Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Earl’s Passikudah

103, Pasikudah road, Kalkudah


The warm reception we received on arriving at Earl's was an early indication of how good a time we were going to have there. Only a short walk away from Passikudah beach, this friendly and comfortable little hotel will serve you well.



කණ ළඟ වද දිදී ආපු රේඩියෝව නතර වෙලා විනාඩි 5ක් යන්න ඇති. නින්ද, ඇස් දෙක හොයාගෙන එන ගමන් හිටියෙ. ඒත් කොහෙද ඉතින් හීනයක් දකින්න පටන් ගත්ත විතරයි උරහිසට පොඩි තට්ටුවක් වැටුන. බැලින්නම් කොන්දොස්තර අයිය.

“මාතියා, මෙතනින් බැහැ ගන්න. පාසිකුඩා වලට වීල් එකේ 300යි”

උඩ ගිහින් ඇහැරුනු මම දඩ බඩ ගාලා බෑග් එක කරේ දාගත්තෙ දිලිටත් තට්ටුවක් දාන ගමන්මයි.

“ඒ වාලච්චේනට ඇවිල්ල බන්. බැහැගමු”

විනාඩියට දෙකට බස් එකෙන් බැහැගත්තු අපි දෙන්න වීල් එකකට නැගල කෙලින්ම ගියේ පාසිකුඩාවල අර්ල්ස් හෝටලයට. දෙයියනේ කියල රස්තියාදුවක් නම් වුනේ නෑ. මොකද හැරෙන හංදියෙන්ම ඈත තියා හරි ලස්සනට Earl’s Passikudah කියන එක පේනවනෙ.

ඒත් පොඩි අවුලක්, හෝටලේ ජනෙල් දොරවල් හැම එකක්ම වගේ වහලනෙ.

“දිලී, වෙලාව බලපන් මචං” මම දිලීට කිව්වෙ හිතේ ඇති වුනු සැකේ නැති කර ගන්න.

“අඩේ, තාම පාන්දර 4යි බන්”

හරිනෙ ඉතින්, පාන්දර 4ට කොහොද හෝටල් අරින්නෙ. විනාඩි 5ක් 10ක් කතා කර කර ඉඳපු අපි දෙන්නගෙ අන්තිම තීරණය වුනේ සිකියුරිටි එකට කතා කරල අපේ බෑග් ටික රිසෙප්ෂන් එකේ තියන්න. අපි දෙන්නට නම් බීච් එක පැත්තට හරි යන්න බැරියැ. කොහොම හරි අපි දීපු පළවෙනි කෝල් එකෙන්ම වැඩේ හරි ගියා. දොර ඇරගෙන එළියට ආපු සිකියුරිටි එක්ක හෝටලේ ඇතුලට ගියපු දිලීයි මායි ඉස්තෝප්පුවෙන් බෑග් ටික තියල කැමරා දෙකත් අරන් එළියට බැස්සෙ හිතේ හැටියට බීච් එක දිගේ ඇවිදිනව කියල හිතාගෙන.

එතකොට පාන්දර 5ත් පහුවෙලා. කුළුඳුල් හිරු කිරණ හොරෙන් හොරෙන් පාසිකුඩා අහස එළිය කරද්දි දිලීයි මායි හිත හැරුනු අතේ ඇවිදින්න ගත්ත. කොයි පැත්ත බැලුවත් දකින්න තියෙන්නෙ හරිම ලස්සන දර්ශනතලයක් නිසා අපිට සීමා මායිම් තිබුනෙ නෑ. පාන්දරින්ම මුහුදු ගියපු ඔරු අස්වැන්නත් පුරවගෙන වෙරළට එන අපූරුව, එතකොට නැගෙනහිර අහසෙ රතු පාටට දිස්න දෙන ඉර පාසිකුඩා වළා තීරය පාට ගන්වන ලස්සන, පැය ගාණක් අපිව වෙරළ තීරයෙ තියා ගත්තෙ හිතා ගන්නවත් බැරි විදියට.

