Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

මෙදා සාහිත්‍ය මාසේ වෙනුවෙන් උණු උණුවේ පිට වුණු අලුත් ම සිංහල පොත් 10ක්

ඔයාලගෙ පොත් ලැයිස්තුවට...

Posted by

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ. සාහිත්‍ය මාසේ කියන්නේ ලංකාවේ ලොකු ම පොත් ප්‍රදර්ශනේ තියන මාසේ. ඒ නිසා ම සැප්තැම්බර් මාසේ කිට්ටු වෙද්දි පොත් එළිදැක්වීම් බහුලයි. අපි මේ කියන්න හදන්නේ ඒ විදිහට ළඟදි නිකුත් වුණු සිංහල පොත් 10ක් ගැන. මේ මාසේ 27 වෙනිදා වෙනකන් ම පොත් ප්‍රදර්ශනේ පැවැත්වෙනවා නේ. ඉතින් ඒ පැත්තේ යන්න ඉන්න ඔයාලගෙ පොත් ලැයිස්තුවට මේවත් එකතු කරගන්න සුදුසු ද කියල බලන්නකො..

අයි ඩී - මොහාන් රාජ් මඩවල

මාගම්සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා, කලම්බෝ වගේ නවකතාවලින් රසික හදවත් දිනපු මොහාන් රාජ් මඩවලගේ අලුත් ම නවකතාවේ නම අයි ඩී. මේක බිසෝ ප්‍රකාශනයක්. මේ පොත පාඨකයන්ට හඳුන්වා දෙන්න පොත ඇසුරෙන් නිර්මාණය කරපු ට්‍රේලර්ස් කීපයකුත් ඔහු මුහුණු පොතට මුදා හැරලා තිබුණා.

ගෙදර’වට සිතියම - ලියනගේ අමරකීර්ති 

අටවක පුත්තු, කුරුලු හදවත, අහම්බකාරක වගේ නවකතා වගේ ම, අර මිහිරි සීනු නාදය, අළු පැහැති ආරංචි වගේ කෙටිකතා පොත් කියවපු අය දන්නවා ඇති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වෙන මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියපු අලුත් කෙටිකතා පොත තමයි ගෙදර’වට සිතියම. පොත ප්‍රකාශයට පත් කළේ විදර්ශන ප්‍රකාශන ආයතනය.

අපොයියාව - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

සෙංකොට්ටන්. පොත්ගුල්ලෝ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් පොත් නොකියවන අයත් හොය හොයා කියවපු පොතක් නේ. සෙංකොට්ටන්, මාණික්කාවත වගේ නවකතා ලියපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අලුතෙන් නිකුත් වුණු යොවුන් නවකතාව තමා අපොයියාව. මේක සන්ථව ප්‍රකාශනයක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ කවියෙක් විදිහට නේ. ඔහු මුල් කාලේ ලියපු හිරුත් හිම පියල්ලක, ඇහි පියන් ඇහැරිලා කියන කවි පොත් එක්ක ම ඔහුත් බැහැදකින්න පුළුවන්, බුක් ෆෙයා එකේ කවි පොත් සල්පිල පැත්තට ගියොත්.

නින්ද නොගිය දවස්වල සටහන් - ධනංජය කරුණාරත්න

මුහුණු පොතේ බොහොම වැදගත් සටහන් ලියන කෙනෙක්, ප්‍රවීණ නාට්‍යවේදියෙකු වෙන ධනංජය කරුණාරත්න. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔහු, කොරෝනා සමය තුළ රචනා කරපු වටිනා සටහන් එකතුවක් පොතක් බවට පත් වෙලා. ඒ තමයි නින්ද නොගිය දවස්වල සටහන්. සුභාවි ප්‍රකාශනයක් වෙන මේ පොත අනිවාර්යයෙන් අරං කියවලා බලන්න. ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් වේවි.

