොල් රොටි විතරක් නෙවෙයි නාන් රොටි, ගෝදම්බ රොටි වගේ ඒවත් උණුඋණුවෙන් තමයි මේසෙට එන්නෙ. එ් විතරක් නම් බැරියැ, බලන්න එපැයි මෙයාලගෙ මස් කරි ටික. ෂප්පේ… මදි නොකියන්න මිරිස් තුනපහ දාලා හදල තියෙනව! කොටින්ම, ගෑවුණත් ඇති ගානයි කන්න. බාග වෙලාවට පරිප්පු, අල, කිරි මාළු වගේ එකක් එක්ක කලවම් හොද්දක් එහෙම ගත්තොත් නම්… ආයෙ ගමකට කන්නෙ, ගමකට ඈ…

2. Royal Bakery

රුපියල් දෙතුන්සීයකට නියම ප්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් වගේම ආප්ප, රොටි වුණත් කන්න කියාපු තැනක් තමයි වැල්ලවත්තෙ රෝයල් බේකරි එකත්. ඒ වගේම තමයි මෙයාල ළඟත් තියෙනව හොඳ රස පදමට හදාපු මස් කරි. හැබැයි ඉතින් බීෆ්, පෝර්ක් නම් නෑ. ඒත් කටට සැරට හදපු චිකන් එකත් එක්ක පරිප්පු ටිකක් කලවම් වුණා කියන්නෙත්… ගොඩම තමා ඉතින්. රොටි ගිලෙන්නෙ බසබස ගාලා. ඊටත් මෙයාලගෙ රයිස්, කොත්තු එහෙමත් පංකාදු පහට තියෙනවනෙ. කිව්වට විශ්වාස කරන්න යාළු කාලා ඉවර වෙද්දි ටී එකකුත් දෙනවා… සප්පේ! පිස්සු හැදෙන ගානයි.

3. Tast of Asia

මේකෙ නම් නැගලම යන්නෙ කකුළු කරියයි, මට්න් කරියයි තමයි. ඉඳි ආප්ප, ගෝදම්බ රොටි මරන්න පුළුවන්. සැර වගේම කුළුබඩු රසත් නියම ගාණට තියෙන නිසා කන්න කන්න ආසයි. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ කරිවල තෙල් ගතිය පොඩ්ඩක් වැඩි එක තමයි. ඒත් ඉතින් ආප්ප, පිට්ටු, රොටි ඕන දෙයක් එක්ක කිරි මාළු, මිරිස් මාළු, චිකන්, සීෆුඩ් වගේ කෑම තොගයක් තියෙන නිසා ඕන දෙයක් තෝරගෙන කන්න පුළුවන්නෙ. අනික ගණනුත් රු. 200-400 වගේනෙ.

4. Aroma

කඩේ නම් තියෙන්නෙ වත්තල පැත්තෙ. හැබැයි යන ගමන් ගියත් පාඩු නෑ. මොකද රොටි කන්න කියාපුම තැන. ගෝදම්බා, පොල් රොටි, නාන් එක්ක කරි ජාතිත් තියෙනව මදි නොකියන්න. විශේෂයෙන්ම මෙයාලගෙ බීෆ් එකයි චිකන් එකයි එහෙම සුපිරියිලු. රස පදමට රම්පෙ කරපිංච දාලා, මිරිස් තුනපහත් හොඳ හැටි දාලා… ඒත් එකක් මතක තියාගන්න. මෙතනින් මොනව කෑවත් කාලා ඉවර වෙලා හොඳ ටී එකක් ගහන්න. මොකද මෙයාලගෙ ටී එකත් පංකාදුයිලු.

5. Chasis

තලවතුගොඩට පිටකෝට්ටෙ අතර තියෙන හොඳ සුවපහසු තැනක්. නවරෝහල වැව දිහා බලාගෙන හිතේ හැටියට කොත්තු කන්න. එතකොට බාබකියු දාපු චිකන්, ෆිෂ්, සොසේජස් වගේ ඒවත්. ඒ විතරක් නෙවෙයි, රස වෑහෙන ඩෙවිල් ජාති එහෙමත් තියෙනවනෙ මෙතන. ඉතින් ඔය අතරට චීස් කොත්තුවක් වගෙත් දාගත්ත නම් ඉස්මුරුත්තාව තමයි. අර අවුලකට කියල තියෙන්නෙ  ගාණ පොඩ්ඩක් රු. 400 - 600 අතරෙ යන එකනෙ.

6. Rolex Hotel

ජීවිතේට අමතක වෙන්නැති රසක් තියෙන පට්ට මට්න් කරියක් එක්ක උණු උණු පරාටා ටිකක් බඩට දාගන්න, යන්න වැල්ලවත්තෙ රොලෙක්ස් හෝටලේට. රු. 300ට පාඩු නෑ මොකද දෙන්නෙක්ට කන්න පුළුවන් සයිස් එකේ මට්න් දීසියක් තමයි මේසෙට එන්නෙ. කන් දෙකෙන් දුම් දාන්න සැර තියෙන ඒ මස් කරි ටිකේ මිරිස් තුනපහ පදමත් නියම ගාණට නිසා තලු මර මර රස බලන්න පුළුවන්. අනික එතන රොටි විතරක් නෙවෙයිනෙ කොත්තු, රයිස් ඕන දෙයක්නෙ.

එහෙනම් ඉතින් හරිනෙ. හැබැයි ඔයාලා නිතර දෙවේලෙ ගොඩවෙන මේ වගේ කඩත් අපිට කියන්න ඕන. මොකද හැමදාම යන කඩවලට වඩා, අළුත් කඩේකට ගොඩ වෙන්න අපිත් ආසයිනෙ නේ…!

Leave a comment
Last 7 Days

Trending Today