උදේ පාන්දරම සුන්දර පාරිසරීය අත් දැකීමක පහස විඳපු දිලීයි මායි ආපහු හෝටලයට එද්දි වෙලාව 7ත් පහුවෙලා. දොර අරිනවත් එක්කම ඉස්සරහට ආපු රිසෙප්ෂන් මිත්‍රයගෙ ගුඩ් මෝර්නින්ග් එක අපි දෙන්නට ගෙනාවෙ අමුතු ගැම්මක්. හරියට අර්ල්ස් හෝටලයෙ සේවාව උපරිමයෙන්ම සුහදශීලියි කියන එක නොකියා කිව්ව වගේ. ලොකු කතා බහකට මුල පිරෙන අතරෙ රිසෙප්ෂන් මිත්‍රයා අපිව අපේ කාමරේ පෙන්නන්න එක්කන් ගියා. දොරත් ඇරල දීලා එ් සී එකත් දාලා ආපහු යන්න හැරුනු මිත්‍රයා අපිට ආරාධනා කලේ ඒ ගැම්මටම උදේ කෑමට පහළට එන්න කියල.

මොනව කරන්නත් කලින් කාමරේ කොහොමද කියල බලන්න එපැයි. දෙන්නත් එක්ක කාමරේ ඇතුලෙ රවුමක් ගියේ ලස්සනට හදල තිබුනු ඇඳ අවුල් කරනවද නැද්ද කියල හිතා ගන්න බැරුව.

“කලින් දවසෙ රෑ හරි හමන් නින්දකුත් නැති නිසා කාලා ආපු ගමන් හොඳ නින්දක් දාන්න ඕන” මගේ නම් හිතේ තිබුනෙම ඔච්චරයි. දිලීගෙ ආසාව නම් ටී වී එක බලන්න වගේ. මොකක් වුනාම මොකද කියල ඉස් ඉස්සෙල්ලාම කියල මම ගිහින් හිතේ හැටියට ඇඟ පත හෝද ගත්තා. හෝද ගෙන ඇවිත් දිලී ලෑස්ති වෙනකම් සැප ඇඳේ සුවසේ සැතපුනා. ඒ ඩිංගට නින්ද යන ගතියක් තියෙන්නෙ. නින්ද ගියොත් ආයෙ කන්න නැගිටින්නෙ නෑ කියල දන්න නිසාමයි දිලී වොෂ් දාලා ආපු ගමන්ම උදේ කෑමට පල්ළෙහා තට්ටුවට ගියේ.

ෂහ්, හරි ලස්සන පූල් එකකුත් තියෙන්නෙ. පූල් එකටම අල්ලල බාර් එක. ලීවලින් හදපු එකක් නිසා හරිම ලස්සනයි. පූල් එකට එහා පැත්තෙන් තියෙන පුංචි තණ පිට්ටනියත් එළිමහන් ඉස්තෝප්පුවට ගේන්නෙ අමුතුම ආකර්ෂණයක්. පූල් එකයි බාර් එකයි මැද්දෙන් කෑම කන තැනට ගියපු අපි දෙන්න ටිකක් අයිනට වෙන්න තිබුනු මේසයක් අල්ලල තමයි වාඩි වුනේ. ඔය අතරෙ මරු සිද්ධියකුත් වුනා. දවසෙ වැඩ ටික යන විදිය බලන්න හෝටලේට ආපු මැනේජර් මහත්තයයි ප්‍රධාන සූපවේදියයි දෙන්නම අපේ කතාවට සෙට් වුනා. ලොකු වෙලාවකට නෙවෙයි, විනාඩි දෙක තුනකට. හැබැයි ඉතින් ඒ විනාඩි දෙක තුනට අපි තේරුම් ගත්ත දෙයක් තමයි අර්ල්ස් හෝටලේ සුළු සේවකයගෙ ඉඳන් මැනේජර් මහත්තය වෙනකම් හැමෝම හරිම සුහදශීලී කට්ටිය කියන එක.

