‘මං මෙහෙම දෙයක් කළාම මිනිස්සු මොනා නොහිතයි ද?’
ජීවිතේ එක පාරක් හරි එහෙම හිතල නැත්තං ඔයා ඉන්නෙ ලංකාවෙ නෙමෙයි!
ජීවිතේ මොකක්ම හරි වෙලාවක අලුතෙන් දෙයක් පටන්ගන්න හිතල, ආයෙත් නෑ එක්කො ඕන නෑ කියල හිතල, පුරුදු රවුමෙම කැරකෙන්න තීරණේ කරල තියනව නේද? හැමෝම කැරකෙන රවුමෙ කැරකිලා මැරිලා යනවට වඩා හොඳ නැද්ද, අලුතින් හිතල වෙනස් යමක් නිර්මාණය කරල ලෝකෙට ඉතිරි කරල මැරෙන එක? එහෙම අමාරුයි නං අඩුම ගාණේ තමන්ගෙ ජීවිතේවත් සම්පූර්ණයෙන්ම තමන් ආස විදිහට ගෙවල මැරෙන එක?
අපි ඉපදුණ දවසෙ ඉඳන් ඇත්තටම කරන්නෙ අපි කැමති දේවල් ද? නැත්තං අපි කැමතියි කියල අපිට ඒත්තු ගන්නලා තියන දේවල් ද? මේ ඒත්තු ගන්නලා තියන දේවල් තමයි සමාජය විසින් අපි කරන්න ඕන කියල නියම කරල තියන දේවල්. හැබැයි ඒව කොච්චර අපේ හිතට කාවැදිල ද කියනව නම්, ඒවත් මිනිස්සුම හදාගත්ත ඒවා කියල අපිට දැන් මතක නෑ. මිනිස්සු හදපු දේවල් නම් ඒවා කඩල බිඳල වෙනස් කරන්නත් මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන නේද?
අලුත් හෝ වෙනස් දෙයක් කරන්න ආස වුණත් ඒ ගැන හිතන්න අපිව බය කරන්නේ, මෙන්න මේ මිනිස්සු හදාගත්ත රාමු. අපිව බය කරන ඒ වගේ හේතු කීපයක් පෙන්නලා දෙන්නයි අපි මේ හදන්නේ.
දෙමාපියො
චිත්‍ර අඳින්න, නටන්න, ගයන්න, ලියන්න ආස සහ දක්ෂ ළමයි, තමන් ආස නැති විද්‍යා, ගණිත විෂයයන් ඉගෙනගන්න ගිහින් ජීවිතේ අසමත් කරගන්නවා අපි ඕන තරම් දැකල තියනව නෙ? මේකට හුඟක් වෙලාවට බලපාන්නේ දෙමාපියන්ගේ බල කිරීම. දෙමාපියෝ ඒ විදිහට බල කරන්නේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න කියල තර්කයක් ගේන්න පුළුවන්. ඔව්, එයාල එහෙම කරන්නේ ආදරේට තමයි. හැබැයි ආදරේ කියන්නේ අකැමැති දේවල් කරන්න බල කරලා, කැමති දෙයින් ඈත් කරන එකට නෙමෙයි නේද? ආදරේ නං කරන්න ඕන අනෙකාගේ සතුටට ඉඩ දෙන එක නේද?
ඉතිං දෙමාපියො සතුටු කරන්න තමන්ගෙ සතුට අතෑරලා දාලා දුක්බර මනුස්සයෙක් බවට පත් වෙන ඉරණම බාරගන්නෙ නැතුව, තමන් කැමති දේ උත්සාහ කරල බලන්න ඉඩ ඉල්ලගන්න. ඔයා ඒකෙන් සාර්ථක වෙනකොට එයාලා ඉබේම ඔයා ගැන සතුටු වෙන්න පටනගනියි.
