අපි කලින් දවසක කතා කලා හොඳ එළවළු පලතුරු කඩෙන් තෝරාගන්න හැටි ගැන. එහෙම ගත්තු එළවළු පලතුරු එක දවසින් කාල ඉවර කරන්නෙ නෑ නේ? ඉතින් ඒවා නාස්ති නොවෙන්න ගබඩා කරල තියාගන්න හැටිත් අපි පොඩ්ඩක් බලමු.
කෑම ගබඩා කරනකොට මතක තියාගන්න ඕන පොදු දේවල් කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සිසිල් වියලි තැනක තියන්න. එතකොට ඉදවීම අනවශ්‍ය ලෙස වැඩි වෙන්නෙ නැහැ. තෙත නැති හින්ද පුස් අල්ලනවා වගේ දේවල් වෙන්නෙත් නැහැ. ශීතකරණයේ වුනත් හොඳයි. එත් මතක තියා ගන්න ඕනේ සමහර කෑම ජාති තියෙනවා ශීතකරණ කරන්න හොඳ නැති. අපි ඒවා පල්ලෙහා සඳහන් කරන්නං.
එළියේ තියාගන්න පුළුවන් කෑම
අපි කලින් ලිපියේ කිව්වා හොඳ අලුත් කැරට්, බීට් වගේ එළවළු ගන්නකොට කොළ තාම තියෙන ඒවා ගන්න කියල. දැන් එහෙම බලල ගෙදර ගෙනාවනේ? ඒ උඩ කොළ ගලවල දාන්න. කොළ තියෙන තාක් කල් මුලේ තියෙන සාරය කොළ වලට යනවා. බීට් කොළ වගේ නං ඉක්මනට ගලවල දාල උයල කන්න. මාර රහයි.
කෙසෙල්, දොඩම් කුලයේ පලතුරු, කොමඩු එලියේ තියාගන්න ඕනේ පලතුරු. සමහර අය මෙවා ශීතකරණයේ දැම්මට ඒවා ශීතකරණයට දාන්න ඕනේ කැපුවට පස්සෙ ඉතිරි වුනොත් විතරයි.
ලූනු, සුදු ලූනු එළියේ සිසිල් වියලි තැනක තියන්න. සති දෙකක් විතර තියාගන්න පුළුවන්. ඒ වගේම තක්කාලි සහ අල ශීතකරණයේ දාන්න හොඳ ඒවා නෙමෙයි. තක්කාලි තියන කොට නැට්ට යට වෙන විදියට තියන්න එතකොට තව කල් තියාගන්න පුළුවන්
වියලි කෑම ජාති හුලං නොවදින විදියට තියෙන්න ඕනේ. විශේෂයෙන් කුළුබඩු සදහා මේක හොඳට සලකා බලන්න. හිරු එලිය වදින්නේ නැති තරමටත් කුළුබඩු වලට හොඳයි. පොඩි බෝතල් වල වගේ දාල කබඩ් එකක් ඇතුලේ වගේ තැනක තියන්න.
ශීතකරණය තුල තියන්න ඕන කෑම
බිත්තර සිතල තැනක තියෙන තරමට තමයි හොඳ. ශීතකරණයක් වගේ. හැබැයි ශීතකරණවල දොරේ තියෙන බිත්තර වලටම හදපු රාක්කෙ ඒ වැඩේට හොඳම නැහැ. මොකද දොර ඇරෙන වැහෙන කොට උෂ්ණත්වය අඩු වැඩි වෙන හින්ද. පුළුවන් තරම් බිත්තර ශීතකරණය ඇතුලෙ රාක්කෙක තියන්න.
කිරි, යෝගට් වගේ කිරි ආහාර තියන්න ඕනේ ශීතකරණයේ උඩ තට්ටුවේ. අධිශීතකරණයේ නෙමෙයි. සාමාන්‍ය ශීතකරණයේ උඩම තට්ටුවේ. එතන තමයි හුඟක් උෂ්ණත්වය ස්ථාවරම තියෙන තැන. ඉතින් නරක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
එළවලු පලතුරු ශීතකරණයේ තියන්න පුළුවන් නං හුඟක් හොඳයි. හැබැයි හුඟක් වැදගත් වෙනවා තෙතමනය වදින්නේ නැති විදියට තියාගන්න එක. එක නිසා උයන්න ගන්න අවස්ථාව වෙනකං හෝදන්න එපා. ආරක්ෂා වෙන්න සිලි සිලි බෑග් වල දැම්මට කමක් නැහැ. හැබැයි හුලං නොවදින විදියට තියන්න එපා. බෑග් එක ගැට නොගහ තියන්න.
මස් මාළු අධිශීතකරණයේ තමයි තියන්න ඕනේ. ඒවා ඇලුමිනියම් ෆොයිල් වලින් ඔතල තියන්න පුලුවන්න නම් තව හුඟක් කල් තියාගන්න පුළුවන් කියල අපිට දැනගන්න ලැබුනා. කොහොම වුනත් කෑල්ලෙන් කැල්ල නං උයන්න ගන්නෙ මස් මාළු ඔක්කොම අයිස් මිදෙන්න අරින්න එපා. මොකද එතකොට විෂබිජ හැදෙන්න පුළුවන් ඊට පස්සෙ ආයෙත් අයිස් වල මුදවන එකේ තෙරුමක් නෑ නේ.
එකට තියන්න හොඳ නැති කෑම
අපි හැමෝම අහල දන්න දෙයක් තමයි මස් මාළු අනිත් කෑම එක්ක මිශ්‍ර වෙන්න ඉඩ තියන්නත් එපා කියල. ඒවායින් එන ඉස්ම වලින් අනිත් කෑම නරක් වෙන්න පුළුවන්.
හැම පලතුරකින්, එළවළුවකින් වගේ එතිලීන් වායුව පිටවෙනවා. මේ වායුව නිසා තමයි ඉදවීම සිද්ධ වෙන්නෙ. සමහර එළවලු පලතුරු වලට මේ වායුව වඩාත් බලපානවා. ඒක නිසා ගබඩා කරන කොට මේවා ගැනත් හිතල බලන්න ඕනේ වැඩි කලක් තියාගන්න නං.
කෙසෙල්, අලිගැට පේර, අඹ, පැපොල්, තක්කාලි, ඇපල් හුඟක් එතිලීන් වායුව පිටකරනවා. ඒ කියන්නේ ඒ එක්කම අසුරපු වෙන ඕන පලතුරක්, එළවළුවක් ඉක්මනට ඉදෙනවා කියන එකයි. හුඟක් එළවළු ජාති එතිලීන් වලට හුඟක් සංවේදී වෙනවා එක හින්ද මේ කෑම ජාති වෙනම තියන එක තමයි වඩාත් සුදුසු.
කෑම ගබඩා කරන්න ඇත්තටම ගොඩක් අමාරු නෑ. ටිකක් හිතල වැඩ කලාම හරි. අපිත් ඔන්න පොඩ්ඩක් යන පාර පෙන්නුවා ඔන්න.