බටහිර පන්නයට හදපු උදේ කෑම වේල් දෙකක් ඇණවුම් කරපු අපි දෙන්නට ඉස්සෙල්ලම ලැබුනෙ ගස්ලබු ජූස් දෙකක්. පොඩි වතුර ගතියක් තිබුනට මොකද ලුණූ, සීනි ටික නම් නියම ගාණට. ඒ එක්කම ආපු පළතුරු සලාදයත් මරුවටම තිබුනා. පොඩියට කපපු ගස්ලබු, අඹ, කොමඩු, අන්නාසි අතරට අඩුවකට කියල තිබුනෙ කෙසෙල් ගෙඩි තමයි. හැබැයි ඉතින් ඒ අඩුපාඩුව මැකෙන්නයි රස හැදෙන්නයි පුංචි දෙහි පෙත්තක් නම් තිබුනා. කියන්න බැරි වුනානෙ, රස චීස් පෙති 4ක් එක්ක ආපු පිපිඤ්ඤා පෙති දෙකකුත් තිබුනනෙ.

ඔක්කොමත් හරි ලොකු පිඟානක ආපු උදේ කෑම වේල දැක්කාම. කටට කෙල උනනකම් වත් බලන් ඉන්න හිත දෙන්නෙ නෑ. පදමට ටෝස්ට් කරපු පාන් පෙති 3යි, ගැඹුරු තෙලේ බැදපු සෝසේජස් කරලයි, ලුණු, ගම්මිරිස් අඩු නැතිව දාපු බුල්සායි එකයි චිකන් හැම් 2යි, ක්‍රිස්පි මාළු පෙති දෙකයි, බේක්ඩ් බීන්ස් දීසියයි, කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ.

විශේෂයෙන්ම කියන්න ඕන චිකන් බේකන් පෙති දෙක නම් නියම ගාණට බැදිලා, ලුණු රසත් පදමට. එතකොට මාළු පෙති දෙක මාළු කියලවත් හොයා ගන්න බැරි තරමට ක්‍රිස්පි ගතිය එන්න තමයි දවටල බැදල තිබුනෙ. මම හිතුවෙම චීස් හරි මොනව හරි දාලා කියල. ඒ තරම් රසයි. බේක්ඩ් බීන්ස් දීසියෙනුත් කෑම පිඟානට ආවෙ පැහැදිලි වෙනසක්.

කොහොම හරි බඩ පැලෙන්න හිත පිරෙන්න උදේට කාපු අපි දෙන්න කෙලින්ම ගියේ කාමරේට. ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඇඳට පැන්නෙ දුවගෙන ගිහින්.

“ඒ, නැගිටපන් බන්. එකයි වෙලාව” හීනෙන් වගේ ඇහුනු දිලීගෙ කට හඬ එක ඇහැක් විතරක් ඇරියෙ නැගිටින්න වෙයි කියන පුංචි කම්මැලි කමත් තියෙන නිසා.

“දවල්ට කාලා මඩකලපු යන්න ඕන බන්, නැගිටපන්”

ඇත්ත නේන්නම්. එවෙල තමයි මට අපේ ප්ලෑන් එක මතක් වුනේ. ආයෙත් දඩ බඩ ගාලා මූණ කට හෝද ගත්තු මම කැමරා බඩු ටිකත් බෑග් එකට දාගෙන යන්න ලෑස්ති වුනා.

දවල් කෑමට අපි වාඩි වෙද්දි එක හමාරට විතර ඇති. කෝකටත් කියල මම ඉල්ලුවෙ රයිස් ඇන්ඩ් කරි එකක්. දිලී ඉල්ලුවෙ පැස්ටා එකක්. එතකොට සී ෆුඩ් සැලඩ් එකකුයි, වෙජි සැලඩ් එකකුයි, චිකන් සුප් එකකුයි, වෙජි සුප් එකකුයිත් ඇණවුම් කරල තිබුනෙ.