නෑයො
නෑයො කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නේ. මතුපිටින් නොපෙන්නුවට නෑයො අතරෙ හැම වෙලේම සීතල යුද්ධ. අනික් කෙනාට වඩා අපි ඉන්නෙ උඩින් කියල පෙන්නන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. අපි කරන්නෙ ඒ අය රස්සා ගැන දන්න සීමාවෙන් එහා ජොබ් එකක් එහෙම නං, ඒගොල්ලන්ට ප්‍රශ්න කෝටියයි.
එහෙම කියල අපි ඒ අය කැමති විදිහෙ රස්සාවක්වත්, ලොකුකම පෙන්නන්න පුළුවන් රස්සාවක්වත් තෝරගන්න ඕන නෑ. අපි ජීවත් වෙන්න ඕන අනික් අයව ඉම්ප්‍රෙස් කරන්න නෙමෙයි. අපි කරන දෙයින් සතුටු වෙන්න ඕන අපියි.
ආගම
මොකක් හරි තීරණයක් ගන්න ගිහින්, මගේ ආගමට මේක ගැළපෙන්නේ නෑ කියල හිතල අඩියක් පස්සට අරං තියනවද? උදාහරණයක් විදිහට පාට්නර් කෙනෙක් හොයා ගන්නකොට, අනෙක් කෙනා තමන්ගෙ ආගමේ නෙමෙයි නං ඒක ජීවිතේට බලපාන සාධකයක් කියල හිතනවද?
අපි දැන් ඉන්නෙ ආගම්වලින් මිනිස්සු පාලනේ කරපු වැඩවසම් යුගයක නෙමෙයි. ක්‍රිස්තු වර්ෂ 2000 පැනලත් දැන් අවුරුදු විස්සක්! තවදුරටත් හරි වැරැද්ද තීරණේ කරන්නෙ ආගම නෙමෙයි, නීතිය. ඒ හින්දා ආගමට නෙමෙයි, නීතියට බය වෙන්න.
අවදානම
සුලබ නොවන දෙයක් කරද්දි, වෙනස් විදිහකට දෙයක් කරද්දි, ඒ එක්කම එන අනිවාර්ය කාරණයක් තමයි අවදානම කියන්නෙ. මොකද ඔයා කරන දේ හුඟක් අය කරන දෙයක් නෙමෙයි නං, සමාජෙන් ඒක ප්‍රතික්ෂේප වෙන්න, හාස්‍යයට ලක් වෙන්න, බාධා එල්ල වෙන්න, අසාර්ථක වෙන්න තියන ඉඩ තමයි වැඩි. ඒකට බය වුණොත් ඉතිං එතනින් එහාට අඩියක්වත් හොල්ලන්න හම්බෙන්නෙ නෑ.
හුඟක් සාර්ථක වුණ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගෙ, විද්‍යාඥයන්ගෙ, ක්‍රීඩකයන්ගෙ ජීවිත කතා අරං බැලුවම පේන දෙයක් තමයි, එයාලව ඉස්සරහට අරං ගිහින් තියෙන්නෙ අවදානමට නොබියව මූණ දෙන්න තිබුණු හැකියාව කියන එක. තෝමස් අල්වා එඩිසන් සියදහස් වතාවක් අසාර්ථක වෙලා, අන්තිමේදි සාර්ථක වුණ කතාව අහල ඇති නෙ.
අපිට අහන්න, දකින්න, හිතන්න පුරුදු කරල තියන සීමාවෙන් තව එහාට ජීවිතේ තල්ලු කරන්න බැරි නෑ කියල හිතන්න පුළුවන් නං, මේ ඒකාකාරී මිනිස්සු ගොඩෙන් මිදිලා ඔයාටම ආවේණික අපූරු ජීවිත කතාවක් ලියන්න පුළුවන් වේවි. මේ ලෝකෙට ඕන එකම වගේ මිනිස්සු ගොඩක් නෙමෙයි, එකට එකතු වෙලා ඉන්න පුළුවන් විදිහෙ විවිධාකාර මිනිස්සු!