රස පොළොව - ප්‍රභාත් ජයසිංහ

ලංකාවේ ඉන්න සම්මානයට පාත්‍ර වුණු ප්‍රවීණ කෙටිකතාකරුවෙකු වෙන ප්‍රභාත් ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. මකර තොරණ, දේව කන්‍යා, ස්වර්ණකාය, වයඹ දිග වැසියෙකුගේ දින සටහන් වැනි පොත් ලියූ ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය රස පොළොව. මේක සරසවි ප්‍රකාශනයක්.

පිදුම සමරෙට - ප්‍රියන්ත කොඩිප්පිලි

ලස්සනට එළිවැට එහෙම තියලා පද ගළපලා අපූරුවට කවි ලියන ප්‍රියන්ත කොඩිප්පිලි, කවියෙක් වගේ ම ඉරිදා ලංකාදීප පුවත්පතේ සේවය කරන පුවත්පත් කලාවේදියෙක්. මුහුණු පොත් වාසියෝ නම් අනිවාර්යයෙන් ඔහුගේ එක කවියක් වත් කියවලා ඇති. පහුගිය කාලේ ‘කොඩි’ කියන අපූරු කවි පොත ඔහු එළිදැක්වුවා. ඔහුගේ අලුත් ම කවි පොතේ නම පිදුම සමරෙට. කවි පොත් සල්පිලෙන් මිල දී ගන්න පුළුවනි.

ගුහා සටන - කාංචනා අමිලානි කරුණාමුනි 

ගම්මිරිස් කුරුල්ලා කියන කෙටිකතා පොත වගේ ම, ප්‍රේමයේ කාර්තු සහ බූමරංගය ඔබේ ඇස් දෙක කියන කවි පොත් ලියපු, කිවිඳියක් විදිහට සාහිත්‍ය ක්ෂේත්‍රයේ සලකුණක් තියපු කාංචනා අමිලානිගේ පළමු නවකතාව ගුහා සටන, සයුර ප්‍රකාශනයක් විදිහට පහුගිය දවසක එළිදැක්කා. මේ පොතට පදනම් වෙන්නේ ටිකක් අමුතු අත්දැකීමක්. අරං ම බලන්නකො.

ගිම්හානේ යන්න ගිහින් - සුනිල් විජේසිරිවර්ධන

මේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් රුසියානු බසින් සිංහලට පෙරළන ලද කාව්‍ය සංග්‍රහයක්. විදර්ශන ප්‍රකාශනයක්. රජතමය යුගයේ රුසියානු කවිකිවිඳියන් පස් දෙනෙකුගේ කවි රැසක් මීට ඇතුළත් බව ආරංචියි. ඉතින් සාහිත්‍යයට ලැදි අයට ඉතා වටිනා, දුර්ලභ කවි එකතුවක් විදිහට ගිම්හානේ යන්න ගිහින් හඳුන්වන්න පුළුවන්.

ආරාමදාස - ආරියවංශ අබේසේකර

විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරපු අලුත් නවකතාවක් මේ. දාගේ, හිරුගේ දියණිය වැනි කෘති ලියූ ආරියවංශ අබේසේකර, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණතම ලේඛකයෙක්.

විශිෂ්ට ය ක්‍රිෂිෂ්ටොෆ් - දිලීප ජයකොඩි 

ඉන්දීය ලේඛක චේතන් භගත්ගේ පොත් සිංහලට පරිවර්තනය කරලා අපිට සමීප කරපු දිලීප ජයකොඩිගේ අලුත් ම පරිවර්තනය විශිෂ්ට ය ක්‍රිෂිෂ්ටොෆ්. සුරස ප්‍රකාශනයක්. මෙය පෝලන්ත සිනමාවේ දැවැන්තයා කිසලොව්ස්කි ගැන දිගු විස්තරාත්මක තොරතුරු අඩංගු කෘතියක්. සිනමාලෝලීන්ට වැදගත් වේවි.

Leave a comment