ලස්සන හිනාවක් දාගෙන අපේ මේසෙ ලඟට ආපු සේවක මිත්‍රයා ඉස්සෙල්ලම අපිට පිළිගැන්වුවෙ සුප් දෙක. චිකන් සුප් එක නම් පංකාදු පහයි. ලුණු ගම්මිරිස් පදමත් කියාපු ගාණට. පොඩියට කපපු චිකන් කෑලිත් තොගයක් විතර තිබුන නිසා මම නම් උගුරට දෙකට සුප් එක බීලා ඉවර කලා. දිලී කියපු විදියට වෙජි සුප් එකත් පට්ට රසයිලු. හැබැයි පොඩි වතුර ගතියකුත් තිබිල තියෙනව. වැඩේ කියන්නෙ වෙජි සුප් එකකට මරුවටම ගැලපෙන වෙනස්ම රසක් තිබුන නිසා දිලීට නම් සුප් එක අල්ලල ගිහින් තිබුනෙ.

ඊට පස්සෙ මේසෙට ආපු සී ෆුඩ් සැලඩ් එකේ රසත් සෑහෙන්න හොඳයි. පොඩියට කපපු පිපිඤ්ඤා, ග්‍රීන් පෙපර්, රෙඩ් පෙපර් වගේ එළවළු කෑලි අතරට ක්‍රීම් දවටපු ඉස්සො දෙතුන් දෙනෙකුයි මාළු කෑලි තුන හතරකුයිත් එකතු කරල තමයි මේ සැලඩ් එක හදල තිබුනෙ. ඇත්තම කියනව නම් වෙජි සැලඩ් එක සී ෆුඩ් සැලඩ් එකට වඩා රසයි. මොකද නියම පදමට ලුණු ඇඹුල් ටිකයි ගම්මිරිස් ටිකයි දාලා තිබුන. අනික තක්කාලි, ලූණු, සලාද කොළ, ග්‍රීන් පෙපර් එහෙමත් හීනියට ලියල දාලා තිබුනනෙ.

ආයෙ කතා කරන්න දෙයක් නෑ. රයිස් ඇන්ඩ් කරි එකයි පැස්ටා එකයි නම් සුපිරි. බාස්මතී හාලේ බතට කට ගැස්ම වුනේ මිරිස් තුනපහ මදි නොකියන්න දාලා හදපු චිකන් කරිය. එ්ක නෙවෙයි, වට්ටක්කා ව්‍යංජනයක් තිබුනා සුවඳ එද්දි කටට කෙල උනනව. මුකුණුවැන්න මැල්ලුමත් ගෙදර හැදුව වගේ රසයි. මඤ්ඤොක්කා තෙල් දැමුමයි පපඩම් බැදුමයිත් බත් එකට ගෙනාවෙ කාගෙන කාගෙන යන්න පුලුවන් රසක්.

හැබැයි දිලීගෙ පැස්ටා එකේ නම් තිබුනෙ වෙනස්ම රසක්. මොකද ඒක රස ගන්වල තිබුනෙ ඔලිව් ඔයිල් වලිනුයි ස්වභාවික තක්කාලි සෝස් වලිනුයි. ඔරිජිනල්ම ඉටෑලියන් රසට හදල තිබුන නිසාද කොහෙද දිලීත් කටට දෙකට පැස්ටා එක ඉවර කලා.

කෑම කාලා ඉවර වෙනකම්ම සෑහෙන්න හොඳ සේවාවක් ලබා දුන්න සේවක මිත්‍රයා අතුරුපස විදියට අපිට ගෙනාවෙ කිතුල් පැණි දාපු වැනිලා අයිස් ක්‍රීමුයි පළතුරු සලාදයකුයි. පළතුරු සලාදය නම් අර උදේ කාපු එක වගේම රසයි. කෙසෙල් ගෙඩි අඩුව තමයි තිබුනෙ. විශේෂයෙන් කියන්න ඕන කිතුල් පැණි දාපු වැනිලා අයිස් ක්‍රීම් අපි දෙන්න අතරෙ බෙදුනෙ හිතා ගන්න බැරි තරම් වේගයකින්. වෙන දෙයක් නිසා නෙවෙයි, ඇත්තටම ඒක පට්ට රසයි. කොටින්ම කියනව නම් අයිස් ක්‍රීම් දීසිය ඉවර වෙන්න විනාඩියක් වත් යන්න නැතුව ඇති.

බඩ පැලෙන්න හිත පිරෙන්න දවල්ට කාපු අපි දෙන්න කාපු තැනම වැටිලා හිටියෙ ඉස්මුරුත්තාව බහිනකම්. ඊට පස්සෙ වීල් එකක නැගල මඩකලපුවෙ සැඳෑ සුන්දරත්වය බලන්න ගියා.

මුහුදු හුළං වැදිල වැදිල, ගිනි කාස්ටකේ ඇවිදල මහන්සි වෙලා ඉඳපු දිලීයි මායි ආපහු හෝටලයට එද්දි රෑ 8 විතර ඇති. ඇඟපතේ  අමාරුව යන්නත් එක්ක හොඳට නාගෙන කෙලින්ම ගියේ රෑ කෑම බුෆේ එකට. බත්, නූඩ්ල්ස්, චිකන්, පරිප්පු, මෝජු, කකුළුවො…

ඈ... කකුළුවො, කියල වැඩක් නෑ. ටොප් ආ...

අපි දෙන්න එන්න පරක්කු වුන නිසා සේවක මිත්‍රයො අපේ රෑ කෑම දෙක බෙදලයි තිබුනෙ. හිතපු විදියටම මදි නොකියන්න කකුළුවො නම් දාලා තිබුනා. අනිත් ව්‍යංජනවල රස නම් දවල් කෑම එකේ වගේමයි. ඒත් කකුළුවො… පට්ටම රසයි. මිරිස් තුනපහ වලිනුත් අඩුවක් නෑ. අනිත් කාරණය තමයි කද්දි කියන්න පුලුවන් අළුත් බඩු කියල. මට නම් හිතුණෙම පාන් ගෙඩියක් ගෙනැල්ල කන්න. හොද්දෙ රසට පාන් ගෙඩියක් ගේමක් නෑ.

බඩ තද වෙන්න කාලා නින්දට වැටුනු අපි දෙන්න හිතා ගෙන හිටියෙ පහු වෙනිදා පාන්දරින්ම පිටත් වෙන්න. ඒත් කාමරේ තිබුනු සැප නිසා නැගිටින කොට උදේ 6ට විතර ඇති. මූණ කට හෝදගෙන දඩබඩ ගාලා බෑග් ලෑස්ති කරගත්තු අපි දෙන්න අඩියට දෙකට පල්ලෙහාට බැස්සෙ ඉක්මනටම ගෙදර යන්න  හිතාගෙන. ඒත් කොහෙද ඉතින්, කට්ටියගෙ ආරාධනය උදේටත් කාලම යන්න කියලනෙ.

බෑග් පැත්තකින් තියපු අපි දෙන්න කෑම කාමරයට ගිහින් උදේ කෑමට වාඩි වුනා. බුෆේ එකෙන් බෙදා ගත්තු පිට්ටු කෑල්ලයි ඉඳි ආප්ප 10යි කන්න හොඳ හැටි මාළු හොදියි කිරි හොදියි පරිප්පුයි පොල් සම්බෝලයි දාගත්තු අපි තලු මර මර කෑම ටික බඩට දාගත්තෙ යන්න තිබුනු හදිස්සිය පැත්තකින් තියල.

දවසටම ඇති වෙන්නෙ බඩ කට පුරව ගත්තට පස්සෙ සේවක මිත්‍රයා ගෙනාපු ජූස් වීදුරුවත් රස බලපු අපි අරල්ස් හෝටලයෙ සුහදශීලී සේවක මඩුල්ලෙ හැමෝටම ස්තූති කරල එළියට බැස්සෙ එන්න ඕන හින්ද මිසක්, නැත් නම් තව දවස් දෙක තුනක් හරි ඉන්න උවමනාවෙන්. හැබැයි ඉතින් සීසන් පටන් ගත්තට පස්සෙ නම් දිලීයි මායි අනිවා ආයෙත් පාසිකුඩා යනව, අර්ල්ස් හෝටලයෙ සුව පහසු දවසක් ගෙවල එන්න.


TIP

Try the Western breakfast and the Sri Lankan lunch.

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments